අල්ලපු රටේ විතරක්ම නෙවෙයි, එහෙව් නිළියෝ කීපදෙනෙක් අපේ රටෙත් ඉන්නවා. ඒ අතරිනුත් ඉදිරියෙන්ම කියවෙන නමක් තමයි ගයත්‍රි ඩයස්. දශක තුනක් පුරාවට කලා ක්ෂේත්‍රයේ අතිසාර්ථක ගමනක් යමින් සිටින ඇයත් අසරණ සතුන් වෙනුවෙන් සුබසාධන කටයුතුවල නිරතවන නිළියක්. ඉතින් මෙවර ධරණී කවරය සරසන්න අපි ආරාධනා කළෙත් ගයත්‍රිට. හැබැයි ඒ තනියම නෙවෙයි, කඩවසම් බලු කොල්ලෙකුත් එක්ක. ඒ කවුද කියන එක පසුවට තියාගෙන අපි මුලින්ම ගයත්‍රිගෙන් අහලා බැලුවේ මේ දිනවල ඇයගේ කලා කටයුතු ගැනයි.
“සුපුරුදු විදියට කලා කටයුතු කරගෙන යනවා. හැබැයි මේ ටිකේම ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් තමයි වැඩි කාලයක් යොදවලා තියෙන්නේ. ඒ මගේ සැලෝන් එකට සහ කැෆේ එකට. සැලෝන් එකට දැන් හරියටම අවුරුදු 26ක් වෙනවා.”
*ගයත්‍රි රංගනයට ඇවිත් දැන් වසර කීයක්ද?
“2026 අවුරුද්දට හරියටම අවුරුදු 31ක්.”
දශක තුනක් තරම් දීර්ඝ කාලයක් තමන්ගේ ජනප්‍රියත්වය එක සේ පවත්වා ගැනීම ඕනෑම නිළියකට අභියෝගයක්. ඒත් ගයත්‍රි කියන්නෙ ඒ හපන්කම කරපු නිළියක්.
“කලා ක්ෂේත්‍රය වගේ තැනක දශක තුනක් පුරාවට රැඳිලා ඉන්න එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒ උනත් මං ඒක කළා. ඒ නිසා අදටත් මට නිර්මාණවලින් කිසිම අඩුවක් නෑ. මං හිතන්නේ මේ ගෙවුණු කාලය පුරාවටම මට ලැබුණු ප්‍රේක්ෂක ආදරයත් ඒකට බලපෑවා. ඒ නිසා මාව විශ්වාස කරලා මේ දක්වා මට නිර්මාණවලට ආරාධනා කළ නිර්මාණකරුවන් සියලුදෙනාව මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න කැමතියි.”
දශක තුනක දිගු රංගන චාරිකාවක් තුළ නළුවෙකුට නිළියකට අමතක නොවෙන දවස් නොතියෙන්න විදියක් නෑනේ. ගයත්‍රිගේ රංගන චාරිකාවෙත් එහෙව් දවස් තියෙනවලු. ඒ දවස් අතරින් මුලින්ම ගයත්‍රිගේ මතකයට පැමිණි අමතක නොවන දවස් ගැනයි මේ.
“ඒ සිදුවීම වුණේ මකර විජිතය ටෙලිනාට්‍යයේ රඟපෑව කාලේ. ඒකෙ මට බයිසිකලයක් පදින දර්ශන කීපයක් තිබුණා. හැබැයි ඒ වෙනකොට මම බයිසිකල් පැදලා තිබුණේ නෑ. ඒත් ඉතින් කොහොමහරි පදින්නත් එපැයි. ඒ නිසා මම අමාරුවෙන් ඒක පුරුදු වුණා. ඔය අතරේ දවසක් මට බයිසිකල් එකත් පැදගෙන කන්දක් පල්ලෙහාට යන්න තිබුණා. ඒ යද්දි බ්‍රේක් ගහන්න බැරිවුණා. අන්තිමේ වේගය පාලනය කරගන්න බැරිවෙලා එතැන හිටපු අයත් යට කරගෙන ගිහින් මං පෙරලුණා. මටත් ටිකක් තුවාල වුණා. අදටත් මට ඒ සිදුවීම අමතක වෙන්නේ නෑ.”
