තරු පායයි, ඇතැම් විට බැබළෙන්නටත් පෙරම බැස යයි. නමුත් ඉඳහිටකදී එලෙස පායන තරුවක් දෙකක් අහසේ තමාට හිමි නිශ්චිත තැන සොයා ගනිමින් දීප්තිමත් එළියකින් බැබළෙයි. අපූර්වා ආශාවරී යනුද, එලෙස තරුවක් ලෙස පායා විත් කලා අඹරේ තම ස්ථානය ඉතාමත් කෙටි කාලයක් තුළ තහවුරු කර ගත් ශිල්පිනියකි. ගායිකාවක් ලෙසින් කලාවට පය තැබූ ඇය අද වන විට රංගන ශිල්පිනියක් ලෙසද ප්‍රේක්ෂක ආදරය හා අවධානය දින ගනිමින් සිටියි. මේ හදගැස්ම අපි ඇය සමඟින් කළ සුහද කතා බහයි.
ඉතින් මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල පුරුදු විධියටම රංගන කටයුතුවලට සහ සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව ළඟදීම මගේ අලුත් ගීත දෙකක් එළිදක්වන්න කටයුතු සූදානම් කරගෙන යනවා.
ගායිකාවකට අමතරව ඔබ දැන් රංගන ශිල්පිනියක්, රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම මුල් කාලයේදී මට රංගන සඳහා ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාර. සාපේක්ෂව හොඳ සහ නරක දෙවර්ගයේම ප්‍රතිචාර ලැබුණා. නමුත් මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම වෘත්තීමය රංගන ශිල්පිනියක් නෙවෙයි. නමුත් මේ වෙද්දි මගේ අත්දැකීම් එක්ක රංගනය හදාරමින් යන ගමනේදි ප්‍රේක්ෂකයන්ගෙන් බොහොම ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා.
පහුගිය දිනවල ඔබේ “නුඹ දුන් ඒ” ගීතය අතිශය ජනප්‍රිය වුණා. ඒ ගැනත් කතා කරමු?
ඒ ගීතය නිර්මාණය කළේ, මියුසික් කළේ තරිඳු බණ්ඩාර අයියා. පද රචනාව චතූ බණ්ඩාර අක්කාගේ. ලස්සන ගීතයක්. එහි වීඩියෝ ස්ක්‍රිප්ට් එකත් චතු අක්කාගේ. හරිම ලස්සනට නිර්මාණය වුණු, හොඳ ප්‍රතිචාර ලැබුණු ප්‍රේක්ෂකයන් අතරට ගොඩාක් ගිය ගීතයක් ඒක. ඇත්තටම මම තරිඳු බණ්ඩාර අයියට හා චතු බණ්ඩාර අක්කාට ස්තූතිවන්ත වෙනවා ඒ වගේ ලස්සන ගීතයක් මට නිර්මාණය කරලා දීම වෙනුවෙන්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගෙනුත් ඒ ගීතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා.
ඔබ ගායනයට උපන් හපනියක්, දැන් රංගනයේත් යෙදෙන නිසා ඒ පිළිබඳව හැදෑරීම් කරනවාද?
ගායනය පැත්තෙන් මම හදාරපු දේවල් සහ ඒ සියලුම දැනුම එක්ක තමයි මම රියැලටි වේදිකාවට එන්නේ. මම තාමත් සංගීතය ඉගෙන ගන්නවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබනවා මේ වෙද්දි. හැබැයි රංගනය කියන්නේ මගේ ඇඟේ තිබ්බ දෙයක් කියලා මම විශ්වාස කරනවා. මම කවදාවත් රංගනය හදාරලා නැහැ. ඉස්කෝලේ කාලෙදිවත් කිසිම දවසක මම රඟපාලා නැහැ. ටීවි දෙරණ ඇතුළේ තමයි මම මගේ පළමු වැනි රංගන අත්දැකීම ලැබුවේ. මම මතක් කරන්න ඕන හර්ෂිකා රත්නායක අක්කාව.
ඇය තමයි මගේ ජීවිතයේ පළමු වතාවට රංගනය කියන්නේ මෙන්න මේකයි කියලා මට කියලා දුන්නේ. ඇයට තමයි මගේ පළමු රංගන අත්දැකීම වුණු ඉරයි හඳයි ටෙලි චිත්‍රපටය ඇතුළේ මාව බාර වෙලා තිබුණේ. ඇය දින කිහිපයක්ම උපරිම අයුරින් මාව රංගනය සඳහා පුහුණු කළා. රංගනය කියන්නේ මෙන්න මේක කියලා මට කියලා දුන්නේ ඇය.
