රෙබෙකා දිල්රුක්ෂි කියන්නේ කාගේත් හදවතේ රැඳුණු දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඇයටම අනන්‍ය වූ රංගන පෞරුෂයක් හිමි ඇය කලා ලොවට අමුතුම ආලෝකයක් එක් කරන්නියක්. ඉතින් මේ දිනවල පට්ටි ගෙදර ටෙලි නාට්‍ය හරහා ඔබේ ආලින්දයට ඇය රසවත් මතක ගෙන එන බව නොරහසක්. මේ සොඳුරු කතාබහ මෙවර හදගැස්මට ඇයගෙන්.
මේ දිනවල ඔබේ අලුත් වැඩ කටයුතු කොහොමද?
අලුත් වැඩ කිහිපයකට අත ගහලා තිබෙනවා. ඒවා ඉදිරියේදී දකින්න පුළුවන් වෙයි. ඒවාත් සීමා සහිත කොටස්වල ටෙලි නාට්‍ය කිහිපයක් තමයි. ඉතින් ඒ වගේ අලුත් වැඩකටයුතු කිහිපයක් ඉදිරියට දකින්න පුළුවන් වෙයි.
පට්ටි ගෙදර ඔබේ රංගනය මේ දිනවල අතිශය ජනප්‍රියයි. ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ලැබෙන ප්‍රතිචාරවලට නම් මට හරිම සතුටුයි. මම වුණු මහන්සියට සහ වෙමින් පවතින මහන්සියට වටිනාකමක් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරවලින් එකතු වෙනවා කියලා කියන්න පුළුවන්.
ටේක් කෙයාර්හි අධ්‍යක්ෂ අනුෂ්ක රසාංජන සමඟ ඔබ නැවතත් පට්ටි ගෙදර හරහා එක් වෙනවා නේද?
ඔහු නැවතත් මට ඔහුගේ නිර්මාණයට කතා කරලා පිටපත එව්වා. අනුෂ්ක කියන්නේ මේ ක්ෂේත්‍රයේ අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන් හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඉතින් එවැනි කෙනකුගෙන් ආරාධනයක් ලැබීම මගේ කලා ජීවිතයට ලැබුණු ලොකු වාසනාවක්.
යතුරු හිලෙන් වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන්ට මොනවගේ අත්දැකීමක්ද?
මගේ මාධ්‍ය කොහොමත් වේදිකාව. මම ටෙලි නාට්‍යවලට සහ චිත්‍රපටවලට එන්නේ වේදිකාව හරහා. ඒ වේදිකා නාට්‍යවලින් ලබා ගත්ත ආභාසය සහ පෙරහුරුව තමයි මම අඩු වැඩි වශයෙන් ටෙලි නාට්‍යවලට සහ චිත්‍රපටවලටත් අමුණා ගන්නේ. ඒ මෙවලම් තමයි තවම භාවිත කරන්නේ. නමුත් මේ තුන එකිනෙකට වෙනස් තුනක්. ඉතින් සමහර අවස්ථාවලදී මේ මෙවලම් එක එක තැන්වලදී භාවිත කරන්න පුළුවන්. ඉතින් යතුරු හිලෙන් වේදිකා නාට්‍ය ගැන කියනවා නම් මේක ඇත්තටම දේශපාලනික ප්‍රහසනයක්. මීට කලිනුත් චාලක ජයසිංහ අධ්‍යක්ෂණය කළ නාට්‍යයක් විදේශ රටවල පෙන්නුවා. මේකත් ලොව වටා සංචාරයට තමයි නිර්මාණය කරන්නේ. මෙහි අධ්‍යක්ෂවරයාත් චාලක ජයසිංහ. සමාජයට කැඩපත ඇල්ලීමක් වගේ දෙයක් තමයි අපි මේ නාට්‍ය තුළින් පෙන්වන්නේ.
ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ අනාගත දිශානතිය ගැන ඔබට මොකද හිතෙන්නේ?
