මීට දශක තුනකට පෙර පුංචි තිරයේ කඩවසම් පෙම්වතාගේ භූමිකාවට පණ දුන් ඔහු අද අති දක්ෂ ප්‍රවීණ චරිතාංග රංගන ශිල්පියෙක් බවට පත්ව සිටින්නේ සිතුවොත් කරන්නට බැරි දෙයක් නැත යන පදයට අරුත් එක් කරමිනුයි. අනාගතයේ දිනක රටම දන්නා රංගන ශිල්පියෙක් වෙතැයි සිහිනයෙන් හෝ නොසිතූ දවසක වීදි නාට්‍යකරුවෙක් ලෙස ලබා ගත් ආරම්භය හේතුවෙන් අද ඔහු මල් වෙඩි සහිත සංදර්ශනයක් මැද ස්පොට් ලයිට් එළිය යට සිනාසෙමින් සිටියි. ඔහු අන් කවරකුවත් නොව මේ දිනවල බැද්ද අද්දර මුදලාලි ලෙසින් අතිශය ජනප්‍රියත්වයක් හිමි කර ගෙන සිටින නිරෝෂන් විජේසිංහයි.
ඉතින් මේ දවස්වල විස්තර මොනවද?
මේ දවස්වල බොහෝ කතා බහට ලක්වුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා. එකක් තමයි බුද්ධික ලොකුකැටියගේ බැද්ද අද්දර ටෙලි නාට්‍යය. අනික් එක අසංක සායක්කාරගේ කොටු ටෙලි නාට්‍යය. මේ ටෙලි නාට්‍ය දෙක ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රියයි. ඉතින් ඔය දෙකේ වැඩ කටයුතු එක්ක තව අලුතින් පටන් ගත්ත වැඩ කිහිපයකුත් කළා.
කොහොමද බැද්ද අද්දර මුදලාලිට ලැබෙන ප්‍රතිචාර?
ඒක කියන්නම ඕන. මොකද වෙනදා නැති තරම් ඉතාමත් සුබදායී ප්‍රතිචාර ගොඩාක් ලැබෙමින් පවතිනවා. මඟ තොටේදී හමු වුණාම වගේම සමාජ මාධ්‍ය හරහාත් ඉතාමත් යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව අපේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් සහ හිත මිත්‍රයන්ගෙනුත් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඒක සතුටට කාරණයක් මොකද කාලයක් තිස්සේ ගොඩනඟා ගත්ත දේවල් එක්ක මේ විධියේ ප්‍රතිචාර ලැබෙද්දි. මෑතකදී රජයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක් කතා කරලා කිව්වා මුලින් මගේ නාට්‍ය බැලුවේ නැති වුණත්, දැන් නම් හොයාගෙන හරි බලනවා කියලා.
බැද්ද අද්දර මුදලාලිගේ අළු පාට චරිතය ඔබට දැනුණේ කොහොමද?
කොහොම ගත්තත් මිනිස්සු කියන්නේ හොඳත් නැති, නරකත් නැති හොඳ නරක අඩු වැඩි වශයෙන් තියෙන පිරිසක්. ඉතාමත් හොඳ මිනිස්සු නැහැ වගේම ඉතාමත් නරක අයත් නැහැ. ඉන්නේ ඔය දෙක මැද්දේ දෝලනය වෙන කොට්ඨාසයක්. හොඳ නරක කියන්නේ එකිනෙකාට සාපේක්ෂ දෙයක්. හැමෝම තමන්ගේ පැත්තෙන් බලලා තමයි හොඳ නරක කියන දේ තීරණය කරන්නේ. හොඳ නරක දෙක සමාජීය, දේශපාලන හා සංස්කෘතික කාරණා මත වෙනස් වෙනවා. මේ බැද්ද අද්දර මුදලාලි ගත්තොත් සමහර විට ඔහු කරන දේවල් කරන්නේ දරුවෝ වෙනුවෙන්, පවුල වෙනුවෙන් ජීවත් වෙන්න. මේ මිනිස් සමාජයේ ජීවත් වෙන හැමෝම එහෙමයි. හොඳ හෝ නරක ඕනෑම දෙයක් කරන්නේ පැවැත්ම වෙනුවෙන්. මුදලාලි ගත්තොත් ඔහු නරකම කෙනෙක් නෙවෙයි. මේ හැම දේකටම හේතුවක් තියෙනවා. සමාජයේ විවිධ කෝණවලින් බලද්දී වැරැදි වෙන්න පුළුවන් වුණත්, බැද්ද අද්දර මුදලාලි වගේම අනිත් හැම චරිතයක්ම තමන්ට අනුව සාධාරණයි.
ශෘංගාරය හා ලිංගිකත්වය තව දුරටත් දෝෂාරෝපණයට ලක් වන්නක් නොවෙයි. ඒ ගැනත් කියමු?
