කොයික මොන විදියට කීවාය කිව්වත් නයෝමි සම්මානනීය දක්ෂ නිළියක්. මේ දවස්වල ‘අම්මා’ ටෙලියේ රඟන ඒ හැඩකාර ටෙලි තරුව සමග අපි මේ විදියට තමයි සුහද පිළිසඳරකට එකතු වුණේ.
කොහොමද ඉතින් ජීවිතේ? මොනවද මේ දවස්වල වෙන්නේ?
කාර්යබහුල කාලසීමාවක තමයි දවස ගෙවෙන්නේ. ‘අම්මා’ ටෙලියේ ෂූටින්වලට යනවා. ස්වාධීන රූපවාහිනියේ සහ සියත රූපවාහිනියේ අලුතෙන්ම විකාශය වීමට නියමිත ටෙලි ඩ්‍රාමා දෙකකම ෂූටින්වලට සහභාගි වෙනවා. ඒ අතර තව අලුත්ම ටෙලි ඩ්‍රාමා දෙකක් සඳහා ආරාධනා ලැබී තිබෙනවා. නුදුරු දිනයක එහි වැඩකටයුතු ආරම්භ වේවි.
‘අටවන බුවනෙක’ වේදිකා නාටකය ගැන ඔබ සඳහන් කළේ නැහැ නයෝමි?
ඒකනේ. පුංචි අමතක වීමක් වුණා. අටවෙනි බුවනෙක වේදිකා නාට්‍යය සමගත් පසුගිය දවස්වල මුළු රට පුරාම සංචාරය කළා. තව දින කිහිපයකින් අටවෙනි බුවනෙක වේදිකා නාට්‍ය කණ්ඩායම සමග ඔස්ටේ්‍රලියාවේ සංචාරය කරන්නත් නියමිතව තිබෙනවා.
කාර්යබහුල ටෙලි තාරකාවක් ලෙස වේදිකාව සමග ගැටෙන්න කාලය වෙන්කර ගන්නේ කොහොමද?
අද බොහොමයක් ටෙලිනාට්‍ය නිළියන් වගේම නළුවන්ද වේදිකාව සමග ගැටෙනවා. ප්‍රවීණයන් වාගෙම නවකයන්ද එහෙමයි. ටෙලිනාට්‍ය කලාව රූපවාහිනියට ආ මුල් අවධියේත් එය එලෙසම සිදුවූ බව අසා තිබෙනවා.
එදා වාගේ නෙවෙයි අද තියෙන්නේ මෙගා කලාවක්. ඒ නිසා කාලය ප්‍රශ්නයක් නේද?
ටෙලිනාට්‍යයකට ගිවිසුම් අස්සන් කරන විට අපි ඒ ප්‍රඩක්ෂන් එක සමග අපට තිබෙන කාලය ගැන කතාබහ කරනවා. යම් ටෙලියක් සඳහා දී තිබෙන කාලය අනුව වේදිකාවට දින දිය යුතු දිනයන් කළමනාකරණය කරගන්නවා. රංගන කලාව කියන්නේ කාලය සමග සියුම්ව තරග කළ යුතු විෂයක්.
කාලවේලාව නිසා හොඳ නිර්මාණයන් මහගැරුණු අවස්ථා ඇති නේද?
බොහෝ කලාකරුවන් එවැනි අවස්ථාවන්ට මුහුණ දෙන එක රංගන කලාවේ හැටියක්. එය මඳක් සංකීර්ණයි. ඒත් ඒ සංකීර්ණත්වයට මුහුණ දිය යුතුයි.
එතැනදී ඔබ මහගැර ගන්නේ වේදිකාවද? ටෙලි තිරයද?
ඒ ඒ නිර්මාණයන් සහ චරිතයන් අනුව තීරණය ගන්න වෙනවා. හොඳ අවස්ථා වෙනුවෙන් සිදුවන සමහර මගහැරීම් ගැන පසුතැවිලි විය යුතු නැහැ.
රසික පිරිස ඔබව තරුවක් කළේ ටෙලි තිරය හරහායි?
වේදිකාව මගේ තිඹිරිගෙය. මට ආරම්භය දුන් පසුබිම එතැනයි. මම රංගනය යන විෂයෙහි ඒ ටු ඉසෙඩ් ඉගෙන ගත්ත තැන එතැනයි. ඒ නිසා ටෙලි තිරය වාගෙම වේදිකාවද මට එක වාගෙම වැදගත්. අනෙක වේදිකාව කියන්නේ රංගන ශිල්පියාව අප්ඩේට් කරන හරි කදිම තෝතැන්නක්. ඒ අප්ඩේට් වීම හරහා අපට තව බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්.
