එක රැයින් ජනප්‍රිය වුණාම හිතා ගන්න බැරි වුණා මේ මොකද වුණේ කියලා -ඩිලුක්ෂි වීරපෙරුම

gossiplanka image 1
 

මේ දවස්වල සාර්ථකව තිරගත වන රන්ජන් රාමනායකගේ නවතම සිනමා අධ්‍යක්ෂණය O.I.C ගඩාෆිහි හිරුණි ගැන බොහෝ දෙනා කතා වෙනවා. හිරුණිට පණ පොවන්නේ ඩිලුක්ෂි කවින්ද්‍යා වීරපෙරුම. අද අපේ කතාබහ ඇය සමඟිනි.


O.I.C ගඩාෆි හි හිරුණිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතාම හොඳයි. ‘ගඩාෆි’ චිත්‍රපටයේ හිරුණි කියන්නෙ වෙනස් චරිතයක්. මීට කලින් මේ වගේ චරිතයක් කරල නැති නිසා ප්‍රේක්ෂකයින් මොන විදිහට භාරගනීවිද කියලා මට හිතා ගන්න බැරිව හිටියේ. එත් දැන් ලැබෙන ප්‍රතිචාර ගැන මට හරිම සතුටුයි. හැමදෙනාගෙන්ම මං ඉල්ලන්නේ චිත්‍රපටය බලලා දැනෙන ඇත්තම දේ කියන්න කියලා.


හිරුණිට ඇරියුම ලැබුණේ කොහොමද?


රන්ජන් අයියා තමයි මට කතා කළේ. මුලින්ම මම හිතුවෙ ෆේක් කෝල් එකක් කියලා. ඔහු හැම කෙනෙකුටම සැලකුවෙ එකම විදිහට. කිසිම වෙනසක් කළේ නැහැ. ආයෙත් දවසක ඔයා මාව වැඩකට ගනියි කියල බලාපොරොත්තු වෙනවා කියලත් මං රංජන් අයියට කිව්වා.


ප්‍රවීණයන් රැසක් එක්ක ලබපු අත්දැකීම ගැන මොකද හිතෙන්නේ?


මම හරි ආසයි කවුරු හරි මගේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවට. සෙට් එකකදි මං බලන්නෙ ඉන්න ශිල්පීන්ගෙන් මට දෙයක් ඉගෙනගන්න පුළුවන්ද කියලා. මම අද දෙයක් කරනවා නම් මං ඒ හැමදේම ඉගෙන ගත්තේ ප්‍රවීණයින්ගේ ඇසුරෙන්. ඒ නිසා මම ආසයි ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න.


මුලින්ම කැමරාවට මුහුණ දුන්න නිර්මාණය මතකද?


2016 දී ගෝත්‍රා චිත්‍රපටය. එදා ඉඳන් 2021 වෙනකල් මම රඟපෑවා. ඒ වෙද්දී කරලා තිබුණේ නම් චිත්‍රපට දෙකයි. ගෝත්‍රා චිත්‍රපටය සහ බෆලෝ ට්‍රැවල්ස් චිත්‍රපටය. නමුත් ටෙලි නාට්‍ය ගොඩක මම අතුරු චරිත කළා. මට ඕනේ වුණේ හැම අවස්ථාවකින්ම යමක් ඉගෙන ගෙන ඉස්සරහට එන්න. ඒ නිසා මම පොඩිම චරිතේ ඉඳන් කරලා තියෙනවා. දෙබස් නැති යාළුවන් අතර හිටගෙන ඉන්න චරිත ඕනේ තරම් කරලා තියෙනවා. ඒ හැම එකකින්ම මම යමක් ඉගෙන ගත්තා. රාවණ නාට්‍යයේ තමයි මට දැනෙන රංගනයක් කරන්න ලැබුණේ.


ඩිලුක්ෂි වයිරල් වෙන්නේ ‘අනා‘ චරිතෙන් නේද?


