ආදරණීය තරුවක් එක්ක රට වටේම යන සාරංග හදගැස්මට කියන කතාව

gossiplanka image 2
 


සාරංග දිසාසේකර කියන්නේ ආර්ට් පැකේජ් එකක්, නළුකම, ගායනය, නිවේදනය උපතින්ම මිට මොළවාගෙන ආපු ඔහු අද රටම දන්න සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ වගේම නිෂ්පාදකවරයෙක්. ඔහුගේ දිසාසේකර ෆිල්ම් යටතේ නිෂ්පාදන කෙරෙන කුලුඳුල්ම සිනමා පටය තමයි ‘ආදරණීය තරුවක්‘ කියන්නේ. මේ චිත්‍රපටය මේ වසරේ තිරගත කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම්. කොහොම වුණත් චිත්‍රපටය තිරගත කරන්න කලින් ඔහු හරි ලස්සන වැඩක් කළා. ඒ ‘ආදරණීය තරුවක්‘ ෆිල්ම් ඉන් කොන්සර්ට් එක හරහා හරිම ප්‍රාසාංගික විධියට චිත්‍රපටයේ ගීත එළිදක්වපු එක.


‘ආදරණීය තරුවක්‘ ෆිල්ම් ඉන් කොන්සර්ට් එක ගැන කියලම පටන් ගමු?


ආදරණීය තරුවක් කියන්නේ මගේ නිෂ්පාදයෙන් කෙරෙන, දිසාසේකර ෆිල්ම්ස් හරහා කෙරෙන පළමු චිත්‍රපටය. ඉතින් මේ චිත්‍රපටයේ තියෙන ගීත මුලින්ම එළිදක්වන ගමන්, මෙහි ගීත ගායනයට සම්බන්ධ වුණු ගායක – ගායිකාවන් එක්කම, එහි නළු නිළියනුත් සහභාගි වුණු ප්‍රසංගය තමයි ගෙවුණු 30 වැනිදා ආදරණීය තරුවක් ෆිල්ම් ඉන් කොන්සර්ට් නමින් පැවැත්වූයේ. මේක සාමාන්‍ය ප්‍රසංගයකින් එහාට ගිය පොඩි සිනමාත්මක අත්දැකීමක් සමඟින් චිත්‍රපටය ගැනත් ප්‍රේක්ෂකයන්ට අදහසක් අරගෙන ගිය වැඩක්.


‘ආදරණීය තරුවක්‘ නිෂ්පාදකවරයෙක් විධියට ඔබේ පළමු සිනමා ආගමනය ඒ ගැනත් කියමු?


ඔව් ‘ආදරණීය තරුවක්‘ දිසාසේකර ෆිල්ම්ස්හි පළමු සිනමා නිර්මාණය, මෙහි අධ්‍යක්ෂවරයා වන ඩිල්ෂාන් අමරසිංහත් සිනමාවට අලුත් අධ්‍යක්ෂවරයෙක්.


චිත්‍රපට නිෂ්පාදනය කියන්නේ අවදානම් සහිත අභියෝගයක්. ඒ ගැනත් කියමු?


මම මුලින්ම ටෙලි නාට්‍ය නිෂ්පාදනය තමයි සිදු කළේ. මුලින්ම ලංසුපතිනියෝ ටෙලි නාට්‍යය තමයි මම නිෂ්පාදය කළේ. ඊට පස්සේ ටේක් කෙයාර් කියන ටෙලි නාට්‍යය තමයි මම නිෂ්පාදනය කළේ. මේ ටෙලි නාට්‍ය දෙකම අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගත්තා වගේම, ටේක් කෙයාර් සම්මානයටත් පාත්‍ර වුණා. නිෂ්පාදකවරයෙක් විධියට සිනමාවට යමක් ලබා දිය යුතුයි කියලා හිතපු නිසා තමයි ආදරණීය තරුවක් චිත්‍රපටය නිෂ්පාදනය කරන්න පෙලඹුණේ. මේ සිනමාවෙත් හොඳ පිබිදීමක් තිබෙන කාලවකවානුවක්, මේ කාලයේදී ප්‍රේක්ෂකයන්ට ලබා දුන් හොඳ නිර්මාණ ඔවුන් බොහොම ආදරයෙන් වැලඳගත්තා. ඒත් එක්කම ආදරණීය තරුවක් සම්බන්ධයෙන් අපි හොඳ ගුණාත්මක නිර්මාණයක් කළ බවට අපිට විශ්වාසයක් තිබෙනවා. කොහොමහරි මේ වසරේ මැද වෙද්දි සිනමාපටය තිරගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.


