මගේම දෝ, ලොක්කිගේ කතාව, දියණී, දළදා ගමනය, සිහිනි, වසූදා ඇතුළු ටෙලි නිර්මාණ සියයකට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇති සුගත් ජානක මේ දිනවල සිනමාවේද සක්‍රිය චරිතයක් බවට පත්වී ඇත. වැඩ බැරි ටාසන්, ශ්‍රී වික්‍රම, රෝස ආදරේ, කබඩි ඇතුළු චිත්‍රපට රැසකට රංගන දායකත්වය සපයා ඇති ඔහු බොම්බේ වෙල්වට්හි මස්තාන්ගේ චරිතය ඔස්සේ ඉන්දියානු සිනමාවට ද පිවිසියේය. සිය කලා දිවියේ මතකයන් අවදි කරමින් අද ඔහු අප හා කතාබහට එක්වීය.
පහුගියදා වැඩ ඇරඹූ රාග සිනමාපටය ඔබේ ජීවිතයට සුවිශේෂි මතකයක් එකතු කළා නේද?
ඔව්. රාග සිනමාපටයේ වැඩ පටන්ගත්තේ මගේ ජීවිතේ සුවිශේෂී දිනයක. ඒ මැයි 15 වැනිදා. මගේ උපන්දිනය යෙදී තිබුණෙත් එදා. ඒ නිසා ‘රාග‘ මට අමතක නොවන අත්දැකීමක් වුණා. කේක් කපලා හිතවතුන්ගේ ආශීර්වාදය මැද ගෙවුණු ඒ දිනය මට හැමදාටම මතක තියේවි.
සුගත් මේ දවස්වල සිනමාවේ ගොඩක් කාර්යබහුලයි කියලත් ආරංචියි?
මේ දවස්වල චිත්‍රපට කිහිපයකම රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. මැයි 15 වැනිදා රාග රූගත කිරීම් පටන්ගත්තා. අධ්‍යක්ෂණය තරිඳු ජයකොඩි. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය. සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ ඩොනල්ඩ් ජයන්ත. ඔහු තමයි මාව අධ්‍යක්ෂවරයාට හඳුන්වා දෙමින් භාරත කියන චරිතයට මාව සම්බන්ධ කරගත්තේ. භාරත කියන්නේ විලන් කැරැක්ටර් එකක්. ඊට කලින් මං වී. සිවදාසන්ගේ දූවිලි දරුවෝ සිනමාපටයට සම්බන්ධ වුණා. එහි කල්ප කියන චරිතයට රංගනයෙන් දායක වෙනවා. මේ අවුරුද්දේ මුල හරියේ අරගලයක් මැද කියන සිනමාපටයට සම්බන්ධ වුණා. ටෙවින් ගමගේගේ නිර්මාණයක්. එහි රෝයි කියන චරිතය අවසානයේ හීරෝ කෙනෙක් වෙනවා. මගේ ජීවිතේ පළමු වතාවට තමයි හීරෝ කෙනෙක් වෙන්නේ. ඒ නිසා එය මට සුවිශේෂී අවස්ථාවක්. ටෙවින් ඉන්නේ කැනඩාවේ නිසා ලංකාවට ඇවිත් රූගත කිරීම්වලට සම්බන්ධ වුණත් දෙබස් හඩකැවීම් සජිවීව පටිගත කළේ කැනඩාවේ ඉඳන්. ඒ නිසා ‘අරගලයක් මැද‘ ලාංකේය සිනමාවට අලුත් අත්දැකීමක් වේවි කියලත් හිතෙනවා. ඊට අමතරව ‘ගගන‘ කියන චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ගිය දෙසැම්බර්වල ඉඳන් මේ දක්වා ගත්තොත් චිත්‍රපට තුනක වැඩ ඉවර කරල තියෙනවා. ‘රාග‘ කියන්නෙ හතරවැනි එක. එහි වැඩ කරගෙන යනවා. තවත් කිහිපයකට ආරාධනා ලැබිලත් තියෙනවා. 2026 කියන්නේ මගේ සිනමා ගමනේ සාර්ථකම වසර කියලා හිතෙනවා. මේ වසර අවසාන වෙද්දී චිත්‍රපට දහයකට විතර සම්බන්ධ වෙන්න හැකියාව ලැබේවි කියලත් හිතනවා.
ඔබ බැද්දේගම ටෙලි නිර්මාණයේ කළු අප්පු. ඒ අත්දැකීම කොහොමද?
ඔව්. ගිය දෙසැම්බර්, ජනවාරිවල වගේ බැද්දේගම රූගත කිරීම් කළේ රන්මිනිතැන්නේ. එය දක්ෂ චිත්‍රපට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේගේ වැඩක්. මං එහි කළු අප්පුගේ චරිතයට පණපොවනවා. හරිම ලස්සන ටෙලි නිර්මාණයක්. මේ දිනවල ට්‍රේලර් විකාශය වෙනවා. නුදුරේදීම විකාශය ඇරඹෙනවා.
සුගත්ට දැන් සිනමාවේ වසන්තය උදාවෙලා නේද?
