මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය රට පවුල ටෙලි නාට්‍යයේ දනුකගේ චරිතය රඟපාපු අකලංක ප්‍රභාෂ්වරට හිමි වුණා. ඉතින් රංගන ක්ෂේත්‍රයේ සිටින නළුවන් අතර හොඳම නළුවා වීම ගැන අකලංක එක්ක කතා කරන්න අපි හිතුවා.
රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම ගැන අකලංක මොකද හිතන්නෙ?
රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නළුවාවීම මගේ වෘත්තිය ගමන දිරිමත් කිරීමක් විදිහටයි මම දකින්නෙ. හැබැයි හොඳම නළුවා සම්මානෙ හම්බවුණා කියලා මම තරම් රටේ හොඳම නළුවෙක් වෙන නැහැ කියන අදහස මට නැහැ. සම්මානය රංගන ජීවිතය දිරිමත් කිරීමක් විදිහට භාර අරගෙන සුපුරුදු පරිදි රංගන කටයුතු කරගෙන යන ගමනුයි මම ඉන්නෙ.
අකලංකව හොඳම නළුවා කළ රට පවුල ටෙලි නාට්‍යය ගැන කියවීම මොකක්ද?
රට යවනවා කියලා මිනිස්සුන්ගෙන් සල්ලි වංචා කරපු සිද්ධියක් හරහායි රට පවුල ආරම්භ වුණේ. නිතර දකින ටෙලි නාට්‍යවලට වඩා කාලීන මාතෘකාවක් ඔස්සේ දිගහැරුණ රට පවුල ප්‍රේක්ෂකාගාරයේ සිත්වලට සමීපව කතා කරපු හොඳ ප්‍රමිතිගත ටෙලි නාට්‍යයක් විදිහටයි මම දකින්නෙ. රට පවුල අධ්‍යක්ෂවරවයා හසුන් සමීර, නළු නිළියො, නිෂ්පාදක කණ්ඩායම ඇතුළු අපි සියලු දෙනා රට පවුල වෙනුවෙන් මහන්සි වුණා. අපි සියලු දෙනාගේම මහන්සියේ ප්‍රතිඵලයක් විදිහටයි රට පවුලෙ රඟපාපු අපිට සම්මාන ලැබුණෙ.
අකලංක හොඳම නළුවා වෙද්දි ප්‍රශා නැගී එන නිළිය විදිහට සම්මානයෙන් පිදුම් ලබනවා...
රට පවුලේ අප්සරාගේ චරිතය ප්‍රශාගේ පළමුවැනි රංගන අත්දැකීම. ප්‍රශා රංගනයට අලුත් නිසා රංගනය සම්බන්ධයෙන් සෑහෙන්න දේවල් හොයලා තමන්ගේ හැකියාව වර්ධනය කරගෙන අප්සරාගේ චරිතය රඟපෑවෙ. රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට උනන්දු කරලීමක් විදිහට නැගී එන නිළියගේ සම්මානය ප්‍රශාට හිමිවීම සුදුසුයි කියලා මම විශ්වාස කරනවා.
අකලංක රංගන ක්ෂේත්‍රය තුළ ගතකරපු කාලය මොන විදිහටද දැනෙන්නෙ?
මේ වෙද්දි මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10 ක් වෙනවා. මුලින්ම මම රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ වේදිකාවෙන්. වේදිකාවෙ නළුවෙක් විදහට කටයුතු කරන අතරේ වේෂ නිරූපණය, වේදිකා පසුතල සැකසීම, ලයිට් වැඩ ඇතුළු වේදිකාවෙ සියලුම දේවල් කළා. ඒ හැම දෙයක්ම මට හොඳ අත්දැකීමක් මිසක කට්ටක් කියලා හිතන්නෙ නැහැ. ඒ අත්දැකීම් සියල්ල එක්කයි මම ටෙලි නාට්‍ය රංගනයට පිවිසුණේ. ටෙලි නාට්‍යවලින් ජනප්‍රිය වෙලා ස්ථාවරය ගොඩනගා ගත්තත් අදටත් මම වේදිකාව අමතක කරලා නැහැ. ටෙලි නාට්‍යවල රඟපාන ගමන් වේදිකා නාට්‍යවල වැඩකටයුතුත් සාර්ථකව කරගෙන යනවා.
චරිතාංග රංගන ශිල්පියව අකලංක තුළ ගොඩනගා ගත්තේ කොහොමද?
