බුචි බාබු සානාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ 'පෙඩ්ඩි' (Peddi) සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවය පසුගියදා මුම්බායි නගරයේදී අතිවිශාල රසික ප්‍රජාවකගේ සහ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන නළු රාම් චරන්, සංගීත අධ්‍යක්ෂ ඒ. ආර්. රහ්මාන් සහ සියුම් නිල් පැහැති සාරියකින් සැරසී පැමිණි ප්‍රධාන නිළි ජාන්වී කපූර් එක්ව සිටියහ. මෙම සිනමා නිර්මාණය වෙනුවෙන් සමස්ත කණ්ඩායමම වසර දෙකකට ආසන්න කාලයක් අඛණ්ඩව වෙහෙස මහන්සි වී කටයුතු කළ බව ජාන්වී කපූර් එහිදී මාධ්‍ය අමතමින් සඳහන් කළාය.
උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ රාම් චරන්, ජාන්වී කපූර් චිත්‍රපටය වෙනුවෙන් දැක්වූ කැපවීම සහ ඇයගේ මනා සූදානම සම්බන්ධයෙන් දැඩි ප්‍රසාදයක් පළ කළේය. විශේෂයෙන්ම දින 85ක අඛණ්ඩ රූගත කිරීම්වලින් අනතුරුව යෙදී තිබූ ගීතයක රූගත කිරීම් සිහිපත් කළ ඔහු, එම ගීතය සඳහා පුහුණු වීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බව පැවසීය. එහෙත් ජාන්වී කපූර් මුම්බායි නගරයේදී එම ගීතයේ නර්තන අංග රහසිගතවම පුහුණුවී තිබූ බවත්, ඇය තමන්ට වඩා සිය ගුණයකින් විශිෂ්ට ලෙස අදාළ දර්ශනයට පෙනී සිටි බවත් ඔහු අවධාරණය කළේය. මෙතරම් කැපවීමකින් වැඩ කරන වෙනත් කිසිවෙකු තමන් දැක නොමැති බව පැවසූ රාම් චරන්, ඇයගේ එම ස්වභාවය විස්තර කිරීම සඳහා "චුප්පා රුස්තම්" (සැඟවුණු දක්ෂතා ඇත්තිය) යන යෙදුම ද භාවිත කළේය.
චිරන්ජීවි සහ ශ්‍රී දේවි යන අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ සුසංයෝගයෙන් අතීතයේදී නිර්මාණය වූ විශිෂ්ට සිනමා කෘතීන් පිළිබඳ මතකය, තමා සහ ජාන්වී කපූර්ගේ මෙම නව රංගන දායකත්වය හරහා යළිත් ප්‍රේක්ෂකයන් තුළ අවදි වනු ඇතැයි ද රාම් චරන් මෙහිදී විශ්වාසය පළ කළේය. සිනමාපටය වෙනුවෙන් ජාන්වී සිය උපරිමය ලබා දී ඇති බැවින් ප්‍රේක්ෂකයන්ගෙන් ඊට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට ද ඔහු සහතික විය. 1980 දශකයේ ආන්ධ්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පසුබිම රැගත් ක්‍රීඩා සහ ක්‍රියාදාම චිත්‍රපටයක් වන 'පෙඩ්ඩි' හි, ප්‍රධාන චරිතවලට අමතරව ප්‍රවීණ දකුණු ඉන්දීය නළු ශිවරාජ්කුමාර් ද ප්‍රබල සහායක චරිතයකින් රංගනයට එක්වෙයි.