කවුද කියන්නේ අපි තරහයි කියලා…අපි එදාටත් වඩා දැන් ආදරෙන් ඉන්නවා -හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

gossiplanka image 1
 

 


මව යනු දරුවන්ගේ ලෝකයයි. මවකටත් දරුවන් වෙනුවෙන් ලෝකයක් වුණත් දෙකඩ කළ හැකියි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යනු දේශපාලන නායිකාවකි. ජනතා නියෝජිතවරියකි. ඇය ප්‍රායෝගික දේශපාලන දිවියේ අභියෝගයන්ට මුහුණ දෙමින් ඉදිරියට යන ශක්තිමත් කාන්තාවකි. එසේම දරුවන් තිදෙනෙකුගේ මවකි. කුමන ප්‍රශ්න තිබුණත්, සිය ස්වාමිපුරුෂයා සමඟ දරුවන්ට සෙනෙහස පිරුණු ලෝකයක් තනා දෙන්නට උත්සහ කරන්නියකි. පුද්ගලික ප්‍රශ්න නිසා පියවරුන්ගෙන් දරුවන් වෙන් කරන මව්වරුන්ට නැවත සිතන්නට යමක් ඉතිරි කරන්නියකි. ඉතින් මේ ඇගේ මාතෘත්වය රටටම ආදර්ශයක් නොවන්නේද?ඔබ ආදරණීය මවක් ලෙස මේ දිනවල දරුවන් සමඟ ගෙවන කාලය මොන වගේද?මම දරුවන් සමඟ කාලය ගත කරන ගමන් දේශපාලන කටයුතුවලත් නියැලෙනවා. මේ දිනවල ඉතාමත් කාර්යබහුලයි.ඔබගේ දරුවන් තිදෙනා ගැනත් කතා කළොත්…මට පුතෙක් සහ දියණියන් දෙදෙනෙක් ඉන්නවා. මගේ ලොකුම පුතාට මේ වෙනකොට වයස අවුරුදු 8 යි. එයා 4 වසරේ ඉගෙනුම ලබනවා. ලොකු දුවට වයස අවුරුදු 7 යි. එයා 2 වසරේ ඉගෙන ගන්නේ. දෙවැනි දුවට වයස අවුරුදු 5 යි. එයා 1 වසරේ.ඔබ දේශපාලනයට පිවිසෙන්නේ පියාගේ ආභාසය නිසාද?ඔව්, මම පියාගේ මරණින් පස්සේ දේශපාලනයට පිවිසුණා.


ඔබේ පියාගේ දේශපාලන කටයුතු නිසා ළමා කාලයේදී ඔබට ඔහුව මඟහැරුණාද?මගේ තාත්තා පැය 24 ම ජනතාව වෙනුවෙන්, ජනතාවගේ පොදු වැඩ වෙනුවෙන් කාලය ගත කරපු දේශපාලනඥයෙක්. අපේ අම්මා තමයි අපේ සියලුම වැඩ කටයුතු කළේ. නමුත් තාත්තා කිසිමවිටක අපිව හෝ අපේ වගකීම් මඟහැරියේ නැහැ. අපේ සෑම විශේෂ අවස්ථාවකදීම ඔහු අපි ළඟින්ම හිටියා. මටයි මල්ලිටයි අවශ්‍ය උපදෙස්, මඟ පෙන්වීම් අපි ලබා ගත්තේ තාත්තාගෙන්. අපි හතරදෙනා හරි එකමුතුයි. තාත්තා කොයිතරම් කාර්යබහුල වුණත් දවසට එක වතාවක් හරි අපි එක්ක එක තැනක ඉඳගෙන කතාබහ කරන්න කාලය තියාගන්නවා. තාත්තා අපිත් එක්ක හිටියේ යාළුවෙක් වගේ.ඔබ සහ ඔබේ ස්වාමිපුරුෂයා අතර කුමනාකාරයේ ගැටලු තිබුණත් ඔබ දෙදෙනාම දෙමව්පියන් විදිහට හරිම එකමුතුයි කියලා අපි කිව්වොත්…ළමයි හැදෙන කාලෙට අම්මයි තාත්තයි දෙන්නම ළග ඉන්න ඕන. මගේ මහත්තයා හරිම හොඳ තාත්තා කෙනෙක්. මමත් මගේ මහත්තයත් හොඳම යාළුවෝ. ප්‍රශ්නය අපි දෙන්නට එක මතයකට, එක අදහසකට එන්න බැරිකම. ඒකට ලොකුම හේතුව අපි දෙන්නා හිතන පතන විදිහ, තීන්දු තීරණ ගන්න විදිහ වගේම එකට ගැටෙන විදිහත් එකම වගේ. පරාජය බාරගන්න හෝ අඩියක් ආපස්සට තියන්න දෙන්නම කැමති නැහැ.


