ගින්නෙන් උපන් සීතල, කන්දක් සේමා, තණ්හා රති රඟා, සුනාමි වැනි සිනමා නිර්මාණ රැසකින් මෙන්ම වසන්ත කාලයයි, කූඹියෝ, තණමල්විල කොල්ලෙක්, සුසුම් රස්තියාදුව ඇතුළු ටෙලි නිර්මාණ තුළින් ඔහුගේ විශිෂ්ට රංගනය ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි විය. සම්මානනීය ශිල්පියකු ලෙස ප්‍රේක්ෂක මතකයේ රැඳුණු විශ්වජිත් ගුණසේකර මේ දිනවල ඔබ හමු වන්නේ සිරස රූපවාහිනියෙන් විකාශය වන කළු අහස ටෙලි නාට්‍යයෙනි. හදගැස්ම අපි ඔහුත් සමඟ කළ කතාබහයි මේ.
මේ කතාබහ ආරම්භයේම ‘කළු අහස‘ ඔබේ චරිතය ගැන කතා කරමු?
කළු අහස ටෙලි නාට්‍යයේ මගේ චරිතය දේශපාලනය කරලා ඉන් ඉවත් වූ කෙනෙක්ගේ චරිතයක්. ඔහු දේශපාලනයෙන් ඉවත් වන්නේ පිරිසුදු දේශපාලනය කිරීමට ගොසින් ඔහුගේ ඥාතියෙක් කළ යම් යම් හොරා කෑම් නිසයි. තමන් නිවැරැදියි කියලා ඔප්පු කිරීමට තමන්ගේ දුව භාවිත කිරීමකුත් මේ තාත්තා සිදු කරනවා. මම පණපොවන්නේ එවන් චරිතයකට.
එම චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?
මගේ චරිතයට ලොකු ප්‍රතිචාර නම් ලැබෙන්නේ නැහැ. කිහිපදෙනෙක් කතා කරලා චරිතය හොඳයි කියලා කිව්වා.
වර්තමානයේ බිහිවෙන නිර්මාණ පිළිබඳ ඔබේ අදහස.
වර්තමානයේ බිහිවෙන බොහෝ නිර්මාණ මම බලන්නෙ නැහැ. එයට හේතුව මට බයයි එම නිර්මාණය බලාගෙන යද්දී මඟදී බලන එක නවත්වන්න වේවි කියලා. මොකද මම ගොඩාක් අන්තවාදී කෙනෙක්. ඒ වුණාට වර්තමානයේ බිහිවෙන නිර්මාණ ගැන හිතෙන දෙයක් තිබෙනවා. නිර්මාණයක් සාර්ථක වෙන්න නම් එම නිර්මාණය ගොඩාක්ම සීරියස් වෙන්න ඕන. එහෙම හිතට දැනෙන ලෙස සාර්ථක නිර්මාණ බිහි වීම අද වන විට අඩුවෙලා. ඒ නිසා මට දැනෙන්නේ අපි අගාධයකට ගමන් කරනවා කියලයි.
අපේ නිර්මාණ අගාධයකට ගමන් කිරීම නතර කිරීමට කළ යුත්තේ කුමක්ද?
හොඳ නිර්මාණ තිබෙනවා. හොඳ නිර්මාණ නැතිව නෙවෙයි. එවැනි නිර්මාණ ඇතුළත විනයක් නොමැති බව තමයි තිබෙන්නේ. විනය පිරිහීම හේතු කොට ගෙන තමයි අපේ නිර්මාණ අගාධයට ගමන් කරන්නේ. නාළිකාවකින් නිර්මාණයක් විකාශය කරනවා නම් එම නිර්මාණයේ කොටස් 100කට වැඩිය ඉල්ලනවා. එහෙම ඉල්ලූ විට මේ කතාව දිගට ඇදගෙන යන්න ඕන. එහිදී තව නවක නළු නිළියන් මේ නිර්මාණයට එකතු කරන්න වෙනවා. ඒ වගේම අලුත් සිද්ධි එම කතාවට එකතු කරගන්න වෙනවා. එවැනි දේ නිසා නිර්මාණ දියාරු වෙලා යනවා. ඒ වගේම කලාව කියන්නේ කර්මාන්තයක්. ඒ නිසා රංගන ශිල්පියාට විතරක් තනියම නිර්මාණයක් සාර්ථක කරන්න බැහැ. ඒ සඳහා නිර්මාණයට දායක වෙලා සිටින මුළු කණ්ඩායමම මහන්සි වෙන්න ඕන. කැප වෙලා වැඩ කරන්න ඕන. ඒ වගේම සාර්ථකම නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් උඩුගම් බලා පිහිනීම අවශ්‍යයි.
