අනෝජා වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රවීණ රංගවේදීන් ඇසුරේ පෝෂණය වෙමින් තම රංග කුසලාතව මනා ලෙස ඔප්නංවාගත් ඔහු කලා කෙත බබළවන නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකි. නමින් චතුර රාජපක්ෂ නම් ඔහු මේ දිනවල සිරස රූපවාහිනියෙන් දිනපතා රාත්‍රි 8.30ට විකාශය වන කලු අහස ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවේ. හදගැස්ම අපි ඔහු සමඟින් කළ සොඳුරු කතාබහයි මේ.
“කලු අහස”හි ඔබේ චරිතය ගැන කතා කළොත්?
කලු අහස ටෙලි නාට්‍යයේ මගේ චරිතයේ නම අවන්ත. අවන්ත කියන්නෙ කලින් පුහුණු කරන ලද සොල්දාදුවෙක් වගේ කෙනෙක්. මොකද ඒ මනුස්සයා වැඩ කරන්නෙ රොබෝ කෙනෙක් වගෙයි. එහෙම රොබෝ කෙනෙක් වගේ පුද්ගලයෙක් ඔහුට ලැබෙන ආදරය මත වෙනස් වන ආකාරය තමයි මේ චරිතයෙන් පෙන්නුම් කරන්නෙ. අවන්ත හිතපු නැති විදිහට එයාට ආදරය කරන්න ගැහැනු ළමයෙක් හමුවෙනවා. ඒ ආදරය ළඟ ඔහුගේ තිබුණ දැඩි බව නැති වෙලා මානුෂීය බවට පත් වෙනවා.
අවන්ත ආදරණීය කරන ඇය ගැනත් කතා කරමු.
මේ ටෙලිනාට්‍යයේ මගේ පෙම්වතිය ලෙස රඟපාන්නේ තරින්දි ප්‍රනාන්දු. එයා හොඳ යෙහෙළියක්. අපි දෙන්නටම අපි දෙන්න ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඕනම දෙයක් කතාබහ කර ගෙන විසඳගෙන සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්.
මේ වන විට චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩාක්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චරිතය මම කළ අනෙක් චරිතවලට වඩා වෙනස්. ඒ වගේම මගේ බලාපොරොත්තුවත් අනෙක් චරිතවලට වඩා වෙනස් ආකාරයට මේ චරිතය ඉදිරිපත් කරන්න. ඉන්දික ධර්මතිලක මෙහි අධ්‍යක්ෂවරයා. මට මේ නාට්‍යයට කතා කරන විටම කිව්වා අනෙක් චරිතවලට වඩා වෙනස් දෙයක් කරමු කියලා. මම හරි ආසයි චරිතාංග නළුවෙක් විදිහට ඉස්සරහට යන්න. ඒ නිසා මමත් උත්සාහ කරනවා මේ චරිතය තුළ මට ලැබෙන අවස්ථාවන්ට උපරිම සාධාරණයක් ඉටු කරන්න. ඒ වෙනුවන් දැනට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
සාර්ථක රංගනයක් සඳහා අවශ්‍ය සතත අභ්‍යාස සඳහා ඔබේ කැපවීම කොහොමද?
සාර්ථක රංගනයක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් – ශිල්පිනියක් වීමට බලාපොරොත්තු වන ඕනම කෙනකුට සතත අභ්‍යාසය අත්‍යවශ්‍යයි. සතන අභ්‍යාසය තුළ තමයි අපේ පැවැත්ම රඳා පවතින්නේ. දර්ශන තලයට ඇවිත් නිකම්ම නිකම් රඟපානවට වඩා හොඳින් සතත අභ්‍යාස කරල රංගනයට එකතු වීම තුළ එම චරිතයෙන් ජීවිතයට ගොඩාක් දේවල් මුණගැහෙනවා. ඒ වගේම චරිතයක් තුළ තිබෙන විවිධ ස්ථාන විවිධ කෝණ හඳුනා ගැනීමට තිබෙන හොඳම තැන සතත අභ්‍යාසයයි.
අපේ කලා නිර්මාණ අතර හරවත් නිර්මාණ අඩුයි. මේ චෝදනාව පිළිබඳ ඔබේ අදහස?