ඔබ සිනමාව කෙරෙහි නැඹුරු නොවන හේතුව?
අවංකවම කියනවා නම් මට ඒ සඳහා එන ආරාධනා අඩුයි. හොඳ චිත්‍රපටයක්, ප්‍රධාන චරිතයක් සඳහා තවම මට ආරාධනා ලැබිලා නැහැ. චිත්‍රපට දෙක තුනක සුළු චරිත තමයි කරලා තියෙන්නේ.
ඔබ සම්මානනීය චරිතාංග නිළියක්. හොඳ සිනමා නිර්මාණයකට ආරාධනා නොලැබෙන හේතුව?
මට හිතෙන හැටියට එයට වාසනාවත් තිබිය යුතුයි. සමහර විට ඒ වාසනාව මට නැතුව ඇති.
මෑතකදී නිමාවට පත්වූ ‘බැද්ද අද්දර’ ටෙලිනාට්‍යය ඔබට විශාල ප්‍රතිචාරයක් ගෙන දුන්නා?
මට හිතෙන හැටියට ප්‍රේක්ෂක ප්‍රතිචාර මට වැඩිපුර ලැබෙන්නේ වෙස්ටන් ස්ටයිල් එකේ නාගරික චරිතවලට වඩා ගැමි චරිතවලටයි. රන්තිලි වැව, අඳුන් ගිර සහ බැද්ද අද්දර වැනි නාට්‍යයන් එයට හොඳ නිදසුන්. තෝඩු හෝ නීල පබළු වැනි නාට්‍යවලට ප්‍රතිචාර නොලැබුණාය කියන එක නෙවෙයි එහි අදහස. නමුත් ගැමි චරිතවලට ප්‍රේක්ෂකයෝ ඊට වඩා ඇලුම් කරන බව පේනවා.
වෙසක් එකට ලොකු දන්සලක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා?
අපොයි ඒකත් දැනගත්තද? ඕවා ඉතින් කිය කියා කරන දේවල් නම් නෙවෙයි. හැබැයි ආරංචිය නම් ඇත්ත. බොහෝ රසැති කෑමවලින් පිරුණු මහා පරිමාණයේ බත් දන්සලක් දෙන්නයි මේ සූදානම් වෙන්නේ. අනුරාධපුරේ යන්න ලකලෑස්ති වෙන අතර තමයි මේ කතා කරන්නේ.
විශේෂ හේතුවක් තියෙනවද නයෝමි මේ සද්කාර්යය සඳහා?
ඔව්. එයට විශේෂම හේතුවක් තියෙනවා. මගේ අලුත්ම ව්‍යාපාරය විවෘත කිරීමේ සුබ මොහොත සඳහා මේ දිනවල මම සූදානම් වෙනවා. එම සුබදායී කටයුත්තට පළමුව දන්සලක් දීම වැනි පින් අතේ මෙහෙවරක් කරන්න හිතේ ලොකු ආශාවක් වගේම බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව තමා මේ ඉටුවන්නේ.
මල් ව්‍යාපාරයට අමතරව කෙරෙන ව්‍යාපාරයක්ද නයෝමි ඒක?
ඔව්. දේශීය අමුද්‍රව්‍ය යොදා තනන නිෂ්පාදන මෙම ව්‍යාපාරයට ඇතුළත් වෙනවා.
කලා ලොවට සමුදී නයෝමි තක්ෂිලා ව්‍යාපාර ක්ෂේත්‍රයට ගියා කියලා ලියන්න වෙයිද දන්නේ නැහැ ඉස්සරහට?
මෑතක ඉඳන් වැඩි කාලයක් දෙන්නේ මගේ මල් ව්‍යාපාරයට සහ අනෙකුත් ව්‍යාපාරවලට තමයි. හැබැයි කලා කටයුතුවලින් සදහටම ඈත් වෙලා ව්‍යාපාරවලට මැදි වෙන්න අදහසක් නැහැ. එයට එක් හේතුවක් වෙන්නේ රංගන කලාව මගේ ජීවිතයේ කොටසක් වීමයි. අනෙක් විශේෂම හේතුව මගේ ව්‍යාපාරවල ගනුදෙනුකරුවන් විදියට වැඩිපුරම ඉන්නේ මගේ රසික රසිකාවියොයි.
මල්මි කෞෂල්‍යා