සංකීර්ණ චරිත රඟපෑමට අවස්ථාව නොලැබීම දක්ෂ චරිතාංග නළුවකු බිහිවීමට බාධාවක්ද?
වර්තමානයේදී පමණක් නොවෙයි අතීතය දෙස බලන විටදීත් උදාහරණයක් ලෙස ගාමිණී ෆොන්සේකා මහතාව ගන්න. ඔහු වැඩිපුර කළේ චණ්ඩි චරිත. ඒ වගේම වීරයා වීමේ අවස්ථාවත් ලැබුණා. ඒ චරිතවලට වඩා යමක් ඔහුට කරන්න තිබුණා. ඔහුගේ එම හැකියාවෙන් අධ්‍යක්ෂවරු වැඩ ගත්තෙ නැහැ. වර්තමානයේ මට වුණත් අනෙක් සහෝදර ශිල්පියකුට වුණත් ඒ ටික එහෙමම තමයි. මම මොනවා හරි වෙන නාට්‍යයක චරිතයක් රඟපානවා බලාගෙන ඉඳලා ඒ වගේම චරිතයකට තමයි මට නැවතත් කතා කරන්නේ. එහෙම කතා කළාම එම චරිතය මඟහරින්න බැහැ. මම කළු අහස ටෙලි නාට්‍යය භාරගන්න අවස්ථාවේදී මම වෙන නිර්මාණයක වැඩ කළේම නැහැ. මොකද ඒ කාලයේදී මම ගොඩක් වැඩ භාර නොගෙන හිටපු කාලයක්. ඉන්දික ධර්මතිලක සමඟ මට මීට පෙර වැඩ කරලත් නැහැ. ඔහු සමඟ වැඩ කරන්න තිබුණු ආශාවට වගේම මේ චරිතය තුළ වෙනස් දෙයක් කරන්න පුළුවන් කියලා හිතලයි මේ චරිතය භාර ගත්තේ. මම චරිතයක රඟපාන විට එම චරිතය සංකීර්ණව රඟපානවට වඩා ඇතුළාන්තයෙන් ඒ සඳහා සාධාරණයක් කරනවා.
මේ වන විට ඔබේ නිර්මාණ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තිබෙනවාද?
නිර්මාණවලට වැඩක් ගන්න තරම් දක්ෂයෙක්ද කියලා මම දන්නෙ නැහැ. හැබැයි දක්ෂයෙක් වෙන්න උත්සාහ කළ යුතුයි. ඒ සඳහා කැපවීම් කළ යුතුයි. මට අනුව නම් දක්ෂයි. සාර්ථකයි. හැකියාව තිබෙනවා කියලා එකක් නැහැ. බොහෝ අය හිතනවා මගේ හැකියාව නිසා තමයි මට සම්මාන ලැබුණේ කියලා. එහෙම නැහැ. අපිට චරිතයක් ලැබුණාම එය හොඳට කරන්න උත්සාහ ගන්න ඕන. නිර්මාණයක් තුළ ගැඹුරක් තිබෙන දෙයක් කරන්න බොහෝ අය උත්සාහ කරන්නෙ නැහැ. ඒ තුළින් දක්ෂයන් වීමට උත්සාහ කරන අපි වගේ අයට අසාධාරණයක් වෙනවා තමයි. වෙනස් විධියේ චරිත ලැබෙනවා නම් මීට වඩා යමක් කරන්න පුළුවන්. නමුත් නිර්මාණයක ගැඹුර සොයන්න ගොඩක් අය උත්සාහ කරන්නෙ නැහැ. එහිදී අපි වගේ දක්ෂයන් වීමට උත්සාහ ගන්න නළුවන්ට ලැබෙන අවස්ථා අඩුයි.