මකර විජිතය, පාරාදීසේ, පබළු, කොළඹ ඉතාලිය, සිරි නම්බර් වැනි ටෙලිනාට්‍ය මෙන්ම වැලි පවුරු, නිමි, ඊතලය, මිස් ජෙනිස්, රීලෝර්ඩ් වැනි චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ගයත්‍රි, රංගනයෙන් දායකවන අලුත් නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදි නරඹන්න පුළුවන් බවත් ගයත්‍රි අපිත් එක්ක කිව්වා.
නවක මෙන්ම ප්‍රවීණ බොහෝමයක් නළු නිළියන්ට තියෙන ලොකුම සිහිනයක් තමයි රංගන ජීවිතේ තුළ සම්මානයක් ලබාගැනීම. ඒ උනත් ගයත්‍රිට නම් එහෙම සිහින නැති බවකුයි ඇය අපිත් සමඟ කිව්වේ.
“මං බලාපොරොත්තු වෙන එකම සහ ලොකුම සම්මානය වෙන්නේ ප්‍රේක්ෂක ආදරය. එතැනින් එහාට සම්මාන ගැන අදහසක් නෑ.”
ගයත්‍රි සම්මානයක් තරම් අගයන ඇගේ ප්‍රේක්ෂකයෝ අතර පාඨක ඔබත් සමහරවිට ඇති. ඒක එහෙම නම් ගයත්‍රි වයසට නොයන රහස ගැන ඔබත් දැනගන්න කැමති ඇති.
“(සිනාසෙමින්) ඒකට රහසක් නෑ. සාමාන්‍යයෙන් මං තියෙන වැඩක් කරගෙන මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. කාටවත්ම ඊර්ෂ්‍යා කරන්නේ, වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ නෑ. නිතරම සතුටින් ඉන්න තමයි උත්සාහ කරන්නේ. මම හිතන්නේ සතුටින් ජීවත්වෙන අය හැමදාම තරුණ පාටයි.”
තරුණ පාටට හිටියට මොකද ගයත්‍රිට ලොකු දුවලා දෙන්නෙකුත් ඉන්නවා. හැබැයි ඔවුන් නම් ගයත්‍රි වගේ කලාව තෝරගන්නේ නැතිවෙයි කියලයි ගයත්‍රිගේ එකම විශ්වාසය.
“දුවලා දෙන්නා නම් කලාව තෝරගන්න එකක් නැතිවෙයි. අනෙක එයාලත් මගේ පාරෙ යන්න ඕන කියලා නියමයක් නෑනේ. ඒක නිසා එයාලා කැමති පාර තෝරගෙන යන්න මං නිදහස දීලා තියෙන්නේ.”
ගයත්‍රි කියන්නේ සත්තුන්ට හරිම ආදරේ කරන චරිතයක්. විශේෂයෙන්ම අසරණ සතුන් වෙනුවෙන් නිතර නිතරම නිහඬව සුබසාධන කටයුතුවල නිරතවෙන චරිතයක්. අපි කතාබහ අවසන් කළේ එතැනින්.
“ඔව්, මං සත්තුන්ට ගොඩාක් ආදරේ කෙනෙක්. එයාලා අපිට දෙන ආදරේ මහා පුදුමාකාර එකක්. ඒ නිසා මට පුළුවන් හැමවෙලාවකම මං පාරේ ඉන්න අසරණ බල්ලන්ට පූසන්ට කන්න බොන්න අරගෙන දෙනවා. ඔවුන් වෙනුවෙන් විවිධ සුබසාධන කටයුතු කරනවා. ඒකෙන් මං ලොකු තෘප්තියක් ලබනවා. මං හරිම ආසයි මේ රටේ කොහේ කොතැනක ඉන්න කවුරු වුණත් ඒ වගේ සත්තුන්ට ආදරේ කරන පිරිසක් වෙනවා නම්...”
ගයත්‍රි සමඟින් කරපු කතාබහට පස්සේ අපි මෙවර ඇය එක්ක කවරයට පෙනී ඉන්න බලු කොල්ලා ගැන කියන්නත් ඔබට පොරොන්දු උනානේ. ඒ ඉන්නේ ‘ඉතාන් බෝයි.’ ඔබට මතක නම් මීට මාස තුන හතරකට ඉහතදී ඉතාන් බෝයි ගැන ධරණී පුවත්පතේ ලිපියකුත් පළවුණා.