සමකාලීන රංගන ශිල්පීන් අධ්‍යක්ෂණයට යොමු වෙද්දි ඔබ ඇයි නිෂ්පාදනයට අත තියන්න හිතුවේ.


අධ්‍යක්ෂණයටත් යොමු වීමේ සූදානමක් තිබෙනවා. ඒ වෙනුවෙන් නිර්මාණයක වැඩ කටයුතු මේ වෙද්දි කරගෙන යනවා. ඇත්තටම මම චිත්‍රපට නිෂ්පාදනයට යොමු වෙන්න හිතුවේ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක් විධියට සාර්ථකත්වය ලබා ගත් අත්දැකීම් තිබෙන නිසා. ඒ වගේම ඒ හරහා තව අලුත් අධ්‍යක්ෂවරයෙක්ට ඉඩකඩ සලසා දීමට හැකි වීමත් එක හේතුවක් වුණා. ඇත්තටම ආදරණීය තරුවක් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩිල්ෂාන් අමරසිංහ සහ තිර පිටපත් රචිකාවිය දුල්හාරි ඉලංගකෝන් මේ දෙදෙනාම සිනමාවට අලුත් හඳුන්වාදීම්. ඒ වගේ දේවල් එක්ක මට හිතුණා, නිෂ්පාදකවරයෙක්ට අධ්‍යක්ෂණයෙනුත් එහා ගියපු දෙයක් සිනමාවට කරන්න පුළුවන් කියන දේ.


අලුත්ම තිර රචිකාවියක්, අලුත්ම අධ්‍යක්ෂවරයෙක්, චිත්‍රපටය ඇතුළේ මේක අභියෝගයක් වුණේ නැද්ද?


ඇත්තටම මූලික වශයෙන් මට අවශ්‍ය වුණේ මේ නිර්මාණයට නැවුම් බවක් එකතු කරගන්න. පසුගිය කාලය තුළ නවක අධ්‍යක්ෂවරු සිනමාවට හොඳ නැවුම් වෙනසක් අරගෙන ආවා. ඇත්තටම අලුත් අලුත් දේවල් මේක ඇතුළට එන්න නම් අලුත් අයට අවස්ථාවන් ලැබෙන්න ඕන. ඒකම තමයි මූලික හේතුව මම දිල්ෂාන්ට මේක ලබා දෙන්න. දිල්ෂාන් ටෙලි නාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා සහ මම ඔහුගේ දක්ෂතාව දැකලා තියෙනවා. ඒ වගේම ඔහු වෙළෙඳ දැන්වීම්කරණයේ යෙදිලා ඉන්න කෙනෙක්. හොඳ වැඩක් කරන්න උනන්දුවක් තියෙන තරුණයෙක්. පළපුරුදු අය එක්ක වැඩ කරන්න පුළුවන්කම තිබුණත් ඒ හේතු නිසා තමයි ඔවුන්ව සම්බන්ධ කරගත්තේ.


පසුගිය කාලයේදි දෙවැනි වතාවට චිත්‍රපටයක් කරපු නිෂ්පාදකවරු හරිම සීමිතයි. ඒ ඇයි?