නළුවකු වීමට සපුරාලිය යුතු සුදුසුකම්?
නළුවකු වෙන්න නම් තමන් තුළටම නැඹුරු වූ චරිතයක් තිබිය යුතුයි. ඒ වගේම තමන් තමන්ට අවංක වෙන්න ඕන. අධ්‍යයන කිරීමට අවස්ථාව උදා කර ගන්න. මම නම් කලාවට ආවේ මේ පිළිබඳ ඉගෙන ගන්න තිබුණු ආසාවටයි. එහිදී මට හිතුණා මම මේ දකින දේවල්වලට වඩා යමක් කරන්න පුළුවන් කියලා. මම ගොඩාක් දේවල් මේ විෂය සම්බන්ධයෙන් කියවලා තිබෙන නිසා මට හිතෙනවා මේ තුළ වෙනස් දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මගේ බලාපොරොත්තුව මේ ක්ෂේත්‍රයට යම් කිසි සේවයක් කිරීමයි. එහෙම නැතිව මේක රස්සාවක් කරගන්න බලාපොරොත්තුවක් නැහැ.
ඔබට ලැබෙන චරිතය කිසිම බයක් නැතිව තාත්වික ලෙස රඟපාන්නෙ කොහොමද?
එම ප්‍රශ්නයට මට නිශ්චිතවම පිළිතුරක් දෙන්න අමාරුයි. මම රඟපාන චරිතය තුළ සාර්ථකත්වයක් තිබෙනවා නම් එහෙම වෙන්නෙ මම මේ විෂය හැදෑරීම නිසයි. වෙන කිසිම රහසක් නැහැ.
මෙම නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ගැනත් යමක් කියමු?
එයා නව පරපුර නියෝජනය කරන අධ්‍යක්ෂවරයෙක් වුණාට දැනුමෙන් පරිණතයි. චරිතයක් සාර්ථකව කරන්න රංගන ශිල්පියකුට අවශ්‍ය නිදහස උපරිමයෙන් ලබාදෙනවා. සාර්ථක ගමනක් යන්න පුළුවන් හොඳ අනාගතයක් තිබෙන අධ්‍යක්ෂවරයෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
ලෝකයේ කලා නිර්මාණ හමුවේ අපේ නිර්මාණවල ප්‍රභාව ප්‍රමාණවත් නැතිද මේ පිළිබඳ ඔබේ අදහස?
ලෝක කලා නිර්මාණ හමුවේ අපි ළිඳේ ඉන්න ගෙම්බො වගේ. දක්ෂයන්ව මේ ක්ෂේත්‍රයට ගෙනැල්ලා ඔවුන්ව අගය කිරීම් කරනවා නම් මේ ප්‍රශ්නයට උත්තර ලැබෙනවා. නමුත් අපිට වෙලා තිබෙන්නේ දක්ෂයන් ඉවතට තල්ලු වෙලා වෙන අය ඉස්මතු වීමයි. එහිදී දක්ෂයන්ට තැනක් දෙන එක හරිම අමාරුයි. ඒ වගේම රඟපානවා කියන්නේ ඇඟ හදාගන්න එක, කොණ්ඩෙ හදා ගන්න එක, කොස්ටියුම් ලස්සනට හදා ගන්න එක නෙවෙයි. නමුත් අපි රඟපානවාට වඩා මුල් තැන දෙන්නේ මෙවැනි දේටයි. එහෙම වුණාම අපිට ලෝකයේ තිබෙන නව ප්‍රවණතා සමඟින් හැප්පෙන්න බැහැ. මොකද ලෝකයේ නිර්මාණ සාර්ථකත්වය සොයද්දී අපි සොයන්නේ සුන්දරත්වය.