දොරකඩ දෙවොලේ නාමලී – උමා අසෙනි

gossiplanka image 2
 


මුහුණු පොතේ නාමලී ගැන හරි අපූරු වදන් පෙළක් ලියැවෙනවා. නාමලී කියන්නෙ අයාලේ යන සැමියෙක් එක්ක දරුවන්ට උගන්වගෙන පවුලක් නඟාසිටුවන්න කැපකිරීම් කරන ගැහැනියක්. නාමලීව මේ දිනවල අපට මුණගැසෙන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වෙන ලලිත් රෝහිත අධ්‍යක්ෂණය කරනු ලබන ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයෙන්. කවුද මේ නාමලී. ඇය අපට සිටින මතු බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්. නමින් උමා අසෙනි. මේ වෙලාවේ අප ඇයත් සමග කතාබහ කළේ නාමලී ගැන ය.


ඔබ රංගනයෙන් දායක වන දොරකඩ දෙවොල ටෙලිනාට්‍යයට මේ දිනවල ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?


ඇත්තටම පුදුමාකාර ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. හරිම සතුටුයි. මම හිතුවේ නැති විදිහට ප්‍රේක්ෂකයො ටෙලිනාට්‍යයේ පළමුවැනි කොටසේ ඉඳලා වැලඳගත්තා. ඉතිං මම හිතනවා ඒ ප්‍රතිචාරය අපිට දිගින් දිගටම ලැබේවි කියලා.



නාමලීගේ පිටපත අතට ලැබෙන කොට මොකද හිතුණේ?


මගේ පෞද්ගලික මතවාද මොනවා වුණත් මම රංගන ශිල්පිනියක් විදිහට බලන්නේ හැම මොහොතකම වෙනස් විදිහේ චරිත රඟපාන්න. එතකොට මේ චරිතය ඇතුළේ මට සෑහෙන දේවල් ටිකක් කරන්න තියෙනවා කියලා තේරුණා. ඒ නිසා තමයි මම ඒ වැඩේට කැමැතිවෙන්නේ. මට ඇත්තටම තරංගා අක්කාගේ දොරකඩ දෙවොල කෘතිය පිළිබඳව අදහසක් තිබුණේ නැහැ. ඇත්තටම මම මේ වෙනකනුත් පොත කියවලා නැහැ. මොකද පොතට වඩා පිටපතේ යම්තාක් දුරකට වෙනස්කම් තියෙන නිසා. අනික ලලිත් අයියා මට නාමලීගේ චරිතය පැහැදිලි කළේ, ලංකාවේ එන සමාජය ඇතුළේ ජීවත්වන සාම්ප්‍රදායික ගැහැනියක් විදිහටයි. ඒ ගැහැනිය තමන්ගේ ජීවිතය දරුවන්ගේ ජීවිතය ගොඩනඟාගන්න ගත්ත වෙහෙස තමයි නිර්මාණය ඇතුළේ තිබුණේ. ඒ වැඩේ ඇතුළේ මට සෑහෙන ප්ලේ එකක් කරන්න තියෙනවා කියලා තේරුණා. ඒ හින්දයි නාමලීට කැමැති වුණේ.



ඇත්තටම නාමලී, පද්මලතාට ගැහැව්වා ද? මේ දවස්වල ඒ දර්ශනය සමාජ මාධ්‍යයේ හරියට වෛරල් වෙනවා?


ගහන එක ගැහැව්වේ ඇත්තටම තමයි. නමුත් ඒක අපේ තාක්ෂණික කාරණා එක්ක කන්ට්‍රොල් එකක් තිබුණා. ඇත්තටම ඔය දර්ශනයෙන් තමයි නාට්‍යය ගැන කතාබහ හැදුණේ. මොකද එක පාරට බ්ලාස්ට් එකකින්නේ පටන් ගත්තේ.


නාමලීගේ චරිතය වෙනුවෙන් දසුන්ගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?


දස්සා සහ දුමී කියන දෙන්නගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම කෝර් ඇක්ටර්ගේ රෙස්පොන්ස් එක මතනේ අපේ ඇක්ට් එක හැදෙන්නේ. මම කියන්නේ දස්සයි දුමියි විතරක් නෙමෙයි මගේ අක්කා, දිනේෂ්, අවන්ති ආන්ටි, අංජලී අක්කා මේ හැම කෙනකුගෙන්ම සෑහෙන ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ සියලුදෙනාම තමන්ගේ චරිතය නිසියාකාරව කරන හින්දා තමයි මට ඇත්තටම මගේ පාර්ට් එක හරියටම කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම තමයි ලලිත් අයියාගේ අධ්‍යක්ෂණය. ඒ වැඩේ ගැන කවුරු කොහොම කොතැනදී කතා කළත් සියලුම දෙනාව මතක් කරන්න ඕනෑ.



නාමලී වෙනුවෙන් මොනවගේ කැපකිරීම් ද කරන්න සිද්ධ වුණේ?


