නපුරු චරිතයක් ලැබුණු පළවෙනිම අවස්ථාව මේ -අනුෂා දිසානායක

gossiplanka image 2
 


පාසල් අධ්‍යාපනයෙන් පසු ටවර් හෝල් පදනම මඟින් පවත්වනු ලබන නාට්‍ය හා රංග කලා පාඨමාලාව සමඟ සම්බන්ධ වන අනුෂා දිසානායක කලාවට අත්පොත් තබන්නේ ධර්මසිරි බණ්ඩාරනායකගේ “ට්‍රෝජන් කාන්තාවෝ” වේදිකා නාට්‍යයෙන්. ඉන්පසු ජෙරම් ද සිල්වාගේ “ආයෙත් එන්නෙ නැහැ” වේදිකා නාට්‍ය සමඟ සම්බන්ධ වී එතැන් සිට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබා ගත්තාය. “සිහින පියාපත්” ටෙලි නාට්‍ය රංගනයත් සමඟ පුංචි තිරයට පැමිණි ඇය මේ දිනවල ඔබ හමුවන්නේ සතියේ දිනවල රාත්‍රි 8.30 ජාතික රූපවාහිනියෙන් විකාශය වන “බැද්ද අද්දර” ටෙලි නාට්‍ය තුළින්ය. “හදගැස්ම” අපේ කතාබහ ඇයත් සමඟින්ය.


කොහොමද මේ දවස්වල කාර්ය බහුලද?


ටිකක් කාර්ය බහුලයි. මේ දිනවල “බැද්ද අද්දර” ටෙලි නාට්‍යයට අමතරව මිහිර සිරිතිලකගේ වේදිකා නාට්‍යයක් මෙන්ම අජිත් මෙන්ඩිස් සහ ජූඩ් ශ්‍රීමාල් එක්ව ගෙන යන “හොරු නැතිවත් බෑ” වේදිකා නාට්‍යයේ සහ චම්පික ප්‍රියදර්ශනගේ “හිත එක්ක මං” වේදිකා නාට්‍ය ත්‍රිත්වයේ පුහුණුවීම්වලට සහභාගි වෙනවා.


“බැද්ද අද්දර” ඔබේ චරිතය ගැන කතා  කළොත්?


“බැද්ද අද්දර” මගේ චරිතය වන මුදලාලි හාමිනේ කියන්නේ සාම්ප්‍රදායික ගැමි කාන්තාවක්. තමන්ගේ දරුවන් ගැන ගොඩාක් හිතන, මොන ප්‍රශ්න තිබුණත් පවුලක් විධියට ඉදිරියට යන්න උත්සාහ කරන, තමන්ගේ තත්ත්වයට හානියක් කර ගන්න අකැමැති නිසාම මනා ලෙස ඇය ඇයවම නඩත්තු කරන චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇය තමන්ගේ ස්වාමියාගේ ස්වභාවය හොඳින් දන්නවා. එහෙම දැනගෙන වුවත් පවුල කොහොම හරි ගැටගහගෙන දියුණු වෙන්න තමයි ඇය උත්සාහ කරන්නේ.


කොහොමද ලැබෙන ප්‍රතිචාර?


මෙය තමයි රූපවාහිනි තිරය මත මේ වගේ නපුරු සැර චරිතයක් රඟපාන්න ලැබුණු පළමු අවස්ථාව. මේ වන තෙක්ම මම කළේ දුප්පත් අහිංසක, සාමදානව කටයුතු කරන චරිත. ගැහැනිය සාමදානව, සන්සුන්ව කටයුතු කරන තැනට පත් කරන්නෙත් පිරිමියාමයි කියන කියමන මේ චරිතයෙන් මනා ලෙස ඔප්පු වෙනවා. මේ තත්ත්වය මේ සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙක් අත්විඳිනවා. ඒ නිසාම මේ චරිතයට සාර්ථක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ ගැන හරිම සතුටුයි.


මේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ගැන යමක් කිව්වොත්?


මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා බුද්ධික ලොකුකැටිය. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු මේ ගමන එද්දි ගොඩක් දුක් විඳපු කෙනෙක්. මොන තරම් දුක් විඳලා ක්ෂේත්‍රයට ආවත් ප්‍රසිද්ධ චරිතයක් වෙද්දි ගොඩාක් අය මුල අමතක කරනවා. ඒ වුණාට බුද්ධික අයියා එහෙම නැහැ. ඔහු ඒ වින්ද දුක නිසාම තමයි මේ තරම් සන්සුන්ව ක්‍රියා කරන්නේ. ඔහු කවදාවත් කේන්ති අරගෙන කාටවත් දොස් කියන්නේ නැහැ. හරිම කරුණාවෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. චරිතය ගොඩනඟා ගන්න උදවු කරනවා.


සමන්ත කුමාර ලියනගේ ගැනත් යමක් කියන්න ඇති?


