ඇය “ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත“ කියන කතාව බොරු කරපු කෙනෙක්. ගීත රචිකාවියක් විධියට ලංකාවේ ගීත කලාවට අමරණීය, හරවත් ගීත විශාල ප්‍රමාණයක් දායාද කළ ඇය, රංගන ශිල්පිනියක් වශයෙන් ටෙලි නාට්‍ය තුළ හා වේදිකාව මෙන්ම චිත්‍රපට තුළත් නොමැකෙන මතක සටහන් එක් කළ කෙනෙක්. ඊට අමතරව නිවේදනය මෙන්ම හඬ කැවීමටද එක ලෙස දක්ෂ ඇය මේ දිනවල වඩාත් කතාබහට ලක්ව සිටින්නේ ‘දොරකඩ දෙවොල‘ ටෙලි නාට්‍යයේ නාමලී ලෙසින් පෙන්නුම් කරන සුවිශේෂි රංග ප්‍රතිභාව නිසා. ඇය අන් කවරකුවත් නෙවෙයි, ඔබ හොඳින්ම හඳුනන රංගන ශිල්පිනී, උමා අසේනි.
දොරකඩ දෙවොලේ නාමලී ගැන කියලම කතාව ආරම්භ කරමු?
‘දොරකඩ දෙවොල‘ කියන්නේ තරංගා දිසානායකගේ නවකතාවක්. ලලිත් රෝහිත එදිරිසිංහ තමයි මෙහි අධ්‍යක්ෂවරයා. නාමලීගේ චරිතය ගත්තොත් ඇය වියළි කලාපයේ දුක් විඳින ගැහැනියක්. තමන්ගේ සැමියාගේ තියෙන විවිධ අඩුපාඩු එක්ක, දරුවෝ හතර දෙනෙක් හදාගෙන, විප්‍රයෝගය දරාගෙන, ආදරය නැතිකම වගේම ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වෙන සියලු දුක් කම්කොටලු දරාගෙන ජීවිතයට මුහුණ දෙන, දරුවෝ වෙනුවෙන් ජීවත් වෙන ගැහැනියක් ඇය. නමුත් ඒකෙ තේරුම ඇය ඇගේ සැමියාට ආදරය නැහැ කියන එක නෙවෙයි. ඇත්තටම ‘දොරකඩ දෙවොල‘ කියන්නේ සැමියාව දරාගෙන, ඉවසමින්, ආදරය කරමින් තමන්ගේ ජීවිතය කොහොම හරි ගොඩගන්න උත්සාහ කරන ගැහැනියකගේ කතාවක්.
‘දොරකඩ දෙවොල‘ විකාශය ආරම්භ වෙලා දින කිහිපයක් වුණත් මේ වෙද්දිත් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබෙනවා. ඒ ගැනත් කියමු?
ඔව්, ඇත්තටම හරිම සතුටුයි. පළමුවැනි එපිසෝඩ් එකෙන්ම මම හිතුවෙවත් නැති තරම් විශාල ප්‍රතිචාරයක් ලැබුණා. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන ඇත්තටම විශේෂයෙන්ම ස්ක්‍රිප්ට් එකේ තිබුණු ප්‍රබලකමට, ලලිත් රෝහිත එදිරිසිංහගේ අධ්‍යක්ෂණයට සහ ලලිත් අයියා අපිව හැඩගස්වපු ආකාරයට. මම හොඳට බැලුවා අපි එක් එක්කෙනාව ලලිත් අයියා අධ්‍යක්ෂණය කළේ එක එක ආකාරයට. ඒ අදාළ නළුවාගේ හෝ නිළියගේ ස්වභාවය තේරුම් අරගෙන ඒකට අනුව තමයි ඔහු අපිව අධ්‍යක්ෂණය කළේ. ඒ වෙනුවෙන් ලලිත් අයියා කෙරෙහි මට ලොකු ගෞරවයක් තියෙනවා. මොකද ඔහු මට නාමලීගේ චරිතය ගොඩනඟා ගන්න ලොකු නිදහසක් දුන්නා. ඒ වගේම මෙතැනදි දසුන් පතිරණ සහ දුමී වන්නිආරච්චි ඇතුළු සියලුම රංගන ශිල්පීන් ශිලිපිනියන්වත් සිහිපත් කරනවා. මොකද ඕනෑම රංගනයක සාර්ථකත්වය තීරණය කරන ප්‍රධානම සාධකයක් තමයි එහා පැත්තේ රඟපාන්නේ කවුද කියන එක. මට ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය බොහොම ආදරයෙන් මතක් කරන්න ඕන. මේ ලැබෙන ප්‍රතිචාරවලට හේතුව මමවත් දසුන්වත් දුමීවත් ලලිත් අයියවත් නෙවෙයි. මේ ප්‍රතිචාරවලට හේතුව සමස්ත කණ්ඩායමෙන්ම මේ වැඩේට ලැබෙන දායකත්වය. ඒක මම පුදුම ආදරයෙන් මතක් කරන දෙයක්.