ඇත්තටම මේ ඇතිවෙලා තියෙන පිබිදීමට කලින් මෑත කාලීනව දෙවැනි වතාවට චිත්‍රපටයක් කරපු නිෂ්පාදකවරු ප්‍රමාණය හරිම අඩුයි. සමහරවිට ආයතනවලින් නම් නිෂ්පාදන දෙක තුන කරපු අවස්ථා තියෙනවා. නමුත් හරිම අතළොස්සයි. නමුත් තනි නිෂ්පාකයෙක් නම්, දෙවැනි නිර්මාණයක් කරා ගියේ නැහැ. ඒකට සමහර අධ්‍යක්ෂවරුත් වග කියන්න ඕන. මොකද සමහර වෙලාවට ඔවුනුත් නිෂ්පාදකවරුන්ගෙන් සල්ලි අරගෙන චිත්‍රපටයක් කරනවා. ඊට පස්සේ ඒ කරපු නිර්මාණයට වග කියන්නේ නැහැ, නිෂ්පාදකවරයා ආරක්ෂා කරගන්න බලන්නේ නැහැ. ඒ වගේ සිදුවීම් නිසා කලකිරීමට පත් වුණු නිෂ්පාදකවරු බොහෝමයක් හිටියා. නමුත් දැන් මේ වෙද්දි මම හිතනවා ඒ වගේ අධ්‍යක්ෂවරු ඈත් මෑත් වෙලා, නිෂ්පාදකවරයාත් ආරක්ෂා කරගෙන ප්‍රේක්ෂකයන්ටත් සාධාරණයක් කරන අධ්‍යක්ෂවරුන්ට අවස්ථාවන් ලැබෙනවා කියලා. මේ සියල්ල ඒ විධියට වෙද්දි ඒත් එක්කම හැමදේම හොඳ විධියට සිදු වෙලා, අවර ගණයේ නිර්මාණ බිහිවීමත් අවම වෙලා, කර්මාන්තයක් විධියට මේ චිත්‍රපට ක්ෂේත්‍රය හොඳ තැනකට යයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.


පහුගිය දවස්වල අලුත්ම ගෙදරක පදිංචියට ගියා. ඒ ගැනත් කියමු?


ඔව්. ඇත්තටම කාලයක් තිස්සේ මගෙයි දිනක්ෂිගෙයි දෙන්නාගෙම තිබුණු හීනයක්. අපි අපිම හදපු ගෙදරකට ගියා. ඉතින් ඒක අපි පසුගිය දෙසැම්බර් 31 වැනිදා අපේ යූ – ටියුබ් නාළිකාව හරහා බෙදා ගත්තාම අපි නොහිතපු තරම් ප්‍රතිචාරයක් ලැබුණා. ඇත්තටම අපිට හරිම සතුටුයි. මොකද අවුරුද්ද ආරම්භයේදීම අපිට අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් දහස් ගණනකගේ ආශීර්වාදය ලැබුණා වගේම ගොඩක් අයට ඒක ලොකු මෝටිවේෂන් එකක් වෙලා තිබුණා. ඇත්තටම අපේ ජීවිතයේ එක පුංචි සිදුවීමකින් හෝ තව කෙනෙක්ට අභිප්‍රේරණයක් වෙනවා නම් ඒක තමයි මගෙයි දිනක්ෂිගෙයි ලොකුම සතුට. ඉතින් අපේ මේ අලුත් ගෙදරට ගෙවැදීමට සුබ පතපු අපේ ආදරණීය රසිකයන් සියලු දෙනාටම අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.


අවසන් වශයෙන් ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?


ආදරණීය තරුවක් සිනමා පටය මේ වසරේදී තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මේ ආදරණීය තරුවක් කොන්සර්ට් එක ඉදිරියේදී කොළඹින් එළියට වෙනත් පැතිවලටත් අරගෙන යෑමේ සූදානමක් තියෙනවා. ඒත් එක්කම මගේ නිෂ්පාදයක්, මගේ අධ්‍යක්ෂණයක් සහිත චිත්‍රපටයේ වැඩකටයුතුත් නිම වෙමින් පවතිනවා. ඒ ගැනත් ළඟදීම ප්‍රේක්ෂකයන්ට කියන්නම්.

gossiplanka image 1
Previous Post Next Post