සමහර කාලවලදී නාට්‍ය නිර්මාණය කිරීම සහ අලුතෙන් නාට්‍යකරුවන් බිහිවෙන එක නම් මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කළා. හැබැයි දැන් හැමදාම හැමතැනම වේදිකා නාට්‍ය හතරක් පහක්වත් තිබෙනවා. වේදිකා නාට්‍ය කලාවේ අනාගත දිශානතිය ගැන තීරණය කරන්න අපට ඒකම ඇති. ඉතින් වේදිකා නාට්‍ය කලාව තව තව වර්ධනය වෙන නිසා හරි සතුටුයි.
ඔබ දිනෙන් දින ප්‍රේක්ෂකයන් අතරට එන්නේ එකිනෙකට වෙනස් වූ චරිත තුළින්. එකම ආකාරයේ චරිතවලට කොටු වීමේ රාමුව බිඳ ගැනීමේ රහස කියමු?
මම දන්නේ නෑ ඒක මගේම වාසනාවකට වෙන දෙයක්. මම ලොකුවට චරිත තෝර ගන්න ඕනෑ කියලා එකක නැහැ. මට ලැබෙන චරිතය පොඩි චරිතයක්ද? තප්පර දෙක තුනක් ඇතුළත තිබෙන චරිතයක්ද? කියලා මම බලන්නේ නෑ. මට ඒ චරිතය දැනෙනවා නම් මට ඒ චරිතයට අවංක වෙන්න පුළුවන් නම් මම ඒ චරිතය බාර ගන්නවා. ඒ චරිතය තුළ මට කරන්න පුළුවන් වෙනස මොකක්ද කියන දේ මම හැමවෙලේම අධ්‍යයනය කරනවා. මොකද රංගන ශිල්පියෙක් කියන්නේ ස්වයං අධ්‍යයනයක ඉන්න ඕනෑ කෙනෙක්. ඉතින් ඒ ස්වයං අධ්‍යයනය නිසා තමයි විවිධ චරිතවලට පණපොවමින් එකම විධියේ චරිතවලට කොටු වෙන්නේ නැතිව ඉන්නේ කියලා මම හිතනවා.
ඔබ සෝෂල් මීඩියා තුළ එතරම් සක්‍රිය නෑ. නමුත් ඔබේ ජනප්‍රියත්වය ප්‍රේක්ෂකයන් අතර එක සේ රඳවා ගන්නේ කෙසේද?
සෝෂල් මීඩියාවල සක්‍රිය නැති වීම එක පැත්තකින් මගේ දුර්වලකමක්. සමහර වෙලාවට ඒකට කාලය යොමු කරනවාට වඩා මගේ රංගනය, කියැවීම වැඩිදියුණු කර ගැනීමට වගේම ඒ වෙලාවට චිත්‍රපටයක් නැරඹීමට හිතෙන වාර අනන්තයි. නමුත් එක පැත්තකින් ඒක මටම කරගන්න හානියක්. මොකද සියල්ලම දැන් රඳා පැවතිලා තිබෙන්නේ සෝෂල් මීඩියා තුළින්. අපිත් එහෙම එකක් තිබෙන බව දැනගෙන ඒ ලයින් එකේ යන්න ඕනි කියලා එකක් තිබෙනවා. සමහර දක්ෂ රංගන ශිල්පීන් සමාජ මාධ්‍ය නිසාම බිහිවෙලා තිබෙනවා. සැඟවුණු රංගන ශිල්පීන් සමාජ මාධ්‍ය හරහා තව ජනප්‍රිය වෙලා තිබෙනවා. ඉතින් ජනප්‍රියත්වයක් තබා ගැනීම බලෙන් කරන්න ඕනෑ කියලා මම හිතන්නේ නෑ. මිනිස්සු ආදරෙයි නම් ඒ ආදරය අවංක වෙන්න ඕනෑ කියන එක තමයි මම කියන්නේ.