වියළි කලාපය පදනම් කරගත් ටෙලි නාට්‍යවල අනියම් සබඳකම් සහ දුක් විඳින ගැහැනු උලුප්පන බවට සුළුතරයක් චෝදනා කරනවා. මේ ගැන මොකද හිතෙන්නේ?
පුද්ගලයෙක්ට තමන් කැමැති මතයක් දරන්න නිදහස තිබෙනවා. මේ සම්බන්ධයෙන් මගේ අදහස ගත්තොත්, කාලයත් එක්ක සමාජයක් මුහුණ දෙන ප්‍රශ්න හා ගැටලු වෙනස් වෙනවා. කාලයත් එක්කම අපි කතා කරන මාතෘකා වෙනස් වෙනවා. මීට කාලයකට කලින් අපිට මේ තරම් විවෘතව ලිංගිකත්වය ගැන කතා කරන්න නිදහසක් තිබුණේ නැහැ. අපි අයිඩියලොජිකලි සීමාසහිත කොටු වුණු තැනක තමයි හිටියේ. නමුත් කාලයත් එක්ක කාලානූරූපීව ඒ දේවල් වෙනස් වෙලා. අපි මේ වෙද්දි කලින්ට සාපේක්ෂව ඒ දේවල් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කරන මට්ටමට ඇවිත් දෙවැනි කාරණය ගත්තොත් වියළි කලාපය ගත්තොත් ඕකට බලපාන වෙන වෙන සාධකත් තිබෙනවා. දූවිලි පාට ටෙලි නාට්‍යයක් ආපු ගමන් කියන්නේ ඒක වියළි කලාපයේ ටෙලි නාට්‍යයක් කියලා. ඇත්තම කතාව වියළි කලාපය කියලා අපි හඳුන්වන ඇතැම් පළාත්වල මේ වගේ සිදුවීම් වැඩිපුර සිදුවීමට බලපාන හේතු ටිකක් තියෙනවා.
ඒ මොනවාද?
මේවා මිනිසුන්ගේ හෝර්මෝනත් එක්ක සිදුවන දේවල්. අපි නොහිතුවාට කාලගුණය, දේශගුණය කියන දේවල් මිනිසුන්ගේ ඇඟේ ලේ රත් කරන්න බලපානවා. එහෙම බලද්දි තෙත් කලාපීය සීතල පැතිවලට වඩා වියළි කලාපවල ඔය දේවල්වලට නැඹුරුව වැඩියි. මේක මහා අමුතු කෑල්ලක් නෙවෙයි. මේක මේ සමාජෙ තියෙන දෙයක්. මේ සමාජයේ විතරක් නෙවෙයි, වෙනත් පිට සමාජවලත් ඔය වගේ දේවල් ඕනෑ තරම් තිබෙනවා. නමුත් එකම දේ කාලානුරූපීව ඒ මාතෘකාව ගැන කතා කරන එක, ටෙලි නාට්‍ය නිර්මාණය කරන එක, නවකතා ලියන එක වැඩිවෙලා තියෙනවා. ඒ මාතෘකාව ගැන පුවත් පළ වෙන එක වැඩි වෙලා තියෙනවා. මේක ටෙලි නාට්‍යවලට විතරක් පොදු දෙයක් නෙවෙයි. සමස්ත සමාජය තුළම මේක සිද්ධ වෙලා තියෙනවා. අපි මීට කාලෙකට කලින් දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය ගැන කතා කළේ නැහැනේ. නමුත් දැන් ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවනේ. ඉතිං මේ සියලු දේවල් කාලය, දේශපාලනය, සමාජය, ආර්ථික තත්ත්වය වගේ දේවල්වල සිදුවන වෙනස්කම් නිසා ඇති වන දේවල්. එහෙම නැතුව ටෙලි නාට්‍යවල පමණක් අමුතුවෙන් සිදුවන දේවල් නෙවෙයි.
කලාකරුවාගේ කාර්ය මෙවැනි නිර්මාණයන් හරහා සමාජය පිළිසකර කරමින් යහමඟට ගැනීමද?
