ඇය වරෙක යුක්තිය පසිඳලන නීතිඥවරියකි. තවත් වරෙක ප්‍රේක්ෂක හදවත් සොරාගන්නා රංගන ශිල්පිනියකි. ඔය අතරේ ජීවිතය ජයගන්න වගේම ලොව ඉදිරියට යන්න වෙර දරන ව්‍යාපාරික කාන්තාවකි. පුංචි තිරයේ දිගැසි ලෙසින් ඔබේ හදවත් තුළ ලැගුම් ගත් ඇය මේ දිනවල මා ටෙලිනාට්‍ය තුළින් ද දැකගන්නට හැකිවේ. ඔය අතරේ ඇය පුංචි තිරයට රෝස වෙඩිල්ලක් පත්තු කරන්නට ද සැරසෙන්නීය. ඇත්තටම ඇය කවුද? ඇය නමින් සචින්තනී කෞෂල්‍යාය.
මොකක්ද මේ රෝස වෙඩිල්ලේ විස්තරේ?
මම හිතන්නේ කාලෙකට පස්සේ මාව වෙනස්ම විදිහකට පුංචි තිරයෙන් දැකගන්නට හැකිවෙන චරිතයක් තියෙන අලුත්ම ටෙලිනාට්‍යයක් හම්බ වුණා. ඒකේ නම ‘රෝස වෙඩිල්ල’. මෙච්චර කාලයක් මාව දැක්කේ පෙම්වතිය, අම්මා කියන චරිතවලින්නේ. මේක කාන්තා පෞරුෂත්වය කියන එක ගැන පොඩි වෙනස් විදිහක වැඩක්. ආසාවෙන් භාර ගත්තේ.
කොහොමද මේ වැඩේට ආරාධනා ලැබුණේ?
ඇත්තටම මීට කලින් මම අරුණ ජයවර්ධන අයියා එක්ක වැඩ කරලා තිබුණේ නැහැ. මට මේ අවස්ථාව හම්බවෙන්නේ මෙවන් අයියා හරහායි. සුනෙත් මාලිංග අයියාගේ පිටපතකට අනුව චිත්‍රපටයක වැඩ කරලා තියෙනවා. මේකේ අධ්‍යක්ෂණය සුනෙත් මාලිංග අයියාගේ. තිරපිටපත අරුණ අයියාගේ. අශෝක අයියාගේ නිෂ්පාදනයක්. ඇත්තටම මේ නිර්මාණයට මාව සම්බන්ධ කළාට මෙවන් අයියට තමයි ස්තූතිවන්ත වෙන්න ඕනෑ.
රෝස වෙඩිල්ල ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අත්දැකීම් එහෙම කොහොමද?
මේ දවස්වල රූගත කිරීම් ආරම්භ කරලයි තියෙන්නේ. ටිකක් අමාරු වැඩක්. මොකද ගැහැනු ළමයින්ම හයදෙනෙක් ඉන්නවා. හරිම එකමුතුකමින් යන වැඩක්.
කාලෙකට පස්සේ යශෝධා විමලධර්මත් මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙනවා?
මම පළමු වතාවට තමයි යශෝධා අක්කා එක්ක වැඩ කරන්නේ. අපේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්, දක්ෂ කලා ශිල්පිනියක්. ඒක මාර අවස්ථාවක් කියලා හිතනවා. සතුටුයි ඇයත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන.
මේ දවස්වල ෂූටින් එහෙම කොහොමද?
මේ දවස්වල ස්වර්ණවාහිනියේ ‘මා’ ටෙලිනාට්‍යය විකාශනය වෙනවා. පසුගිය දවස්වල කෙටි වැඩ කිහිපයකට සම්බන්ධ වුණා.
කවිතිට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාර ද?
ඒකත් මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ පිටපතක්. ඔහු දිගැසිව ප්‍රේක්ෂකයෝ අතරට අරගෙන ගියා වගේම කවිතිවත් ප්‍රේක්ෂකයෝ අතරට අරගෙන ගිහින් තියෙනවා. ඒ වගේම ඉරේෂ් ලොකු බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්. දුක, සතුට, ආදරය එක්ක දෝලනය වෙන චරිතයක්. දිගැසි හා සමානව කවිතිටත් හොඳ ප්‍රේක්ෂක ආදරයක් හම්බවෙනවා.
තරුණ නිළියක් විදිහට අම්මාගේ චරිතය භාර ගන්න බය හිතුණේ නැතිද?
