අයේෂ් කියන්නෙ මොන විදිහකින් හරි අරමුණට යන්න දඟලන චරිතයක් නිමේෂ් එදිරිසිංහ

gossiplanka image 1
 

ඇත්තමයි මං ඔයාට ආදරෙයි ඒ මේ දිනවල කාගේත් ආදරය දිනා ගෙන ඇති ජනප්‍රියම ටෙලි නිර්මාණයකි. එහි අයේෂ්ගේ භූමිකාවට පණ පොවන්නේ නිමේෂ් එදිරිසිංහය. ‘රොකී‘ ටෙලි නිර්මාණයේ රෙෂාන් මෙන්ම ‘රෝස සුදුයි ආදරියේ‘හි රන්දුණු ඔහු ඔබට සමීප වූ චරිත ගෙන එන්නේය. මියුසික් වීඩියෝ හරහා කලාවට පිවිසි නිමේෂ් මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම පුංචි තිරයේ ද ආකර්ෂණීය චරිතයකි.


‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි’ ටෙලි නාට්‍යයට ආරාධනාව ලැබෙද්දි මොකද හිතුණේ?


ලොකු සතුටක් දැනුණා. කාලෙක සිට මම ධනුෂ්ක රත්නායකගේ නිර්මාණ ගැන උනන්දුවෙන් හිටියා. ඔහුගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්නත් කැමැත්තෙන් හිටියා. ඔහුගෙන්ම ලැබුණු ආරාධනාව හරිම සතුටින් භාර ගත්තා. ඇත්තටම හිතුවෙම නැහැ ඔහුගෙන් ආරාධනයක් ලැබෙයි කියලා. ඔහුත් එක්ක කතා කරලා කැරැක්ටර් එකත් හොඳට ඇනලයිස් කරගෙන වැඩේ භාරගත්තා. මෙගා ස්ටාර් එකෙත් මං හිටපු නිසා හිරු එකෙනුත් කැමැත්ත ලැබුණා. නිෂ්පාදනය අශෝක් ජයකොඩි. ඔහුත් මට කතා කළා. මං මේ ඔහුත් එක්ක කරන තුන්වැනි වැඩේ. තිරපිටපත ලක්ෂාන් වස්තුහේවාගේ. ඔහු මගේ චරිතය දැනෙන්න ලියල තියෙන නිසා හරිම ආසාවෙන් කරනවා. මේ දිනවල විකාශය වන හරිම ලස්සන නාට්‍යයක්.


අයේෂ් ගැන කතා කරනවා නම්?


‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි’ ටෙලි නිර්මාණයේ අයේෂ් කියන්නෙ මොන විදිහකින් හරි තමන්ගේ අරමුණ වෙත යන්න දඟලන චරිතයක්. ආදරය කියන එක වුණත් එයාට අදාළ නෑ. අතීතයේ සිදුවුණු මොකක් හරි හේතුවක් නිසා ආදරය කියන එක එයා විශ්වාස කරන්නෙ නැහැ. තමන්ගේ අරමුණට යන්න ඔහු වෙන කෙනෙක්ගේ හැඟීම් පාවා දෙන්න වුණත් පෙලඹෙනවා. ඒ වෙනුවෙන් මිනිස්සු පාවිච්චි කරන්න වුණත් දෙවරක් හිතන්නෙ නැති චරිතයක්. අයේෂ්ගේ චරිතය ඉදිරියට මොන විදිහට ගලාගෙන යාවිද කියල තවම දන්නෙ නැහැ.


ධනුෂ්ක රත්නායක කියන්නේ ඔබ වැඩ කරන්න ආසාවෙන් හිටපු අධ්‍යක්ෂවරයෙක්. ඒ අත්දැකීම මොන වගේද?


මං වැඩ කරන්න ගොඩක්ම ආසාවෙන් හිටපු චරිතයක්. ඔහුගෙන් ආරාධනාවක් ලැබුණා කියන්නෙම ලොකු සතුටක්. ඔහුත් එක්ක වැඩ කරනවා කියන්නෙම ලොකු විනයක් එක්ක යන ගමනක්. මේ ෆීල්ඩ් එකේ සමහරුන්ගේ කිසි විනයක් නැහැ. ඔහුත් එක්ක වැඩ කරද්දි ඒ විනය හැදෙනවා. අපි වෙලාවට එන්න ඕන. වෙලාවට වැඩ කරන්න ඕන. අපි අලුත් අය නිසා හැමදාම විනාඩි 5ක් අරන් ඇක්ටින් ගැන ලෙක්චර් එකක් දෙනවා. ඒක ගොඩක් වටිනවා. හරියට ඇක්ටින් ස්කූල් එකකට ගියා වගේ දවස ගානේ අපි අප්ඩේට් වෙනවා. ප්‍රවීණයන් එක්ක වැඩ කරද්දී තවත් දේවල් එකතු වෙනවා. ඔහුත් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම ලොකු සතුටක්. විශේෂයෙන්ම චරිත් මධුරංගව ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. ඔහු තමයි මාව රෙකමන්ඩ් කරලා තිබුණේ. මීට කලිනුත් ධනුෂ්ක අයියගේ වැඩකට කතා කළත් එය කරන්න ලැබුණේ නැහැ. මේ වැඩෙන් තමයි අපිට එකට වැඩ කරන්න ලැබුණේ.