ඒ නිසා මම ඒ ගෞරවය ඇයට ලබා දෙනවා. මොකද අද වෙද්දි රංගන හැකියාව වර්ධනය වෙලා කියලා බොහෝ දෙනෙක් කියනවා. අධ්‍යක්ෂවරු පවා. ඒ වෙලාවට මට හිතෙන දේ තමයි මම රංගනය ඉගෙන ගත්තේ හදාරල නෙවෙයි. මම ඉගෙන ගත්තේ අත්දැකීම ඇසුරින්. ඒක මාරම වටිනවා. ඒ වගේ අත්දැකීම් ටික ටික ජීවිතයට එකතු වෙද්දි මම රංගනය ඉගෙන ගන්න බව මට දැනෙනවා. මම රංගනය ආදරෙයි. ඒ නිසාම ඇත්තටම ඉදිරියට මම බොහොම ඉහළින් රංගනය හදාරාවි.
ඔබට ජාත්‍යන්තර අවධානය ලබා ගැනීමට හැකි ගීතයක් කිරීමේ සිහිනයක් නැද්ද?
මගේ සිහිනය තමයි ලංකාවෙන් එළියට යන එක. මගේ කටහඬින් මට පුළුවන් වේවි දවසක ලංකාවෙන් එළියට යන්න. මම ඒකට උපරිම උත්සාහ කරනවා. මම තාම ඒ සිහිනයට සෙමෙන් උත්සාහ කරන ගමන් ඉන්නේ. කවදාහරි දවසක මට ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.
මේ වෙද්දි ඔබේ උපාධිය අවසන් කරලාද?
මම තාම උපාධිය අවසන් කරලා නැහැ. මම තාම දෙවැනි වසරේ ඉන්නේ. මට තව අවුරුදු දෙකක් තියෙනවා උපාධිය අවසන් කරන්න.
අධ්‍යාපනය කියන දේ තරුණියකට මොන තරම් වටිනවාද?
සමහර විට මම ඒ උපාධියෙන් වැඩක් ගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කාන්තාවකට අධ්‍යාපනය කියන්නේ ලස්සන ආභරණයක්. ෆීල්ඩ් එකට ඇවිත් සිංදුවක් කරලා හිට් වෙලා මිනිස්සු අතරට යන එකත් හරි. ඒ වගේම ඒ අතරතුර අධ්‍යාපනයෙනුත් තමන්ගේ ජීවිතයට වටිනාකම් එකතු කරගත්ත කාන්තාවන් ඕනෑ තරම් අද ලංකාවේ ඉන්නවා. මම මගේ ජීවිතයට එහෙම උදාහරණයක් කරගත්ත දෙන්නෙක් තමයි ශෂිකා නිසංසලා අක්කා සහ මහේෂා සඳමාලි අක්කා. ඔවුන්ගේ ජීවිතවලින් මට ගත හැකි බොහෝ දේවල් තියෙනවා.
මම සාමාන්‍යයෙන් මට වඩා ඉහළ තැනක මනුස්සයෙක් දැක්කොත් කිසිම පැකළීමකින් තොරව ඔවුන්ගේ ජීවිතවලින් මට ගන්න තියෙන දේවල් ගන්නවා. ඔවුන්ගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඇත්තටම මගේ අම්මා මට පොඩි කාලේ ඉඳන්ම අධ්‍යාපනයේ වටිනාකම කියලා දුන්නා. ඒ නිසා මම විශ්වාස කරන දෙයක් තමයි මම උපාධියෙන් වැඩක් ගත්තත් නැතත් ඉගෙන ගත්ත ගායිකාවක් කියන ටයිට්ල් එක ගොඩක් වටිනවා කියන දේ. ඒ නිසා මම ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.
අපූර්වා කියන තාරකාවියට, ජනප්‍රිය ගායන ශිල්පිනියට කලාව පැත්තෙන් තියෙන අනාගත බලාපොරොත්තු මොනවාද?
කලාව පැත්තෙන් තියෙන එකම බලාපොරොත්තුව රසිකයන් උදෙසා ලස්සන නිර්මාණ කරමින් ඔවුන්ගේ ආදරය ලබා ගන්න එක සහ නිර්මාණයක් හරහා ලංකාවෙන් එළියට යන එක.
අවසන් වශයෙන් ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?
ළඟදීම මගේ ගීත දෙකක් එළියට එන්න තියෙනවා. ඒ දෙකේ වැඩකටයුතු කරගෙන යන ගමන් තියෙන්නේ. ඒ වගේම රංගන කටයුතුවලිනුත් අලුත් වැඩ කිහිපයකටම දායකත්වය ලබා දෙන්න නියමිතයි. ඒ දේවල් එක්ක මගේ අධ්‍යාපන වැඩ කටයුතුත් කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ.
අක්ෂි මාපා වීරසිංහ