සමන්ත අයියා මට මුණගැහෙන්නෙ “කැලණි පාලම” වේදිකා නාට්‍යයෙන්. බැද්ද අද්දර ටෙලි නාට්‍යයත් සමඟ මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ ඔහු නිසයි. සමන්ත අයියා “බැද්ද අද්දර” ටෙලි නාට්‍යයට මාව යෝජනා කළාට බුද්ධික අයියා මාව ගන්න කැමැති වෙන්නෙ නැහැ. ඒකට හේතුව “කැලණි පාලම” වේදිකා නාට්‍යයේ මම පොඩි ළමයෙක්ගෙ චරිතයක් කළ නිසා ඔහු හරියට බය වුණා. ඒ මට මේ වගේ වැඩිහිටි චරිතයක් කරන්න බැරි වෙයි කියල. එහිදී සමන්ත අයියා මා වෙනුවෙන් ලොකු අවදානමක් ගත්තා. එහෙම තමයි මාව “බැද්ද අද්දර” ටෙලි නාට්‍යයත් සමඟ සම්බන්ධ කර ගන්නේ. ඔහුගෙන් ලැබුණු එම සහයෝගය නොතිබෙන්න මට මේ චරිතය ලැබෙන්නෙ නැහැ. සමන්ත අයියා කියන්නේ හරි ලස්සන අදහස් වගේම හොඳ හිතක් තිබෙන සංවේදී පුද්ගලයෙක්. ඔහු සමඟ වැඩ කරන්නත් පහසුයි.


වර්තමානයේ පවතින නිර්මාණ බොහොමයක ලිංගිකත්වය ඉස්මතු කරනවා. මේ ගැන ඔබේ අදහස?


ලංකාව තුළ පවතින අපේ සංස්කෘතියත් සමඟ එළිපිට ලිංගිකත්වය ගැන කතා කිරීම ගැටලු සහගතයි. එහිදී එම සංස්කෘතිය තුළ ජීවත් වන අපිත් ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් ඒවා දකින්න කැමැති නැහැ. මම වුණත් පෞද්ගලිකව කැමැති නැහැ. මොකද මමත් ගමෙන් නගරයට ආව කාන්තාවක්. ලිංගිකත්වය ප්‍රසිද්ධ මාධ්‍යයක් තුළින් දකින්න මම කැමැති නැහැ. නමුත් මේක තමයි යථාර්ථය. එම කතාව නිර්මාණය සඳහා ලිංගිකත්වය අත්‍යවශ්‍ය නම් ඒ දේවල් තිබුණට කමක් නැහැ. ඒත් එහි සීමාවක් තිබෙන්න ඕන.


මේ ටෙලි නාට්‍ය රූගත කිරීමේදී ලැබුණු අද්දැකීම් එහෙමත් ඇති?


නාට්‍ය රූගත කිරීම් කරන වෙලාව හරිම විනෝදකාමියි. මෙම නාට්‍යයේ රූගත කිරීම් සිද්ධ වෙන්නෙ ගොඩාක් වෙලාවට රූගත කිරීමේ ස්ථානයන්ට ගියාට විවිධ විවිධ ප්‍රශ්න ඇති වෙනවා. හිත් රිදීම් වෙනවා. ඒත් මේ ස්ථානයට යනවා කියන විටත් හරිම සතුටුයි. නාට්‍ය කණ්ඩායමේ ඉන්න මුහුණු ටික මැලවිලා වගේ ඉන්නෙ නැහැ. හරිම උද්‍යොගිමත්ව ඉන්නවා. පිළිගන්න විදිහත් හරිම හොඳයි. ඒ වගේම රූගත කිරීම් ඉවර වෙලා අපි හැමෝම එකතු වෙලා එක එක්කෙනා ගැන, අත්දැකීම් ගැන කතා කරනවා. අත්දැකීම්වලින් අපට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබෙනවා.


චරිතයක් සාර්ථකත්වයට පත්වීමට ප්‍රේක්ෂක විශ්වාසය අවශ්‍යයි. මේ ගැන ඔබේ අදහස?


මුලින්ම අපි අපට ලැබෙන චරිතය තේරුම් ගන්න ඕන. ඒ වගේම එම චරිතයේ තිබෙන මනෝභාවය තේරුම් ගැනීමත් වැදගත්. චරිතයක් ලැබුණාම එවැනි චරිත අපි ජීවත් වන සමාජයේදී ඕන තරම් හමුවෙනවා. එවැනි චරිත දෙස බලාගෙන ඉඳල ඇසුරු කරලා ඉගෙන ගන්න එකත් කළ යුතුයි. ඒ වගේම සතත අභ්‍යාසවල යෙදීමත් වැදගත්. එවැනි දේ තුළින් ප්‍රේක්ෂක විශ්වාසය දිනාගන්න පුළුවන්.


මොනවද අලුත් වැඩ?


මම රංගනයෙන් දායක වුණු, රූගත කිරීම් අවසන් වූ ටෙලි නාට්‍ය තුනක් පමණ විකාශය වීමට නියමිතව තිබෙනවා. එම නිර්මාණ ඉක්මනින් විකාශය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 

gossiplanka image 1
Previous Post Next Post