නිමේෂ් ඕනෑම නිර්මාණයක මතක හිටින චරිතයක් බවට පත්වෙනවා නේද?


මම ලැබෙන හැම චරිතයක්ම භාර ගන්නෙත් නැහැ. මට ඒ චරිතය තුළ දෙයක් කරන්න පුළුවන් නම් විතරයි මම ඒක භාරගන්නේ. රොකී ටෙලි නිර්මාණයේ රෙෂාන් තමයි මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. අගමැතිගේ පුතා. මමත් ගොඩක් ආදරය කරපු චරිතයක්. සමීර පියරත්නගේ නිර්මාණයක්. ඔහු අපිට අවශ්‍ය නිදහස උපරිමයෙන් දෙනවා. සෙට් එක ඇතුළෙ වුණත් කතාවෙන්නේ නිර්මාණය ගැනමයි. අවසානයත් හරිම ලස්සනට තිබුණා. ප්‍රේක්ෂක ආදරයත් ඉහළින්ම ලැබුණා. කතාව ඉවර වෙද්දි දුකත් හිතුණා.


රෝස සුදුයි ආදරියේ ටෙලි නිර්මාණයත් ඔබට මතක හිටින අත්දැකීමක් වෙන්න ඇති?


ඔව්. ඒකෙ රන්දුණු කියන ඇමැතිගේ චරිතය. ඒක විලන් කැරැක්ටර් එකක්. ඒත් ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. අදටත් මිනිස්සුන් ඒක මතකයි.


නිමේෂ් කලාවට පිවිසෙන්නේ නිරූපණ ශිල්පියෙක් විදිහට?


2019දී මෑන් හන්ටර් ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට සහභාගි වෙන්න ලැබීමත් එක්ක තමයි කලාවට පිවිසීමේ දොරටුව විවර වෙන්නේ. එහි දෙවැනියා වුණා. ඊට පස්සේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. 2021 වසරේ නැවත දෙරණ අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වෙනවා. එහිත් දෙවැනි ස්ථානය ලැබුණා. ඇක්ටින් කියලා මම මුලින්ම සම්බන්ධ වුණේ මියුසික් වීඩියෝවලට. ඔය අතරේ තුෂාර තෙන්නකෝන්ගේ රාවණා ටෙලි නිර්මාණය සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒක විකාශය වෙන්න කලින් ඔහුගේම මල් පිපෙන කාලේ ටෙලි නිර්මාණයේ පොඩි කැරැක්ටර් එකකට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒක තමයි මුලින්ම විකාශය වුණේ. තුෂාර සර්ව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඔහු තමයි මගේ ගමනට මූලික අඩිතාලම දැම්මේ. ඒ දවස්වල මට ඩයලොග් එකක් හරියට කියාගන්නත් බැහැ. මුල හදාගත්තේ ඔහුගෙන්. ඊට පස්සේ ඔහුගේම හේල්‍යන් සහ රෝස සුදුයි ආදරියේ ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණා. ඊටත් පස්සේ ජාතික රූපවාහිනියේ ඇක්ටින් ගැන පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සේ ජානු, නිකිණි කුසුම් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණා. හර්ෂ උඩකන්ද අයියගේ රෝස ආදරේ සිනමාපටයට සම්බන්ධ වෙමින් සිනමාවට පිවිසෙන්නත් අවස්ථාව ලැබුණා. ගිය වසරේ හිරු මෙගා ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වීමත් එක්ක මං පොඩි කාලයක් නිහඬව හිටියා. ඒත් එක්කම තමයි මට රොකී නාට්‍යයට ආරාධනා ලැබුණේ. මේ දිනවල අශෝක් ජයකොඩි නිෂ්පාදනය කරන අලුත්ම සිනමාපටයට ප්‍රධාන චරිතයෙන් දායක වෙනවා. ඉන්දික ධර්මතිලකගේ කළු අහස ටෙලි නිර්මාණයේ ෂූටින් කෙරෙන අතරේම තමයි මට ඇත්තටම මං ඔයාට ආදරෙයි සඳහා ආරාධනා ලැබෙන්නේ. මේ දිනවල අයේෂ් නිසා ප්‍රේක්ෂක ආදරය විඳිමින් ඉන්නවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post