ඒ චරිතය මම වෙලා ජීවත්වෙන එක තමයි මම හිතන්නේ කරන්න තියෙන ලොකුම කැපකිරීම. ආයෙ අමුතුවෙන් කැපකිරීම් කරන්න කියලා දෙයක් නැහැ. මේ චරිතය විතරක් නෙමෙයි, රංගන ශිල්පිනියක් විදිහට තමන්ට ලැබෙන චරිතය තුළ තමන්ව අමතක කරලා ඒ චරිතය තුළ ජීවත්වීම තමයි කරන්න තියෙන ලොකුම කැප කිරීම.


දර්ශන තලයේදී ලද අත්දැකීම් එහෙම කතා කළොත්?


හරිම සුන්දරයි. අපි හරි විවේකීව තමයි වැඩේ කරන්නේ. අපේ මුල් ෂෙඩුල් එකේ සහාය අධ්‍යක්ෂ විදිහට වැඩ කළේ ප්‍රියන්ත ශ්‍රී අයියා සහ දෙවැනි සහාය අධ්‍යක්ෂ චලිඳුව මතක් කරන්න ඕනෑ. ඒ වගේම දැන් අපිට වැඩ කරන්නේ අමිල අයියා සහ සංඛ මල්ලී. ඒගොල්ලො මතනේ අපේ සෙට් එක සම්බන්ධයෙන් තීරණ තියෙන්නේ. අපි හරිම විවේකීව ඉතාම විනෝදයෙන් තමයි මේ වැඩේ කරන්නේ. සමහර වෙලාවට අලි එනවා. අලින්ට බයේ දුවනවා.


අලි ඇවිත් අනතුරුවලට මුහුණ දුන්න අත්දැකීම් එහෙමත් තියෙනවා ද?


අනතුරු වුණේ නැහැ. සාමාන්‍යයෙන් අපි වෙන දර්ශනතලයකදී රාත්‍රී 10 ද 12 ද කියලා නැහැ ෂූට් කරනවානේ. හැබැයි මේ දර්ශන තලයේදී හැමදාම රාත්‍රි 7.30 හෝ 8.30 වෙද්දී ඉවරයි. මොකද එතැනින් එහාට පාරට බහින්න බැහැ අලි එනවා. එවැනි අවස්ථා තියෙනවා. ඒ පැත්තේ තමයි පොතුකබරයා කියන තනි අලියා නිතරම ගැවසෙන්නේ. මම හිටියේ නැති දවසක පොතුකබරයා ඇවිත් තිබුණා. ඒත් හරිම සුන්දරයි.


උමා චරිතයක් තෝරා ගන්නකොට හරි පරිස්සම් වෙනවා. ඇයි එහෙම කරන්නෙ?


මම වැඩ කරන්නේ යම්කිසි ටාගට් එකක් තියාගෙන. ආර්ටිස්ට් කෙනෙක් හැටියට මම වේස්ට් වෙන්න කැමැති නැහැ. ඒ නිසා නිතරම පෙනී ඉන්නවාට වඩා මම හැම තිස්සේම වැඩේ තියෙන ගුණාත්මකභාවය පිළිබඳ සොයා බලන තද තීරණයක ඉන්නවා. ඒ කියන්නේ වැඩක ගුණාත්මකභාවය සහ නිර්මාණාත්මකභාවය තමයි මූලික කරගන්නේ ප්‍රමාණාත්මකභාවයට වඩා. මම කොච්චර ටෙලිනාට්‍ය ගොඩක් කරල තියෙනවට වඩා මම මොනවද කරලා තියෙන්නේ කියන එක ගැන නිතර අවධානය යොමු කරනවා. ඒකට හේතුව මගේ ටාගට් එක. මම ඒකට යන්න නම් මගේ දේවල් මගේ ඇඟ ඇතුළේ ඉතුරු කරගන්න ඕනෑ. වර්ධනය කරගන්න ඕනෑ. ඒක නිකං ස්ක්‍රීන් ටයිම්වලට භාවිතා වෙන්න දෙන්න මම කැමැති නැහැ. අනික ඇත්තටම මට තරුවක් වෙන්න වුවමනාවක් නැහැ.


ඔබ මෙතෙක් තෝරාගත් චරිත අතිශය කතාබහට ලක්වෙනවා වගේම ඒ ගැන හරියට විචාර ලියැවෙනවා. මොකද ඒ ගැන හිතන්නේ?


සතුටුයි. හැමෝම හිතුවේ මගේ පළමු ටෙලිනාට්‍යය මාණික්කාවත කියලා. නමුත් මගේ පළමු ටෙලිනාට්‍යය මාණික්කාවත නෙමෙයි. ඒක මගේ හත්වැනි ටෙලිනාට්‍යය. ක්ෂේත්‍රයට එන කාලේ අපි වැඩ කරන්න එපායැ. වැඩ පෙන්වන කොට අපිට ලැබෙන දේවල් අපි තෝරා ගන්නවා. නමුත් මාණික්කාවතෙන් මම දන්නවා මගේ රංගන පරාසයට යම්තාක් දුරකට වටිනාකමක් ලැබුණා කියලා. ඒ ලැබිච්ච එකත් එක්ක තමයි තීරණය කරන්නේ “හරි දැන් ඕකේ. දැන් මගේ පාත් එක හදාගන්න ඕනෑ කාලය” කියලා. එතැන ඉඳලා තමයි චරිත තෝරා ගන්න පටන් ගත්තේ.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post