අපේ කලා නිර්මාණ අතර හොඳ නිර්මාණ නැහැ කියන්නම බැහැ. නමුත් ඒවා එළියට එන්නෙ නැහැ. බිහි වූ එවැනි නිර්මාණ එළියට නොඒම පිළිබඳ මේ කර්මාන්තයම වගකිව යුතුයි. මේ වන විට ඒ තත්ත්වය යම්තාක් දුරකට හරියාගෙන එනවා. ලස්සන පිටපතක් දක්ෂ රංගන ශිල්පීන් හොඳ අධ්‍යක්ෂවරයෙක් යොදා ගෙන හරවත් නිර්මාණයක් බිහි කළාට වැඩක් නැහැ එය විකාශය කරන්න හරි මාධ්‍යක් නැහැ. අපි වටා හරි කලා කර්මාන්තයක් බිහි නොවීම නිසා තමයි ගුණාත්මක නිර්මාණයන්ගේ අඩුවක් දක්නට තිබෙන්නෙ.
අතීතයේ රංගධරයන් හිටියා දැන් ඉන්නෙ රංගන ශිල්පීන් මේ චෝදනාව පිළිබඳ ඔබේ අදහස?
ඒ චෝදනාව සියයට පනහක් මම පිළිගන්නවා. එහෙම කීමේ යම් සාධාරණයක් තිබෙනවා. වර්තමානයේත් අතීතයේදී වගේ රංගධරයන් බිහිවෙමින් ඉන්නවා. රංගන ශිල්පියකු සම්මුඛ පරීක්ෂණයකට කැඳවන විට අනෙක් රස්සාවලට වගේ සුදුසුකම් බලන්නෙ නැහැ. නමුත් ඒ විෂයට අවශ්‍ය සමාජ දැනුම සහ කැපවීමෙන් කටයුතු කිරීම තිබිය යුතුයි. එහෙම කැපවෙන්න බැරි වුණාම රංගධරයන් බිහි නොවී රංගන ශිල්පීන් බිහිවීම වළක්වන්න බැහැ.
ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ ලැගුම් ගැනීමට අවශ්‍ය වන්නේ පෙනුමද තාත්වික රංගනයද?
යම් පෙනුමක් තිබෙන්න ඕන. එහෙත් පෙනුමට වඩා වැදගත් වෙන්න තාත්වික රංගනය. තාත්විකව රංගනයේ යෙදීම එහෙමත් නැති නම් ප්‍රේක්ෂකයාට දැනෙන්න අපිට රඟපාන්න පුළුවන් නම් ප්‍රේක්ෂක හිතේ අපිව රැදෙනවා. ඒ සඳහා පෙනුම අවශ්‍ය නැහැ.
වෘත්තීය නළුවෙක් වෙන්න තිබිය යුතු සුදුසුකම් මොනවාද?
මේ ක්ෂේත්‍රයට එන්න ඕනම කෙනකුට පුළුවන්. නමුත් අමාරුම දේ තමයි එහි පැවැත්ම. ඒ නිසා අපි දැන ගන්න ඕන එහි පැවැත්ම හදාගන්න. ඒ නිසා ආරම්භක අවස්ථාවේදීම හිතන්න ඕන ඒ පැවැත්ම හදාගන්නෙ කොහොමද කියල. මම හිතන්නේ නළුවෙක් විදිහට පවතින්න නම් විෂයානුබද්ධ වීම අවශ්‍යයි.
නවක පරපුර තුළ විනයක් නැහැ. ප්‍රවීණයන්ගේ චෝදනාව ගැන ඔබේ අදහස?
එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා මම කියන්නෙ නැහැ. එහෙම වෙන්න හේතුව හැදෑරීමකින් තොරව ක්ෂේත්‍රයට නවකයන්ගේ පැමිණීම සිදුවීමයි. අපි රංගන ශිල්පීන් කියල ඔවුන් ඔවුන්ව හඳුනාගෙන නොමැති වීම නිසා තමයි ප්‍රවීණයන් විසින් නවකයන්ට එහෙම චෝදනා කරන්නෙ. ඒ නිසා නවකයෙක් විදිහට මම මගේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලීමක් කරනවා ඔබ මේ ක්ෂේත්‍රයට එනවා නම් හරි හැදෑරීමකින් පසුව එන්න.
ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු?
මේඝ වර්ෂා, සරා සුසුම් සහ රාවණ සිනමාපට ත්‍රිත්වය මේ වසරේදී තිරගත වීමට නියමිතයි.
අරුණි ජයසේකර