නළුවෙක් විදිහට මම නිතරම උත්සාහ කරන්නෙ එක රාමුවකට කොටුවෙන්නෙ නැතුව විවිධ රංග පරාසවල චරිත රඟපාන්න. චරිතාංග නළුවෙක් වීමේදි සමාජය ගැන අත්දැකීම් සහ රංගනය ගැන අත්දැකීම් මම උපයෝගී කරගන්නවා. පුද්ගල සමාජ හැසිරීම සහ රංගනය ගැන හරිහැටි අවබෝධයක් චරිතාංග නළුවෙක්වීමේදි තිබිය යුතුයි කියලා මම දැඩිව විශ්වාස කරනවා.
රංගන ශිල්පියෙක් වීම ගැන පවුලෙ අයගේ අදහස මොකක්ද?
නළුවෙක්ට ස්ථාවර තත්ත්වයක් නොමැතිවීම නිසා මගේ අම්මයි තාත්තයි කැමැති වුණේ නැහැ මම නළුවෙක් වෙනවට. නමුත් මම දිගටම නළු හීනය පස්සෙ ගිහින් සාර්ථක ස්ථාවරයක් ගොඩනගාගෙන ඉන්නවා. එදා නළුවෙක් වෙනවට අකැමැති වෙලා හිටපු අම්මයි තාත්තායි අද වෙද්දි මම රංගන ක්ෂේත්‍රය තුළ සාර්ථක වෙලා ඉන්නවා දැකලා ගොඩක් සතුටු වෙනවා.
රංගනය වෙනුවෙන් ගෙවන ගාණ අකලංකගේ අදහස මොකක්ද?
මම රංගනයට ආදරේ කරන නළුවෙක්. විදේශ රටවල වගේ ලංකාවේ නිර්මාණවලට ලොකු අගයන්වලින් නිර්මාණ නිෂ්පාදනය කරන්නෙ නැහැ. ඉතින් මම රංගන ක්ෂේත්‍රයට ආවෙ මහා ලොකු මුදල් හම්බ කිරීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. රංගන ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා මම කරපු රංග කාර්යට ලැබෙන මුදල ගැන තෘප්තිමත් වුණා. නමුත් අද වෙද්දි යම් දේශපාලන කාරණා නිසා උද්ධමනය අපේ නහයටත් වඩා උඩින් ගිහින් තියනවා. ඉතින් මේ තත්ත්වය තුළ මගේ පැවැත්මට සරිලන සාධාරණ මුදලක් මම බලාපොරොත්තු වෙනවා.
මෙගා ටෙලි නාට්‍ය තුළින් නළුවගේ හැකියාව හකුළුවාලන අවස්ථා අද වෙද්දි දකින්න ලැබෙනවා. මේ තත්ත්වය ගැන මෙගා සහ මෙගා නොවන ටෙලි නාට්‍ය රඟපාන නළුවෙක් විදිහට අකලංක දකින්නෙ කොහොමද?
අද වෙද්දි ටෙලි නාට්‍යවලට බලපෑම් කිරීමේ හැකියාව රූපවාහීනී නාලිකාවලට සෘජුවම තියනවා. ටෙලි නාට්‍ය ජනප්‍රිය වෙද්දි සමහර රූපවාහීනී නලිකා කතාවේ කොටස් දිග්ගැසීම හෝ වෙනත් සිදුවීම් පිටපතට එකතු කරන අවස්ථා අපි දැකලා තියනවා. එවැනි තත්ත්වයන් තුළ නළු නිළියන්ගේ රංගන හැකියාවට හානිවීම හෝ හැකිළීම සිද්ධ වෙනවා. ස්වාධීන රංගන ශිල්පියෙක් විදිහට කා අතින්වත් පාලනය වෙන්න මම කැමැති නැහැ. මට එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුණොත් කිසිම පැකිළීමකින් තොරව ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙනවා.
නළුවෙක් විදිහට ඉදිරියෙදි ස්ථානගත වෙන්නෙ කොතැනද කියලා අකලංකට අදහසක් තියනවද?
රංගන ක්ෂේත්‍රයේ ඊළඟට ස්ථානගත වෙන්නෙ කොතැනද කියලා මට නිශ්චිත අදහසක් නැහැ. විවිධ රංග පරාසවල චරිත රඟපාමින් චරිතාංග රංගන ශිල්පියෙක් විදිහට රංගන ක්ෂේත්‍රය තුළ ඉදිරියට යනවා කියන අදහසයි මම දැනට ඉන්නෙ.