නර්තනයට තිබුණු දැඩි ආදරයත් එක්ක ජීවිතය හැඩකරගන්න හීන දැකපු ඇයට, කලාව කියන්නේ අමුතු තැනක් නෙවෙයි. 2016 වසරේ අගභාගයේදී මුලින්ම කැමරාවකට හසු වූ ඇය, එතැන් පටන් ආ ගමන අද නතර වී ඇත්තේ ‘ගඩාෆි‘ සිනමා සිත්තමේ ‘හිරුණි‘ ගේ නවාතැන අසලයි. ප්‍රවීණයන්ගේ ආශීර්වාදයත්, පවුලේ සෙවණැල්ලත් මැද, රංගනයත් ජීවිතයත් හරිම සරලව විඳින ඇය, නර්තනය සහ රංගනය අතර මැද තමන්ගේම අනන්‍යතාවය සොයා යන අපූර්ව රංගන ශිල්පිනියක්. සිනමාවේ අලුත් විප්ලවයක් කරන්නට සැරසෙන ඩිලුක්ෂි වීරපෙරුම සමගයි අද අපේ කතාබහ.Sri Lanka Latest News
කවුද මේ ඩිලුක්ෂි කියන්නේ?
ඩිලුක්ෂි කියන්නෙත් සාමාන්‍ය කෙනෙක්. විශේෂත්වය කියන්නේ මම රංගනයට හා නර්තනට ආසයි. රංගන ශිල්පිනියක් විදිහට හයිලයිට් වෙලා පේනවා. නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන, සියලු හැඟීම් දැනීම් තියෙන කෙනෙක්..
ඉතින් ඩිලුක්ෂි මොකද වෙන්නේ මේ දවස්වල?
‘ගඩාෆි’ චිත්‍රපටයත් එක්ක තමයි ගෙවෙන්නේ. ඒකේ ප්‍රවර්ධන කටයුතු එක්ක. ඒත් එක්කම කොටස් 60 ටෙලිනාට්‍යයක් රූගත කිරීම් අවසන් කළා. වෙනස්ම චරිතයක් එක්ක ඒ නිර්මාණයත් නුදුරේදී ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.
අපි දැනගන්න කැමැතියි ඔබ රංගනයට අත්පොත් තබන්නේ කොහොමද කියලා?
මට ඉස්සෙල්ලා රංගනයට පිවිසෙන්නේ අපේ අක්කා. ඉතින් ඒවා දකිනකොට රංගනයට හරි ආසයි. අක්කාගේ හොඳ යාළුවෙක් තමයි ජනිත් වික්‍රමගේ අයියා. එයාගේ මාර්ගයෙන් මට ‘ගෝත්‍රා’ කියන චිත්‍රපටයට අවස්ථාව ලැබෙනවා. 2016 දෙසැම්බර් තමයි මම මුලින්ම කැමරාවක් ඉස්සරහට එන්නේ. ඊට පස්සේ රාජ් රණසිංහ නිෂ්පාදකතුමා මාර්ගයෙන් දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු ‘බෆලෝ ට්‍රැවල්ස්’ චිත්‍රපටයට අවස්ථාව ලැබුණා. ඔය විදිහට තමයි මගේ රංගන ගමන ආරම්භ වුණේ.
‘ගඩාෆි’ ෆිල්ම් එකේ අත්දැකීම කොහොමද?
හරිම සුන්දරයි. ජ්‍යෙෂ්ඨයෝ රැසක් එක්ක රඟපාන්න ලැබුණා කියන්නේ මම හරි වාසනාවන්තයි. ඒ චරිතය මට අභියෝගයක්. මගෙත් එක්ක හිටපු හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා මේ චරිතය සාර්ථකව කරගන්න.
රංජන් රාමනායක සමග වැඩ කරන එක ලේසි වුණාද?
රංජන් අයියාගේ අධ්‍යක්ෂණයක් යටතේ මීට පෙර මම වැඩ කරලා තිබුණේ නෑ. හරි සුන්දර මනුස්සයෙක්. ඉතාමත් පහසු වුණා වැඩකටයුතු කරගෙන යන්න.
රූගත කිරීම් තුළ ඔබගේ මතකයේ රැඳුණු සිදුවීම් මොනවද?
මේකේ මගේ චරිතය හිරුණි. මගේ පළමුවැනි රූගත කිරීම තිබ්බේ මීයා අහුවුණා කියලා කෑගහන එක. ඒකේ මුලින්ම ෂූට් කළේ ඇතුළේ ඉඳන් එළියට දුවගෙන එන සිද්ධිය. පළමු ටේක් එකේදිම මම එතැන තිබ්බ ගලකින් වැටිලා කකුල තුවාල වෙලා ටේක් එක ඉවර වෙලා තමයි ඒක දැක්කේ. මට ලේ බලන්න බෑ. කොහොම හරි මම හොඳටම කෑගැහුවා ලේ දැකලා. අදටත් ඒ කැලල තියෙනවා.
ඔබ ප්‍රවීණයන් එක්ක වැඩ කළා කිව්වා. කොහොමද ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය?
මම කරපු චරිතය ගොඩක් වෙනස් එකක්. හැම අවස්ථාවකදිම නුහුරුයි ඒ චරිතය මට. ඒක පහසුවෙන් කරගන්න මට ගිහාන් අයියාගෙන්, ජයනි අක්කාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.
මේ චරිතය හරහා ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොයි වගේද?
හිරුණිගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රිමියර් එක දවසේ තමයි මම වැඩිම ප්‍රතිචාර ඇහුවේ. ගොඩක් කෝල්ස්, මැසේජස් ආවා හොඳ ප්‍රතිචාර. සෝෂල් මීඩියාවල අදහස් නම් මම බලන්නේ නැති තරම්. මගේ හිත හුඟක් සංවේදී. ඒ නිසාම මම සෝෂල් මීඩියාවල දේවල් එච්චර බලන්න යන්නේ නෑ. මට ලැබෙන හොඳ නරක දෙකම මම ආදරයෙන් භාරගන්නවා.
ඔබ රංගනයට පිවිසුණේ නැත්නම් දිලුක්ෂි කියන්නේ කවුද?
මම නර්තනයට තමයි ගොඩක් ආදරය කළේ. ඒක මට අතහැරුණේ රංගනයත් එක්ක. එහෙම නැත්නම් මම ෆැෂන් ඩිසයින් කරන්න පුළුවන්.ඒකටත් ආසයි.
කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොයි වගේද?
ගෙදරින් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. ගෙදරින් අපිට අවස්ථාව දුන්නා අපි යන පාත් එක තෝරගන්න. ස්ක්‍රිප්ට් එක මුලින්ම කියවන්නෙත් අම්මා. තාත්තා හරිම සාමාන්‍ය කෙනෙක්. එයාට අපි කිව්වම තමයි දන්නෙත් අපි මෙහෙම දේක ඉන්නවා කියලා. එයාලගේ සහයෝගය නිසා තමයි මම මෙච්චර දුරක් හරි ඇවිල්ලා ඉන්නේ.
ඉදිරි වැඩ ගැන මතක් කරලා අපි කතාබහ අවසන් කරමු?
කලින් කිව්වා වගේ කොටස් 60ක ටෙලිනාට්‍යයක් කරලා තියෙනවා. ඒක එන්න තියෙනවා. එකම වගේ චරිත කරන එකෙන් ඈත්වෙලා මම පොඩි බ්‍රේක් එකක් අරන් ඉන්නේ. වෙනස් විදිහේ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණොත් මම භාර ගනියි. සංගීතය පැත්තෙනුත් අලුත් නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.