අපි අවුරුදු 10 ක් තිස්සේ උත්සාහ කළා ඒක පාලනය කරගන්න. එක වහලක් යට ඉදන් බහින් බස් වෙනකොට ඒක දරුවන්ටත් අයහපත් විදියට බලපානවා. මේ වෙනකොට අපි දෙන්නා නිවෙස් දෙකක හිටියත් දික්කසාද වෙන්නේ නැහැ කියන තනි තීරණයේ ඉන්නවා. ගොඩක් වෙලාවට දික්කසාද වෙන්නේ වෙනත් විවාහයක් කරගන්නනේ, අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි තාමත් දෙන්නට දෙන්නා හරිම ආදරෙයි.


මේ කතා කරන මොහොතෙත් මගේ දරුවන් ඉන්නේ මහත්තයා ළඟ. මම දේශපාලන කටයුතුත් එක්ක කාර්යබහුල නම් එයා දරුවන්ව අරන් ගිහින් බලා ගන්නවා. මාත් එහෙමයි. මම එයාගේ ගෙදර යනවා වගේම, එයා මගේ ගෙදර එනවා. අපි එකතු වෙලා දරුවන් එක්ක විනෝද චාරිකා පවා යනවා.


ඔබ දෙදෙනාගේ දුරස්වීම ගැන දරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය මොන වගේද?දරුවන්ට ඒක ඇඟවිලාවත් නැහැ. ඒගොල්ලෝ දන්නේ අපි ගෙවල් දෙකක ඉන්නවා කියලා විතරයි. මම හැම වෙලාවෙම හිතුවේ මමයි මගේ මහත්තයයි අතර තියෙන ප්‍රශ්න දරුවන්ට කියන්න අවශ්‍ය නැහැ කියලා. මොකද එයා හොඳ තාත්තා කෙනෙක්.


ඔබ විශ්වාස කරන විදියට වර්තමාන සමාජයේ පවුල් ආරවුල් දරුවන්ට අහිතකර ලෙස බලපාන්නේ මොන හේතු නිසාද ?අම්මගෙයි තාත්තගෙයි වෙන්වීම දරුවන්ට අයහපත් ලෙස බලපාන ප්‍රධාන හේතුව තමයි, අම්මා දරුවන්ට තාත්තාගේ වැරදි කියනවා, තාත්තා දරුවන්ට අම්මාගේ වැරදි කියනවා. දරුවන් බලන්න ආවාම අම්මා තාත්තාට රවනවා, අකමැත්ත ප්‍රකාශ කරනවා, දරුවන්ට එළියට එන්න දෙන්නේ නැහැ. මේ දේවල් නිසා දරුවන් ව්‍යාකූලතාවයකට පත් වෙනවා. දරුවන්ට අම්මා වගේම තාත්තාවත් ඕනි. මේ වගේ ගැටලු සහගත අවස්ථාවක එයාලා කාව තෝරාගන්නද? මමවත් මහත්තයාවත් අපි දෙන්නාට දෙන්නාගේ වැරදි දරුවන්ට කියන්න යන්නේ නැහැ. අපි සැමියා බිරිඳ ලෙස එකට නොසිටියට, අපි හොඳ දෙමාපියන් කියලා දෙන්නම දන්නවා. දරුවන්ට කිසිම අඩුපාඩුවක් හෝ වෙනසක් අපි කරන්නේ නැහැ.


