ජීවන විල මැද, අද හවසට මා, ඔන්චිල්ලා තොටිලි, දුනුකෙයියා මලක් වගේ, ගුවන් තොටිල්ලේ, සැතපෙන කල, මීදුම් වලාවන්, හෘදෙ රස මාලිගේ, ආගන්තුක කුරුල්ලා වැනි අතිශයින් ජනප්‍රිය ගීත රැසක් සමඟින් දශක කිහිපයක් පුරාවට පරම්පරා ගණනාවක් මියුරු ගී හඬින් අමන්දානන්දයට පත් කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද සුජාතා අත්තනායකයන් එදා මෙදා තුර ගැයූ ගීත දහස් ගණනක් අතරින් අද අපට ඇසෙන්නේ අතළොස්සක් පමණි. කලා කටයුතුවල නියැළෙන අතරේම ආදරණීය බිරියක, මවක, මෙන්ම පරිපාලන නිලධාරිනියක ලෙස ඇය සමාජයට සුවිසල් මෙහෙවරක් කළ කාන්තාවකි. කොතරම් කාර්යබහුල වුවද කාන්තාවක සතු යුතුකම් නොපිරිහෙලා ඉටුකළ ඇය තම අතීත දිවියේ අත්දැකීම් අප හා බෙදාගත්තාය.
“මගේ අම්මා ටවර් හෝල් ගායන, රංගන ශිල්පිනියක වූ විමලා කාන්තා යි. අම්මා ඉස්සර නාට්‍යවලට යද්දි පුංචි අපිවත් අරගෙන ගියා. ඒ යන එන අතරතුර, පුහුණුවීම් විවේකයේදී අම්මා අපට ආදරය දුන්නා. අපෙන් ඇය දුරස් වුණේ නැහැ. පුළුවන් චරිතවලට අපිවත් සම්බන්ධ කර ගත්තා. අපි අම්මා එක්කම හිටියා. ටිකක් දැනුම් තේරුම් ඇති කාලේ ගෙදර ඉන්න වෙලාවට පොල් බෑයක් ගාන හැටි, ඇඳුමක් හෝද ගන්න හැටි, හොද්දක් උයාගන්න හැටි අම්මා අපට කියා දුන්නා.
අම්මා ගෙදර වැඩ කරන හැටි අපි බලාගෙන හිටියා. විවාහ වුණු දවසේ පටන් බිරිඳක් සහ මවක් හැටියට මම මගේ සියලු යුතුකම් නොපිරිහෙලා ඉටු කළා. ඒ වගේ ම ගායන ශිල්පිනියක් හැටියට මොනතරම් ජනප්‍රියත්වයක් ලැබුවත්, මොනතරම් කාර්ය බහුල වුණත් මම මගේ රාජ්‍ය සේවයේ වැඩ පාඩු කරගෙන, නිවාඩු ලබමින් ප්‍රසංග වේදිකාවලට ගියෙත් නැහැ. බොහෝ දුර බැහැර ඈත ගම්මානවල තිබුණු ප්‍රසංගවලටත් මම මගේ ආදරණීය රසික රසිකාවන් වෙනුවෙන් ගිහින් ගීත ගයලා ගෙදර එද්දි රෑ මැදියමත් පහුවෙලා තියෙනවා. පැයක් විතර නිදාගෙන පහුවදා නැඟිටලා කෑම උයලා, මහත්තයාටයි, මටයි බත් බැඳගෙන, දරුවෝ තුන්දෙනාටත් කෑම තියලා, දරුවන්ව පාසල්වලටත් දාලා තමයි රැකියාවට ගියේ. මගේ මහත්තයා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ අධ්‍යක්ෂවරයෙක්. මම දෙවැනි ශ්‍රේණියේ අධ්‍යක්ෂවරියක්. නමුත් ගෙදරදී අපි අඹු සැමියන් සහ මව්පියන් බව කිසි දවසක අමතක කළේ නැහැ.