“ඉතාන් කියන්නේ රුසියාවේ ඉපදුණු Shihtzu වර්ගයට අයත් බල්ලෙක්. දැන් වයස අවුරුදු පහක් වෙනවා. එයා හරි කඩවසම් පෙනුමක් තියෙන බල්ලෙක් හින්දා මං ගෙනාපු කාලේ ඉඳන් පුළුවන් හැමවෙලේම ෆොටෝස් අරන් ‘ඉතාන් Boy’ නමින් පේජ් එකක් හදලා ඒකෙ පළකළා. දිගටම එහෙම කරද්දි එයා හුඟාක් ජනප්‍රිය වුණා. ෆොටෝශූට්වලට එහෙමත් කතා කළා. මං බෞද්ධ. අපේ ආගමේ සඳහන් වෙනවා කෙනෙක්ගේ උත්පත්තියට පසුගිය ආත්මවල කරගත්ත කුසල් අකුසල් බලපානවා කියලා. ඒ හින්දා මට හිතුණා මේ ආත්මභාවයේ තිරිසන් ආත්මයක් ලැබිලා ඉන්න ඉතාන්, මතු උපදින ආත්මයක තිරිසන් භාවයෙන් මිදිලා ඊට වඩා හොඳ ආත්මයක ඉපදෙන්න කියන ප්‍රාර්ථනාව ඇතුව ෆොටෝ ශූට්වලට පෙනී ඉඳලා ලැබෙන මුදල්වලින් කොටසක් පින් අතේ වැඩවලට යොදවන්න.”
ඒ රසාංග ද සිල්වා. ඔහු තමයි ඉතාන්ගේ හිමිකරු. ඔහු කියපු විදියට මේ වෙනකොටත් ඉතාන් කියන්නේ බොහෝ පින්දහම් කරගත්ත බලු කොල්ලෙක්. පහුගියදා ඉතාන් මස් කඩේ කොක්කක එල්ලෙන්න හිටපු එළු පැටියෙකුත් මරණයෙන් බේරගෙන. ඒ එරීනා. එරීනාත් දැන් ඉතාන්ගේ හොඳම යාළුවෙක්.
“ඉතාන් බෝයි අපේ රටේ ජනප්‍රිය නළු නිළියෝ ලොකු පිරිසක් එක්ක මේ වෙද්දි ෆොටෝ ශුට්ස් කරලා තියෙනවා. ඒ නිසා ගොඩාක් නළු නිළියෝ ඉතාන්ගේ යාළුවෝ. ඒ අතරිනුත් හොඳම යාළුවා තමයි ගයත්‍රි ඩයස් මහත්මිය. ඉතාන් බෝයි එයා එක්ක හරිම එකතුයි.”
මේ වෙනකොට ඉතාන් බෝයි කියන්නේ සම්මානලාභී බලු කොල්ලෙක්. Asian Achievers Awards 2025 සම්මාන උළෙලේ හොඳම පුහුණු සුරතලාට හිමි Popular Trained Pet සම්මානය, ඒ වසරේම Popular Pet Model Awards සම්මානය වගේම Excellence in Charity Work of the Year කියන සම්මානෙත් ඉතාන් බෝයිට ලැබිලා. ඒ විතරක්ම නෙවෙයි, පසුගියදා රසාංග, ඉතාන් බෝයි එක්ක එකතුවෙලා අලුත් කටයුත්තකටත් අතගහලා.
“පසුගිය මාසේ ඉතාන් බෝයිගේ නමින් ඉතාන් Smart Pet Saloon විදියට සුරතලුන් වෙනුවෙන් සැලොන් එකක් පටන්ගත්තා. ඒ වගේම ලොම් තියෙන සුරතලුන් සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කළ ෂැම්පු එකක් සහ කන්ඩිෂනර් එකක් හඳුන්වා දුන්නා. මේ වෙද්දි ඒ නිෂ්පාදනවලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ හරහා ලැබෙන ආදයමෙනුත් හතරෙන් එකක් මම වෙන් කරන්නේ ඉතාන්ගේ නමින් පින්දහම් කටයුතු කරන්න.”
මෙවර ගයත්‍රි ඩයස් එක්ක කවරයට පෙනී ඉන්න කඩවසම් බලු කොල්ලගේ කතාව ඔන්න ඔහොමයි. තව දෙයක්. ඉතාන් කියන්නේ ටිකක් ආඩම්බර බලු කොල්ලෙක්. සමහරවිට උන්දැ එච්චර ආඩම්බර ජනප්‍රිය උදවිය ළඟින් ආශ්‍රය කරන නිසා වෙන්න ඇති කියලයි අපිට හිතුණේ...