දෙමාපියන් ලෙස ඔබ දෙදෙනා අතර ඇති එකඟතාවය සහ විශ්වාසය දරුවන්ගේ වැඩකටයුතුවලට උපකාරී වන්නේ කොහොමද?අපි අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා දරුවන්ට තේරෙන්නෙවත් නැහැ. මම කොළඹින් පිට හිටියත් මගේ මහත්තයා දරුවන්ගේ වැඩ කටයුතු සියල්ල හොඳින් කරනවා කියලා සියයට දාහක් මට විශ්වාසයි. දරුවන්ගේ වැඩ කටයුතුවලදී අපි දෙන්නා අතර ලොකු විශ්වාසයක් තියෙනවා. අපි දෙමාපියන් විදිහට හරි එකමුතුයි.දේශපාලන ගමනේදී මවක් ලෙස මුහුණ දෙන අභියෝග මොනවාද?ඇත්තටම ලොකුම අභියෝගය ආවේ දරුවන්ට මව් කිරි දෙන කාලේ. දරුවෝ තුන්දෙනාම හැදුණේ ඡන්ද කැම්පේන් අතරතුර. ඒ නිසා දරුවෝ හිටියේ වාහනේමයි. මට විශ්වාස මහත්තයාවයි, මගේ අම්මාවයි විතරයි. මම මගේ දරුවෝ මගේ ඇස් මායිමේ ඉන්න ඕනි කියලා විශ්වාස කරන අම්මා කෙනෙක්. දරුවෝ පොඩි කාලේ මහත්තයාගේ පුංචිලා, මගේ අම්මා මට ගොඩක් උදව් කළා. දැන් නම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ වැඩ තනියම කරගන්න පුළුවන්. දැන් මම හරිම නිදහස්.කොතරම් කාර්යබහුල වුණත් දරුවන් සහ ඔබ අතර ඇති බැඳීම හරිම සමීපයි. මේ ලැදියාව ගොඩනගා ගත්තේ කොහොමද?මම දරුවෝ එක්ක ඉන්නේ යාළුවෝ වගේ. හැමදාම නිදාගන්න යද්දී දරුවන්ට මගේ දවසේ විස්තර කියනවා. දරුවෝ ඒගොල්ලන්ගේ විස්තර මට කියනවා. එයාලා කිසිම දෙයක් හංගන්නේ නැහැ. පොඩි කාලේ ඉඳන්ම එයාලට විශ්වාසය ඇති කරන්න ඕන අම්මා තාත්තා එයාලාව විනිශ්චය කරන්නේ නැහැ, එයාලට ඕනෑම දෙයක් අපිට කියන්න පුළුවන් කියලා. එතකොට දරුවෝ වැරදි පාරවල්වල යන්නේ නැහැ.දේශපාලන ජීවිතයේ ඇතිවන අර්බුද පවුලට හානියක් නොවන ලෙස කළමනාකරණය කරගන්නේ කොහොමද?මම දේශපාලනය ගේ ඇතුළට ගේන්නේ නැහැ. ගෙදරදී මම මගේ දරුවන්ගේ අම්මා. මම පුංචි කාලේ ඉඳන් ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්. තරුණ කාලේ ගොඩක් හිත් රිදීම්වලට ලක්වුණු කෙනෙක්. දැන් හැමදේ දිහාම මැදහත් විදිහට බලනවා.මවක් විදිහටත් දේශපාලනික කාන්තාවක් විදිහටත් හිරුණිකාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?මවක් විදිහට බලාපොරොත්තුව මගේ දරුවන් තුන්දෙනා ශක්තිමත් මානසිකත්වයක් තියෙන, සතුටින් ඉන්න දරුවන් බවට පත් කිරීම. ඒ වගේම රටේ ජනතාවගේ ආර්ථික හා සමාජ මට්ටම ඉහළ නැංවීමට පරම්පරාගණනකට ප්‍රතිලාභ ලැබිය හැකි ජාතික තලයේ වැඩපිළිවෙලක් ඇති කරලා දේශපාලනයෙන් සමු ගැනීම තමයි දේශපාලනයේදී මගේ අවසාන බලාපොරොත්තුව.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post