ඇය සිය රංගන හැකියාවෙන් රංගනයෙහි නව මං සොයා යන තැනැත්තියක්. මිස් ශ්‍රී ලංකා තරගයෙන් මෙරට රංගන ක්ෂේත්‍රයට පිවිසුණු ඇය සෙමෙන් තම වෘත්තීය ගමන් මඟ තුළ ගමන් කරනා රංගන ශිල්පිනියක්. මේ දිනවල විවිධ ටෙලිනාට්‍ය ඔස්සේ ඔබේ ආලින්දයට පැමිණෙන ඇය ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගෙන තිබෙනවා. අද හදගැස්ම හා එක්වන්නේ රංගන ශිල්පිනි ප්‍රාර්ථනා සෙව්වන්දි.
මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල මම ඉදිරියේදී විකාශනය වීමට නියමිත සඳලු සේයා නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම ඉරුගල් වලව්ව නාට්‍යයේත් පළමු අදියරේ රූගත කිරීම් අවසන් වුණා. මම ඒ නාට්‍ය දෙකේම ප්‍රධාන චරිත දෙකකට පණ පෙව්වා. ඉදිරියේදී අපි ඒ ටෙලි නාට්‍යවලින් හමුවෙමු.
රංගන ශිල්පිනියකට අමතරව ප්‍රාර්ථනා සෙව්වන්දි කියන්නේ කවුද?
මම පාසල් කාලේ ඉඳන්ම සෞන්දර්ය පැත්තට ගොඩක් කැමැතියි. ඇත්තටම මම රංගන ක්ෂේත්‍රයට එන්න හිතුවේ නැහැ. මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වීමත් එක්ක තමයි මට මේ ක්ෂේත්‍රයට එන්න ලැබුණේ. ඒ නිසා රංගනයට සම්බන්ධ වීම මගේ ජීවිතයේ අහම්බයක්. රංගනයට අමතරව මම බ්‍රයිඩ්ල් සහ මොඩ්ලින්වලටත් සම්බන්ධ වෙනවා. ඒ වගේම ඇඳුම් නිර්මාණ කටයුතුවලටත් මම දායක වෙනවා.
රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කෙහොමද?
ඇත්තටම මම රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වීම සිදුවුණේ අහම්බයකින්. මම 2019 වසරේදී මිස් ශ්‍රී ලංකා තරගයකින් ජයග්‍රහණය කළා. ඒත් එක්කම මට රංගන ක්ෂේත්‍රයට ආරාධනා ලැබුණා. මට පළමු වැනි ආරාධනාව ලෙස ලැබුණේ සිද්ධාර්ථ ගෞතම කියන ටෙලි නාට්‍යයේ මේඝනා කියන චරිතයට. තිළිණි පෙරේරා අක්කා තමයි මට ඒ සඳහා ආරාධනා කළේ. ඒත් එක්ක මන් ටිකින් ටික රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා.
නිර්මාණ තෝරා ගැනීමේදී ඔබට ආවේණික සීමා, නිර්ණායක තිබෙනවාද?
අනිවාර්යෙන්ම තිබෙනවා. මම කැමැති මගේ ස්වාභාවික පෙනුමට. ඒ පෙනුම වෙනස් කරන එක ගැන මම ටිකක් හිතනවා. ඇඳුම් පැලඳුම්වලදීත් මම වැඩිය කැපී පේන ඇඳුම් අඳින්න එතරම් කැමැති නැහැ. ඒක මගේ පෞද්ගලික අදහසක්. මේ සීමාවන් එක්ක සමහර නිර්මාණ මට මඟ හැරුණා.
ක්ෂේත්‍රයට පැමිණි අලුත් රංගන ශිල්පිනියක් වශයෙන් ඇති වූ අභියෝග මොනවාද?
මම මගේ සීමාවන්වල ඉන්න නිසා මට රංගන ක්ෂේත්‍රයේ ලොකු ප්‍රශ්න ඇති වුණේ නැහැ. ලොකුම අභියෝගය වුණේ මම කොළඹ අවට කෙනෙක් නොවුණු එක. ගොඩක් රංගන ශිල්පීන් ජීවත් වෙන්නේ කොළඹ අවට. නමුත් මම ජීවත් වුණේ බණ්ඩාරගම නිසා රංගන කටයුතුවලට සහභාගි වෙද්දී දුර ප්‍රශ්නය මට බලපෑවා. නමුත් මම ඒක එතරම් ප්‍රශ්නයක් කර ගත්තේ නැහැ. හරි වෙලාවට හැමදේටම මම සහභාගි වුණා.
ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ලැබෙන දායකත්වය මොන වගේද?
ඕනෑම කෙනෙක් මුලින්ම රංගන ක්ෂේත්‍රයට එනකොට පොඩි බයක් තිබෙනවා. ප්‍රවීණ රංගන ශිල්පීන් උදවු කරයිද? නැද්ද කියන එක ඕනෑම අලුත් රංගන ශිල්පියෙක්, ශිල්පිනියකට හිතෙන දෙයක්. ඒත් මම රංගන ක්ෂේත්‍රයට ආවම ඒ අදහස වෙනස් වුණා. ඇත්තටම ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් හොඳ සහයෝගයක් මට ලැබුණා. ඒ වගේම රංගන ජීවිතේ එළිය කරගන්න හොඳ ගුරුහරුකම් ඒ අයගෙන් මට ලැබුණා. ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක වැඩ කරන කොට ඒ අත්දැකීම් හරියට රංගන පාසලක ඉගෙන ගන්නවා වගේ මට දැනුණා.
මේ තැනට එන්නට උදවු කළ අය ගැන මතක් කරමු?
විශේෂයෙන් මගේ පවුලේ අම්මයි, තාත්තයි මම ආදරයෙන් මතක් කරනවා. අම්මා හැම වෙලාවේම මගේ සෙවණැල්ල වගේ ඉඳන් මගේ හැමදේදීම හිටියා. මට රූගත කිරීමක් තිබෙන කොට ගෙදර වැඩත් පැත්තකින් තියලා අම්මා මාත් එක්ක ඒ හැම තැනකටම මාව එක්කන් යනවා. අම්මා, තාත්තා දෙන්නම මම රඟපාන එකට ගොඩක් කැමැතියි. ඒ අය මාව හරියට තේරුම් ගත්ත නිසා තමයි අද මට රංගන ක්ෂේත්‍රයට එන්න පුළුවන් වුණේ. ඒ වගේම මට නිර්මාණවලට ආරාධනා කරපු හැම අධ්‍යක්ෂවරයෙක්ම මතක් කරනවා. ඒ වගේම පුවත්පත්වල කර්තෘවරුන්, මාධ්‍යවේදීන් මට ගොඩක් උදවු කළා. ඒ අය හැමෝම මම ආදරයෙන් මතක් කරනවා.
රංගන ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම පොඩි තැනකින් පටන් අරන් හෙමිහිට ගමනක් යන කෙනෙක්. මම රංගන ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ නිසා රංගනය තවත් හොඳින් හදාරන්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වෙනුවෙන් මම හැමදෙයක්ම කරනවා.