ඔව්. ඔව්. ‘අග පිපි මල්‘, ‘කිඩ්නැප්‘ ඇතුළු තව චිත්‍රපට කිහිපයක් තිරගත වෙන්නත් තියෙනවා. මටත් හිතෙනවා මේ වසර මට සිනමාවේ වසන්තය වේවි කියලා. ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා. ඕනෑම රංගන ශිල්පියකුගේ සිහිනය වෙන්නේ සිනමාවනේ. මගේ සිහිනයත් දැන් සැබෑ වෙලා.
ඔබ ගායකයෙක් විදිහටත් ප්‍රසංග වේදිකාවේ දකින්න ලැබෙනවා?
ඔව්. මට ගායන හැකියාවත් තියෙනවා. හැම අවුරුද්දෙම ආරාධනා ලැබෙන සංගීත සංදර්ශන කිහිපයක් තියෙනවා. ඒවාට හැම අවුරුද්දකම ආරාධනා ලැබෙනවා. මේ වෙද්දි මගේම කියල ගීත දෙකක් නිර්මාණය කරලා රූප රචනාත් එක්ක එළිදක්වලා තියෙනවා. පළමු ගීතය ‘ඔබ මගේ වෙලා’, එය මට සුවිශේෂී අවස්ථාවක්. එහි පද රචනය, තනු නිර්මාණය, ගායනය, රංගනය, රූප රචනා අධ්‍යක්ෂණය මගේ. සංගීතය විතරක් නිෂාම් ශබ්දාගාරයේ කළේ. ‘ආදරේ මතකයන්’ කියන ගීතයේ පද රචනය කලණි අප්සරාගේ. එහි මෙලඩිය සහ ගායනය මගේ. මේ වෙද්දි තුන්වැනි ගීතයත් ‘හැමදාම ඔබ ඉන්න’ දැන් වැඩ ඉවර කරලා තියෙනවා. සංගීතය, තනුව, පදරචනය කුමාරසිරි පතිරණගේ. එය නුදුරේදීම එළිදැක්වීමට නියමිතයි.
පාසල් කාලේ බොහෝ අය ඔබට කිව්වේ ජෝති කියලා නේද?
පාසල් යන කාලේ මං ගයන්නෙම ජෝතිපාල මහත්මයාගේ ගීත. ඒ නිසයි මට ජෝති කියලා නම පටබැඳුණේ. මගේ පාසල හපුගොඩ ශාන්ත මරියා විද්‍යාලය. ජැක්සන් ඇන්තනී මහත්මයා ගියෙත් ඒ පාසලට. අදටත් මගේ පාසල් මිතුරන් මට කතා කරන්නේ ජෝති කියලා. පාසල් කාලෙ මං කොටයි මහතයි. ජෝති කියල කිව්වම තමයි හැමෝම දන්නේ. ඒ යාළුවොන්ට අද මාව දැක්කම අඳුරගන්න බෑ. ඔවුන් අහන්නේ කොහොමද මෙච්චර උස ගියේ කියලා.
එතකොට සුගත්ගේ කලාවට පිවිසීම සිදුවෙන්නේ කොහොමද?
පාසලේ මං ගොඩක්ම ජනප්‍රිය වෙලා හිටියේ ගායකයෙක් විදිහට. පාසල් කාලේ වැසියෝ කියල නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. එතැනින් තමයි මට රංගන හැකියාවක් තියෙනවා කියන විශ්වාසය ගොඩනැඟුණේ. දවසක මං නළුවෙක් වෙනවා කියන ඉලක්කය මගේ හිතේ තිබුණා. මං කලාවට පිවිසෙන්නේ 1999 වසරේ. පළමු අත්දැකීම ලැබුවේ සුනිල් සිරිවර්ධනගේ කුලවිලෝකනය කියන ටෙලි නිර්මාණයෙන්. එහි රොඩී චරිතයක් ලැබුණේ. ප්‍රවීණයන් එක්ක මුහුවෙන්න අවස්ථාවත් ලැබුණා. මට තිබුණේ පොල් වල්ලක් කරේ තියාගෙන ඒදණ්ඩකින් එන්න. වැටුණොත් ඇළට වැටෙන්නේ. පළවෙනි ෂොට් එකම ‘ඕකේ‘ කිව්වා. ඒත් මං හිතුවා මේ මාව අන්දනවා කියලා. නැහැ ඇත්තටම පළවෙනි ෂොට් එකම ඕකේ වෙලා. පස්සේ මමම අධ්‍යයනය කරමින් ඉගෙන ගත්තා. අද මං ඒ පන්නරයත් එක්කයි ඇවිත් ඉන්නේ. කලාවට පිවිසිලා දැනට අවුරුදු 27ක්. ටෙලි නිර්මාණ 150කට විතර සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපට 45ක් වගේ ඇති. ඒ අතර ඉන්දියානු චිත්‍රපටයක් වන ‘බොම්බේ වෙල්වට්‘ චිත්‍රපටයේ රන්දීර් කපූර්ගේ මිතුරා මස්තාන් විදිහට රංගනයෙන් දායක වෙන්න ලැබීම රංගන ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වුණා. 2019 වසරේ ඉන්දියාවෙන් ‘වර්ල්ඩ් එවෝඩ්ස් අයිකන්‘ කියන සම්මානයත් ලැබුණා.