ඒක හරි. මාව හැමෝම දැන ගත්තේ 2021දී රඟපෑ හර්ෂ උඩකන්දගේ ලොක්කි නාට්‍යයෙන්. ඒ චරිතේ විකාරයක්. හූ තියලා, කෑගහලා කරපු චරිතයක්. කොටස් දාහතරයි මට තිබුණෙ. එක රැයින් මාව ජනප්‍රිය වුණා. මටම හිතා ගන්න බැරි වුණා මොකද මේ වුණේ කියලා. ඒ වෙනකල් කවුරුත් මාව දන්නෙ නෑ. මාව ප්‍රේක්‍ෂකයන් අතරට අරගෙන ගියේ අනා. ඒ දවස්වල හැමදාම වගේ මගේ නාට්‍යය කොටස බලනවා. නිදා ගන්නවා. පහුවදා ආයේ සෙට් එකට යනවා. එහෙම හිටිය මගේ වීඩියෝ එකකට එක රැයින් 1M විව්ස් ආවා. එහෙම දෙයක් මං දැක්කමයි. ඒක මට පුදුමයක්. පැය 24න් මගේ කොටස විතරයි 1M විව්ස් ආවේ. අනා විලන් චරිතයක්. ඒත් ප්‍රේක්ෂකයින් මට මාර විදිහට ආදරේ කළා. 2025 වෙනකල් මම ඉන්න නාට්‍යය කොටස් වයිරල් වුණා.


පසුගිය කාලේ ටිකක් නිහඬ වුණේ ඇයි?


ගොඩක්දුරට මගෙන් ඉල්ලන්නේම එකම විදිහේ චරිත. නමුත් මට ඕනේ එකිනෙකට වෙනස් චරිත කරන්න. මම රඟපාන්න හරිම ආසයි. ඒත් ඉල්ලන්නේම අනාගේ ස්වරූපය. ඒත් මම ඒකම කරන්න ආස නැහැ. මට ඕනේ මට ආදරේ කරන ප්‍රේක්ෂකයින් රැකගෙන හොඳ නිර්මාණ කරන්න. ඒ නිසයි පොඩි බ්‍රේක් එකක් ගත්තේ. මට කිසි දෙයකට හදිසියක් නැහැ. මගේ කාලය ආවම ලැබිය යුතු දේ ලැබෙයි කියන විශ්වාසය තියෙනවා.


නිළියක් වෙන්න හිතුණේ ඇයි ?


මම භරත නර්තනය හදාරපු කෙනෙක්. භරත නැටුම් හරහා මුණෙන් මුළු කතාවක්ම කියන කලාවක්. ඒ නිසාම ඒ කලාවට මම පුදුම විදිහට ආදරේ කළා. පාසල් කාලෙ ඉඳන් නාට්‍ය කලාව හැදෑරුවා. දන්නා කාලේ ඉඳන් මම ආස කළේ නිළියක් වෙන්න. අපේ ගෙදරට ඉංග්‍රීසි ෆිල්ම්ස් ගෙනාවා. ඒවා බලද්දී මටත් රඟපාන්න ආස හිතුණා. මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබුණේ අපේ අක්කට. පාසලේ භරත නැටුම් කොන්සර්ට් එකක් කළා. අක්කා දුවගෙන ඇවිත් මට කිව්වා මාව චිත්‍රපටයකට ගත්තා කියලා. මම හිතුවේ එයා බොරු කියන්නේ ඒ අවස්ථාව ලැබුණේ මට කියලා. එතකොට මම පොඩියි. අක්කාට කතා කරලා තිබුණේ උදයකාන්ත වර්ණසූරියගේ චැලෙන්ජර්ස් ෆිල්ම් එකට. එයාගේ දුවගේ යාළුවා තමයි අපේ අක්කා. අක්කා ෂූටින් යනකම්ම මගේ ඔළුවේ තිබුණෙම මේ එන්න කියන්න ඇත්තේ මට වෙන්න ඇති කියලා. මොකද මමනේ ආස රඟපාන්න, එයා රඟපාන්න ආසයි කියලා කියනවා කවදාවත් මම අහලම නෑ .


දැන් අක්කා මොකද කියන්නේ?


එයා දැන් හරි ආඩම්බරයි. මම හිතන්නේ නැහැ මම මේ කන කට්ට එයා කයි කියලා. හැබැයි මට පුළුවන්. මම රඟපාන්න ආසයි.


ඩිලුක්ෂි කියන්නේ මොන වගේ කෙනෙක් ද?


මම බොහොම සරලව ජීවත් වෙන කෙනෙක්. මං දුක, සතුට හැමදේම වින්ද කෙනෙක්. මට ජොලියෙන් ඉන්න පුළුවන් තැන ජොලියෙන් ඉන්නවා. බොරුවට මවා පාගෙන ජීවත් වෙන්න කැමති නැහැ. මම ඇත්ත කතා කරලා සරලව ජීවත් වෙනකෙනෙක්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post