මම මීට කලින් සංසාරිණී සහ මේන් කැරැක්ටර් කියන ටෙලිනාට්‍ය දෙකේම අම්මා කෙනෙකුගේ චරිතය රඟපාල තිබුණා. දිගටම ඒ චරිතයට කොටු වේවිද කියන බයක් විතරයි තිබුණේ. අම්මා කෙනෙකුගේ චරිතය කියන්නේ මට අත්දැකීමක් නැති භූමිකාවක්.
කොහොමද අධ්‍යාපන වැඩ කටයුතු?
දැන් නම් සියල්ල අවසන්. මගේ උපාධියේ වැඩකටයුතු අවසන් කරලා නීතිඥ වැඩකටයුතු ව්‍යාපාර ආයතනයකට සම්බන්ධවෙලා කරගෙන යනවා.
වෘත්තියෙන් නීතිඥවරියක් වෙන්න අදහසක් නැතිද?
කාලයක් මම වෘත්තීය නීතිඥවරියක් විදිහට වැඩ කළා. දැනටත් මම නීති නිලධාරිනියක් විදිහට ව්‍යාපාරික ආයතනයක සේවය කරනවා. ඒක තවමත් අතහැරිලා නැහැ.
කොහොමද ව්‍යාපාර වැඩ කටයුතු එහෙම?
මගේ ව්‍යාපාර වැඩ කටයුතු කියන්නේ ඇඳුම් තමයි. මම පුංචි කාලෙ ඉඳලා ගෙදර පරිසරයත් එක්ක මට ලැබුණු දේ තමයි ඒ. ඉතිං 2022 වසරේ මගේම කියලා ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් ආරම්භ කළා. තවමත් ඒ වැඩ ටික හරියට කරගෙන යනවා.
‘දිගැසි’ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලුවා කියලා හිතනවාද?
ඇත්තටම ඔව්. මම හිතනවා මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ, ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ ‘දිගැසි’ ගේ චරිතය. ධනුෂ්ක රත්නායක අයියා ඒ වැඩේට මාව තෝරාගත්ත එකට ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මොකද මගේ කලා ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ චරිතයෙන් තමයි මාව ප්‍රේක්ෂකයන් අතරට යන්නේ. ඉතිං මම කොච්චර චරිත කරත් මිනිස්සුන්ගේ මතකයේ දිගැසි විදිහට ඉඳීවි.
සිනමාවට ආරාධනා ලැබුණා නේද?
ඔව්. සුනෙත් මාලිංග අයියාගේ තිර පිටපතකට අනුව රංජන් ප්‍රසන්න අයියාගේ අධ්‍යක්ෂණයෙන් ‘සුපෙම් සුළඟක්’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. මේ වසරේ දී ඒ නිර්මාණය තිරගත වේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
රඟපෑම ඔබේ වෘත්තිය ද?
ඇත්තටම මේ වෙනකොට රඟපෑම වෘත්තියක් වෙලා තියෙන්නේ.
වෘත්තීය රංගන ශිල්පිනියකට ලැබෙන වටිනාකම මොන වගේද?
මම හැම තිස්සේම තරග කරන්නේ මාත් එක්ක. මාව ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට ගෙනියන්න හැම තිස්සේම ට්‍රයි කරනවා. පැවැත්මක් තියෙන්න ඕනෑ නම් හිමින් ගමනක් යන්න ඕනෑ කියලා හැමදාම විශ්වාස කරනවා. ඉක්මන් ගමන් කොටයි කියනවා වගේම මගේ විදිහට හොඳ නිර්මාණවලට දායක වෙලා මගේ උපරිමයෙන් වැඩ කරගෙන යනවා. අපි අපිව දියුණුකර ගත්ත තරමට තමයි වටිනාකම හම්බවෙන්නේ.
මේ තාක් ලැබුණු චරිත ගැන තෘප්තිමත්ද?
මම නාට්‍ය විශාල ප්‍රමාණයක රඟපාලා නැහැ. නමුත් කරපු නිර්මාණ සියල්ලේම මට වෙනස් වෙනස් චරිත හම්බවෙලා තියෙනවා. නමුත් මම ආසයි කෙටි නාට්‍යවල වැඩකරන්න. අපිව නිරන්තරයෙන් දකින්න හම්බවෙන්නේ මෙගා වැඩවලදී තමයි. හැබැයි මෙතෙක් ලැබුණු චරිත ගැන නම් තෘප්තිමත්.
කලා වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය?
ගෙදරින් නම් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා, තාත්තා සහ නංගිගේ සහයෝගය නැතිනම් මට මේ තරම් දුරක් එන්න බැරි වේවි. මොකද හැමදේටම ගෙදරින් ලැබෙන සහයෝගය ඉතාම වටිනවා.
දිනේෂ් විතාන<