සිනමාවත් එක්කයි පොරබදන්නෙ – කලණ ගුණසේකර

gossiplanka image 2
 

කලා එක්ක කතාකරන්න නම් ගොඩක් දේවල් තියෙනව. ඒත් ඔහුත් එක්ක විශේෂයෙන්ම අපිට මේ දවස්වල කතාකරන්න වෙන්නෙ ධර්ම යුද්ධය 2 ගැන. වැල්වටාරම් නැතිව අපි කෙලින්ම කලාගෙන් එහෙමත් නැත්නම් කලණ ගුණසේකරගෙන් මෙහෙම ඇහුවා.


කළණ, ධර්ම යුද්ධය හවුස් ෆුල්. නිර්මාණයේ කොටස්කරුවෙක් හැටියට මොකද හිතෙන්නෙ ඔබට?


නිකිණි වැස්ස චිත්‍රපටයේ පටන්ම මම අරුණ අයියත් එක්ක වැඩක් කරන්න බොහොම ආසාවෙන් හිටියෙ. අවුරුදු ගණනකට පස්සෙ මට ඒ අවස්ථාව ලැබෙන්නෙ ධර්ම යුද්ධය චිත්‍රපටයෙන්. මේක දුවන ගණයේ ෆිල්ම් එකක්. ඒ වගේම චිත්‍රපට සඳහා මේ දවස්වල ලංකාවේ හොඳ රැල්ලක් තියෙනව. ඒ අතරතුර තමයි ධර්ම යුද්ධය එළියට එන්නෙ. ඒ වගේම බිමල් ජයකොඩි ඇතුළු අනෙක් සියලු දෙනාගෙම රංගනය ඉතාමත් විශිෂ්ට මට්ටමක තියෙනව. තාත්තා කෙනෙක් කොහොමද තමන්ගෙ දුවගෙ ප්‍රශ්නෙකදි මුහුණ දෙන්නෙ කියන දේත් එක්ක පවුලේ කතාවක් නිසා මේ දවස්වල දුවනව හෝ ගාගෙන.



චරිතය ගැන කතා කළොත්?


ඉන්දියාවේ හදපු ධර්ම යුද්ධය 2 චිත්‍රපටය මම බැලුවෙ නැහැ. මොකද එහෙම වුණොත් එහි මගේ චරිතය රඟපෑ රංගන ශිල්පියාගේ දේවල් මට පෑගෙන නිසා. පිටපතත් එකවරක් කියවල අතහැරිය. හේතුව තමයි ඒ චරිතෙට මහ ගොඩක් වැඩ කළොත් මාට්ටු වෙනව. මේක මම ලොකු බරක් ගන්නෙ නැතිව රඟපාපු චරිතයක්.


මාධ්‍ය දර්ශනයේදී ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා?


ඇත්තටම ඔව්, මාධ්‍ය දර්ශනයේදී ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මංගල දර්ශනය දවසෙ මට වැඩි කාලයක් ඉන්න ලැබුණෙ නැහැ, මොකද තවත් වැඩක් යෙදිල තිබුණ නිසා ඒකට සහභාගි වෙන්න සිදු වුණා.


මෑතකාලීනව සිදුවූ සිනමාවේ පිබිදීම ගැන රංගන ශිල්පියෙක් හැටියට ඔබේ අදහස මොන වගේද?


මේ තත්ත්වය ඉතාමත් හොඳයි. නමුත් මේ වෙනස ඩෝං ගාලා එකපාරට වුණ දෙයක් නෙමෙයි. තරුණ පරම්පරාවේ අය කරපු ෆිල්ම්ස් ගොඩක් හිරවෙලා තිබුණෙ. මේවා ගිය අවුරුද්දෙ ඉඳන් තමයි ටිකින් ටික රිලීස් වෙන්න ගත්තෙ. ඊට පස්සෙ තමයි මේ ක්‍ෂේත්‍රය කැරකෙන්න, ඇඹරෙන්න පටන්ගත්තෙ. නැත්නම් ඇත්තටම සිනමා ප්‍රබෝධයක් කියල දෙයක් ලොකුවට තිබුණෙ නැහැ. මේක අපි 70-දි 80දි කතා කළ ස්වර්ණමය යුගය නෙමෙයි. නමුත් මේ ජෙනරේෂන් එක මේක අතට ගත්තට පස්සෙ හරි ලස්සනට මේ වැඩේ යනව. මෙහිදී වෙන්නෙ වාණිජමය හැම චිත්‍රපටයක්ම හොඳ නම් දුවනව. මම හිතනව තව අවුරුදු පහක්වත් මේ විදිහට කැරකෙයි කියල.



මොනවද තිරගත වෙන්න තියෙන චිත්‍රපට?


ප්‍රධාන චරිත කළ චිත්‍රපට පහක් හයක් වගේම ඔක්කොම චිත්‍රපට දහයක් විතර එන්න තියෙනව.


මේ දවස්වල ‘දාස මල්ලිගෙ බංගලාව’ සමග රටවටා යන්න සූදානම්?