කලාව කා වෙනුවෙන්ද? කුමක් උදෙසාද? කියන ප්‍රශ්නය හරිම මතභේදාත්මකයි. කලා කෘතියක් තුළින් සමාජය වෙනස් කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන විවාදයකට ආවොත් ඇත්තටම ඔය කියන තරම් සමාජ ශුද්ධිකරණයක් කරන්න තරම් කලාව ප්‍රබල නම් මේ වෙනකොට ඉස්සර ලංකාවේ හැදිච්ච නිර්මාණ එක්ක බලද්දි ලංකාව සෑහෙන්න වෙනස් වෙලා තියෙන්න ඕනෑ. නමුත් එහෙම වෙලා නැහැනේ. කලා නිර්මාණයකට සමාජයට බලපෑමක් කරන්න පුළුවන්. ඒක නැහැ කියන්න බැහැ. නමුත් කලා නිර්මාණවලින් සමාජය ශුද්ධිකරණය කරන්න පුළුවන් නම් අද මේ තරම් පිරිහුණු සමාජයක අපි ජීවත් වෙන්න විධියක් නැහැනේ. කලාවට විතරක් සමාජය හදන්න බැහැ. සමාජය හදන්න දේශපාලනය ඉතා වැදගත්. අධ්‍යාපනය වැදගත්. කලාව කියන්නේ ඒ සඳහා දායක වන තවත් එක් කොටසක් විතරයි. ඇත්තටම මගේ විශ්වාසයට අනුව සමාජය හදන්න හෝ සමාජය වෙනස් කරන්න කලා නිර්මාණ හදනවා කියලා එකක් නැහැ. මගේ දැනීමේ ප්‍රමාණයට කලාව කියන්නේ රසවින්දන මාධ්‍යයක්. මිනිසුන්ට විඳින්න තියන්න මාධ්‍යයක්. කලා නිර්මාණයකින් වෙන්නේ සමාජ විශුද්ධිකරණයද එහෙම නැත්තම් සමාජය පාරිශුද්ධත්වයට පත් කරන එකද කියන දේ නිර්මාණකරුවා හා රසවින්දනය කරනු ලබන්නා එය දකින විධිය අනුව තීරණය වන දෙයක්.
රිටිගල ජයසේන ගැනත් කතා නොකරම බැහැ?
මම හරිම ආසාවෙන් සහභාගි වූ නිර්මාණයක් ඒක. මොකද ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ මට අනුව ලංකාවේ ඉන්න හොඳම කන්සෙප්ට්චුවලයිසර්. ඒ පරිකල්පනයට මම හරි ආසයි. ඔහුත් සමඟ වැඩක් කරන්න මම හරිම ආසාවෙන් හිටියා. රිටිගල ජයසේන හරහා මට ඒ අවස්ථාව ලැබුණා. එහි ඉතාම හොඳ ප්‍රවීණයන් එක්ක තමයි මට වැඩ කරන්න ලැබුණේ. හේමාල් රණසිංහ, තුමිඳු දොඩතැන්න, කාංචනා මෙන්ඩිස් වගේ අපේ නළු නිළියෝ ගොඩක් එක්ක මට එහි වැඩ කරන්න ලැබුණා. ඒ වගේම ඒ කතා වස්තු විෂයට ආසයි. මම කොහොමත් ඉතිහාසයට කැමැති, ඉතිහාසය හොයන්න ආස, පර්යේෂණාත්මක මට්ටමෙන් ඉතිහාසය කියවන්න කැමැති කෙනෙක්. මේ චිත්‍රපටයේ විශාල කොටසක් රූගත කළේ එංගලන්තයේ, ඉතිං හරි ආසාවෙන් කරපු නිර්මාණයක්. එනකම් බලාගෙන ඉන්නවා.
රංගනය, නිවේදනය, හඬකැවීම මේ දේවල්වලින් ඔබ වඩාත් කැමැති මොකටද?
එහෙම විශේෂත්වයක් නැහැ. ඔය කියන දේවල්වලින් මොනවා කළත් මම ඒ හැමදේටම එක වගේ ආදරෙයි. මම විශ්වාස කරනවා මාව මේ ලෝකෙට එවලා තියෙන්නේ ඔය සේරම දේවල් වෙනුවෙන් වෙන්න ඇති කියලා.
අවසන් වශයෙන් ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු?
මම කරපු චිත්‍රපට පහක් හෝ හයක් පමණ තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව තව ඉදිරියේදි වැඩ කටයුතු ආරම්භ කරන්න නියමිත චිත්‍රපට දෙකක් තියනවා. ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් නම් මම මෙගා නිර්මාණවලට දායක වෙන්නේ නැහැ. කොටස් හැත්තෑවට එහා ගියපු නිර්මාණ කරන්නේ නැහැ කියන තීරණයේ ඉන්නේ. ඊට අමතරව ඉතිං පුරුදු විධියටම වේදිකා නාට්‍ය වැඩ කටයුතු කර ගෙන ඉන්නවා.