ඔබ කලාවට පිවිසෙන්නේ රංගනය පිළිබඳ ඇකඩමික් හැදෑරීමක් සමඟ. ඒ හැදෑරීම් ඔබේ රංගන ජීවිතයට කොතරම් අගයක් එක් කළාද?
මම ශ්‍රී පාලි විශ්වවිද්‍යාලයේ තමයි රංගනය පිළිබඳව හදාරන්නේ. මට මගේ රංගන ගමන මෙතරම් සාර්ථක වෙන්න මගේ ගුරුවරු තමයි සෑහෙන්න උපකාර කළේ. මම ප්‍රේක්ෂකයන්ට මොනවහරි දෙයක් දීලා තිබෙනවා නම් ඒ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනෑ මට උගන්වපු ගුරුවරුන්ට. රංගනය පිළිබඳව විතරක් නෙවෙයි ජීවිතය ගැනත් උගන්වපු ගුරුවරු ඉන්නවා. තවමත් ඒ අය සමඟ අපි කතාබහ කරනවා. ගුරුහරුකම් ලබා ගන්නවා. ඉතින් මගේ රංගන ජීවිතයත් මගේ ජීවිතයත් මෙතරම් ඉහළ තලයකට ගෙන යන්න උදව් වුණේ ඔවුන් තමයි.
ඔබ ඔබටම අනන්‍ය වූ රංගන පෞරුෂයක් හිමි රංගන ශිල්පිනියක්?
හැමෝටම විවිධාකාරයේ රංගන පෞරුෂයන් තිබෙනවා. හැමෝටම අනන්‍ය වූ රංගන පෞරුෂයන් තිබෙනවානේ. ඉතින් මටත් දෙවියෝ දීපු මොකක් හරි එකක් ඇති.
සමහරු එක රැයෙන් ජනප්‍රිය වන්නට උත්සාහ දරද්දී ඔබ බොහොම සෙමින් ගමනක් ආ රංගන ශිල්පිනියක්. මොකද හිතෙන්නේ?
ඔව්, සමහරු එක රැයකින් ජනප්‍රිය වෙනවා. ඒක අදත් තිබෙනවා. ඉස්සරහටත් වෙයි. ඇත්තටම සෑහෙන්න ඉවසුවා. මම සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබෙනවා නම් ඒකට උපකාර වුණේ හරිම අවස්ථාව ලැබෙනකල් බලා සිටීම සහ ඉවසීම. ඉතින් ඒකට උපකාර වුණු එකම දේ ඉවසීම. මේක මගේ රැකියාව. මම මේ රැකියාවට හරි ආදරෙයි. ඒ වගේම ගරු කරනවා. මම මොකක් හරි රංගනයක් කරනවා නම් ඒ රංගනය ආගමක් වගේ අදහනවා. මම හෘද සාක්ෂියට එකඟව හරිම පිරිසුදු ගමනක් ඇවිල්ලා තිබෙන්නේ. ඒ ගමන හරි අමාරුයි. හැබැයි ආපස්සට හැරිලා බලද්දී කිසිම ප්‍රශ්නයක් නැතුව මිනිසුන්ගෙන් එක එක කතා අහගන්නෙ නැතිව අවංකව පිරිසුදුව මේ ගමන ඇවිල්ලා තිබෙනවා. මට ඒක කට ඇරලා කියන්නත් පුළුවන්. මොකද මම හරි අවංකව තමයි මගේ රැකියාව කරන්නේ.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?
ටෙලි නාට්‍යය කිහිපයක් එන්න තිබෙනවා. මම බොහොම සීමිත ටෙලි නාට්‍ය ටිකක්නේ කරලා තිබෙන්නේ. තව ටෙලි නාට්‍ය කිහිපයක් එන්න තිබෙනවා. ඒවාත් ඉතින් ප්‍රේක්ෂකයෝ කොහොම වැලඳගනීවිද කියලා අපි බලමු.
රුවිනි අමරකෝන්