මේක මීට අවුරුදු විස්සකට කලින් මමයි රුවන් මල්ලියි කරපු ටෙලි නාට්‍යයක්. මෙහි එන සිංදුවත් ප්‍රසිද්ධයි, ඩ්‍රාමා සිලබස් එකෙත් තියෙනව. ඒ නිසා අපි හිතුව නැවත මේකෙ ප්‍රඩක්ෂන් එක කරන්න ඕන කියල. ඒ සඳහා එදා හිටපු අය වගේම අලුත් අයත් සම්බන්ධ කරගත්තා. අවුරුදු විස්සකට පස්සෙ පසුගිය දවසක අපි මේ නාට්‍යය වේදිකාගත කළා. දැන් ඒක දුවන්න පුළුවන් මට්ටමක තියෙනව.


බිමල් සහ ඔබේ සම්බන්ධතාව මොන වගේද?


මම බිමල් එක්ක මුලින්ම වැඩ කළේ ‘හුස්ම සහ ඔක්සිජන්’ කියන නාට්‍යයේ. ඒ මීට අවුරුදු දහයකට පහළොවකට කලින්. බිමල් කියන්නෙ අති දක්‍ෂ නළුවෙක්. සරලම උදාහරණය තමයි ජැක්සන් ඇන්තනී මහත්මයා නැති වුණාට පස්සෙ ඒ චරිතය කරන්න බිමල් ගැළපෙනව කියල හිතනකොටම ඔහුට ඒ වටිනාකම ලැබිල ඉවරයි. ඉතාමත් සියුම් විදිහට කැරැක්ටර් එකට යන විදිහ, ඒක කොහොමද තමන්ගෙ බොඩි එක ඇතුළෙන් දෙන්නෙ කියන දේ ගැන ඉතා හොඳ අවබෝධයක් තියෙන සුපිරි දක්‍ෂ නළුවෙක්. නැත්නම් ජැක්සන්ට පස්සෙ එතැනට එයිද.


මොනවද මේ දවස්වල වැඩකටයුතු?


අපේ නාට්‍යයත් එක්ක හිර වුණ නිසා මේ දවස්වල ලොකු වැඩක් භාරගත්තෙ නැහැ. දැනට චිත්‍රපට දෙකක් ඇවිත් තියෙනව, ටෙලි නාට්‍යයක් කතාකරමින් ඉන්නව සහ මම කරපු කොටස් දොළහක ටෙලි නාට්‍යයක් තියෙනව ඒකෙ මියුසික් කරනව. ඊට පස්සෙ ඉතින් චැනල් එකක් එක්ක සටනක යෙදිල ඒක විකුණගන්න ඕන.


කලා තුළ ඉන්න නළුවාට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මොන විදිහටද දැනෙන්නෙ?


ඇත්තටම එළියෙදි ලැබෙන ප්‍රතිචාර එක්කනෙ අපි සතුටින් ජීවත් වෙන්නෙ. ගොඩක් අය මුණගැහිල සෙල්ෆියක් ගහමු කියල, රඟපානකොට ලස්සනයි කිව්වාම අපිට පොඩි ධෛර්යයක් එනව. ඒ ධෛර්යයත් එක්ක තමයි අපි යැපෙන්නෙ, තව නිර්මාණයක් කරන්න ඝට ගන්නෙ සහ හොඳ නැති වැඩකට නොයන්නෙ.


මේ ක්‍ෂේත්‍රය තෝරා නොගත්තා නම්?


මේ ක්‍ෂේත්‍රය තෝරා නොගත්තානම් මම මේ වෙනකොට ප්ලේටෝ කියන ග්‍රහයාගේ මොනවා හරි විද්‍යාගාරයක් හදමින් ඉඳීවි.


කලා නළුවෙක්ද?


මම නළුවෙක් කියල දන්නව. ලියන වැඩත් කරනව. නමුත් තාමත් මම නළුවෙක් කියන දේ මගෙ ඔළුවෙ කැරකෙන්නෙ නැහැ. එන එන වැඩ කරගෙන ආපු ගමනක් මේ තියෙන්නෙ.


ඔබ තුළ සිටින පිටපත් රචකයා ගැන කතා කළොත්?


මම කවි පොතක්, නවකතාවක් වගේම අයිස් ක්‍රීම්, සූස්ති, මංකි මෑන් සහ ඉක්කා යන ෆිල්ම්ස් වල පිටපත් ලියල තියෙනව. සමහර ෆිල්ම් පිටපත් හවුල් වෙලා ලිව්වෙ.


පිටපත් තෝරාබේරා ගන්නවද?


එහෙම නැහැ. පිටපත කියවල මට දැනුණොත් කරනව සහ මට සල්ලි නැති වුණොත් ඒත් කරනව. බොරු කියන්න ඕන නැහැනෙ. ඇත්ත කතාව ඒක. නැත්තං ජීවත් වෙන්න බැහැනෙ. ඒ වගේම අපේ යාළුවෙක් කරනව නම් ඕන එකක් භාර ගන්නව.


මොනවද ඉදිරි සැලසුම්?


මගේ සැලසුම තියෙන්නෙ ගොඩක්ම සිනමාවත් එක්ක වැඩ කරන්න. ඒකට අපේ කණ්ඩායමක් ඉන්නව. සිමාවත් එක්ක තමයි අපිට පොරබදන්න, බුදියගන්න වෙන්නෙ.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post