ඒක ඇත්තටම වෙන්න ඕන කාරණයක්. ඇත්තටම අපේ රට ඇතුළෙත් ප්‍රේක්ෂකයන්ගේ වටහාගැනීම සහ සිතීම පුළුල් වෙලා තියෙනවා. ඒක ඇත්තටම සතුටට කාරණයක්. ඔය වගේ දේවල් ගැන කතා කළේ අද ඊයේ නෙවෙයි. සයිමන් නවගත්තේගම සුද්දිලාගේ කතාව ගත්තම, තව බොහෝ කලා නිර්මාණ ගත්තම ඒ වගේ දේවල් ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවා. ඒ කාලේ ප්‍රේක්ෂකයෝ ඒ දේවල්වලට එහෙම ලොකුවට විවේචන එල්ල කළේ නැහැ. පටු විධියට හිතන සමාජයක තමයි එහෙම දේවල් සිදු වෙන්නේ. ලිංගිකත්වය කියන්නේ ගැහැනු, පිරිමි කාටත් පොදු අවශ්‍යතාවක්. නමුත් අපි කරන්නේ ඒ කාරණය ගැන කතා කරන එක හැම තිස්සේම බෝලයක් වතුර යට ඔබනවා වගේ හංගනවා. නමුත් ඒක හංගන්න අමාරුයි. මම මෙතැනදි කියන්නේ අනවශ්‍ය විධියට, අනවශ්‍ය දර්ශන හා සිදුවීම් පෙන්නන එක නෙවෙයි. නමුත් යම් කිසි නිර්මාණයකදී, ඒ නිර්මාණයට අවශ්‍ය විධියට, උචිත විධියට ඒ වගේ දේවල් පෙන්නන එකේ වරදක් නැහැ. මම නම් කියන්නේ මිනිස්සු ඒ දේවලුත් දකින්න ඕන. ඒ දේවල් දකිද්දි තමයි මිනිස්සුන්ට ඒක තව දුරටත් මැජික් එකක් නොවෙන්නේ.
කොටු ගැනත් කතා නොකරම බැහැ, කොටු අනියම් සම්බන්ධකම්වල නරක ප්‍රතිඵල පෙන්වන්න දරන උත්සාහයක්ද?
අපි කොච්චර දේවල් කතා කළත්, මොන තරම් බණ කිව්වත්, උපදෙස් දුන්නත් මේ අනියම් සම්බන්ධතා ඇති වීම සම්පූර්ණයෙන් වළක්වන්න කාටවත් බැහැ. ඒක තමයි සොබාවය, ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳලා එවැනි දේවල් තිබුණා. මිනිසාගේ මූලිකම කාර්යය තමයි තමන්ගේ ජාන ටික ඊළඟ ජෙනරේෂන් එකට අරගෙන යන එක. මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ මිනිසා කියන ජාන ටික වඳ නොවී ඉදිරි පරම්පරාවට අරගෙන යෑම වෙනුවෙන්. මේකේ විවිධ අවස්ථාවන් කලා නිර්මාණ හරහා පෙන්නන්න පුළුවන්. හැබැයි ටෙලි නාට්‍යයක් හැදුණා කියලා, ඒ වගේ දේවල් නතර වෙන්නේවත් අලුතෙන් ඇති වෙන්නේවත් නැහැ. නිර්මාණකරුවෝ විධියට අපිට තියෙන්නේ එහි සුන්දර අසුන්දර තැන් නිර්මාණ හරහා පෙන්නන එක. නමුත් ඒවාගෙන් පාඩම් උගන්නන්න බැහැ වගේම කවුරුත් පාඩම් ඉගෙන ගන්නෙත් නැහැ. ඒ වගේ දේවල් මේ මිනිස් සමාජය ඇතුළේ හැමදාම සිද්ධ වෙනවා.
කලාකරුවාගේ වගකීම, ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීම ද?
අපි තව දුරටත් හුදෙකලා දූපත්වාසීන් නෙවෙයි. අද වෙද්දි ලෝකයේ ඕනෑම දෙයක් ඉතාමත් ක්ෂණිකව දැකබලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔවුන් ඒ හරහා උපරිම රසවින්දනයක් ලබන්න පුරුදු වෙලා ඉන්නවා. තව දුරටත් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලුමට සැපයුම ලබා දීම නෙවෙයි කලාකරුවන්ගේ වගකීම. ඇත්තම කියනවා නම් කලාකරුවා කියන්නේ අලුත් නිර්මාණ කරමින්, හිස් තැන් පුරවමින් අලුත් සැපයුමක් නිර්මාණය කළ යුතු පුද්ගලයා. කලාකරුවා කියන්නේ තුන් වැනි ඇහැක්, ප්‍රතිභාවක් තිබෙන සහ අන් අයට වඩා වක්‍රව හිතන, ඔවුන්ට වඩා උඩින් ඉන්න කෙනෙක්. උඩින් ඉන්නව කියන්නේ කන්දක් උඩ ඉඳන් පහළ බලාගෙන ඉන්නවා වගේ දෙයක්. උදාහරණයක් විධියට ඈතින් පෙරහරක් එනවා නම් කලාකරුවට පුළුවන් කාටත් කලින් පහළ ඉන්න ජනතාවාට ඔන්න දැන් පෙරහර එනවා කියලා දැනුම් දෙන්න. ඔහුගේ වගකීම ඒක.
අවසන් වශයෙන් ඉදිරි කටයුතු ගැන කතා කරමු?
ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ ගොඩක් තියෙනවා. වේදිකා නාට්‍ය සහ විදෙස් සංචාර කිහිපයකුත් තියෙනවා. ඒ දේවල් එක්ක මගේ ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී මගේ වෙනස්ම විධියේ රංගනයන් කිහිපයක්ම දැක බලා ගන්න පුළුවන් වෙයි.
අක්ෂි මාපා වීරසිංහ