මට කවදාවත් මෙහෙකරුවෝ ඉඳලා නැහැ. ඉස්සර අද වගේ රෙදි සෝදන යන්ත්‍ර තිබුණේ නැහැ. ළමයි තුන්දෙනාගෙම ඇඳුම් එයාලා පොඩි කාලේ මගේ අත්දෙකෙන් හේදුවා. එයාලාව කවදාවත් අපිරිසිදුවට පාසල් යැව්වේ නැහැ. මට ගොඩාක් දුර ප්‍රසංගයකට යන්න තිබුණොත් විතරක් කැලණියේ මහ ගෙදර දරුවන්ව නවත්තලා යනවා. ඒ හැර අනෙක් සෑම දවසක ම මම දරුවෝ රැක බලා ගත්තා. අද අම්මලාට තනි දරුවාව රැකබලා ගන්නත් බැහැ. කාන්තාවක් තුළ ඉවසීම කියන එක තියෙන්නම ඕන. එහෙම නැතුව මේ වැඩේ කරන්න බැහැ. අදටත් මට මෙහෙකරුවෝ නැහැ. තවමත් මම උදේට නැඟිටලා ගේ දොර සුද්ද පවිත්‍ර කරලා ඉවුම් පිහුම් කරනවා. මේ වසරේ මැයි මාසයේදී මගේ වයස අවුරුදු අසූ හතරක් වෙනවා.
මම මේ කාලේ ගොඩාක් සැනසීමෙන් ඉන්නවා. වැඩි කාලයක් ගත කරන්නේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ රදුන් අබියස. මං පුළුවන් තරම් පින් දහම් කරනවා. සංගීත ප්‍රසංගවලින් ලැබෙන මුදල් පුළුවන් විදිහට සහෝදර කලාකරුවන් වෙනුවෙන් යොදවනවා. ලතා වල්පොල මහත්මිය වෙනුවෙන් කළ ප්‍රසංගයෙන් ලැබුණු මුදල එතුමිය අසනීපෙන් සිටි වෙලාවේ එතුමියට දුන්නා. එතුමිය මිය යන්න කලින් මට ඒ යුතුකම කරන්න ලැබීම ගැන මට හරි සතුටුයි. තවත් එවැනි සත්කාරක වැඩසටහන් ගණනාවක් කළා. එම්. කේ. රොක්සාමි මාස්ටර් වෙනුවෙන් ප්‍රසංගයක් පවත්වලා ලැබුණු මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔහුගේ බිරිඳට දුන්නා. ඊළඟට ආර්. මුත්තුසාමි මාස්ටර් වෙනුවෙන් ප්‍රසංගයක් පවත්වලා ඒ ආදායම ඔහුගේ බිරිඳට ලබා දෙන්න කටයුතු කර තිබෙනවා.
ඔවුන් නිර්මාණය කළ ගීත නිවැරදි ස්වරයේ පිහිටලා අපි ගායනා කළ නිසා අපි ජනප්‍රිය වුණා. අදටත් සිදු වන්නේ එහෙම යි. අපට ජනප්‍රිය වෙන්න පුළුවන් වන විදිහේ ලස්සන නිර්මාණ ඒ අය අපට කරල දුන්නා. ඒ යුතුකම වෙනුවෙන් මම පුළුවන් හැටියට යමක් කරනවා. ඉදිරියේදී මේ වගේ තවත් දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන කලාකරුවන් වෙනුවෙන් ප්‍රසංග පවත්වලා යම්කිසි මුදලක් ඒ අයටත් පරිත්‍යාග කරන්න බොහොම කැමැත්තෙන් වැඩකටයුතු කරගෙන යනවා. මගේ එදිනෙදා වියදමට මුදලක් ඉතිරි කරගෙන අනෙක් මුදල් පින් දහම් වෙනුවෙන් වැය කරනවා. කාන්තාවක් හැටියට මගේ සියලු භූමිකා අතර උපාසිකාවක් හැටියටත් මම මගේ ඉදිරි ගමන වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරගෙන යනවා. මම හිතන්නේ මේ හැම දෙයක් ම මට කරන්න පුළුවන් වුණේ කාන්තාවක් හැටියට හැම දෙයක් ම නිසි විදිහට කළමනාකරණය කිරීම නිසා. මනා කළමනාකරණය කියන එක වගේම ඉවසීමත් කාන්තාවකට අත්‍යවශ්‍ය ගුණාංගයක්.”