ඇය ලංකාවේ නොසිටියත් ඇගේ රංගනය ගැන මේ දිනවල හරි හරියට කතාබහ වෙනවා. ඒ වගේම රටපුරා සිනමාහල් රැසක් හවුස්ෆුල් වෙනවා. මවගේ අඩි පාරේ යමින් රංගනයට පිවිසි ඇය දක්‍ෂ රංගන ශිල්පිනියක්. නමින් තිසුරි යුවනිකා වන ඇය ගැන මේ දිනවල සිනමා රසිකයෝ හරි හරියට කතාබහ වෙන්නේ ‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටයේ හරිස්චන්ද්‍රගේ ලොකු දුවගේ චරිතය සම්බන්ධයෙනි. තිසුරි විදෙස් ගත වෙලා හිටියත් හරිස්චන්ද්‍රගේ ලොකු දුව ගැන අන්තර්ජාලය හරහා “මීවිත” පාඨකයන්ට කියන්න මැළි වුණේ නැහැ.
ඔබ රංගනයෙන් දායක වන ‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළා. මොකද හිතෙන්නේ?
‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කිරීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් ආදරයෙන් බලාගෙන ඉන්නවා ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද කියලා. ‘ධර්ම යුද්ධය 1’ වගේම දෙකත් ප්‍රේක්‍ෂකයන් ආදරයෙන් වැලඳ ගනීවි කියලා හිතනවා.
චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වෙන්න නොලැබීම ගැන දුකයිද?
මංගල දර්ශනයට සහභාගි වෙන්න නොලැබීම ගැන පොඩි දුකක් තියෙනවා. හැබැයි ඊට වඩා මට සතුටක් තියෙනවා ‘ධර්ම යුද්ධය 2’ සිනමා කෘතියට මට රඟපෑමට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මම විදෙස්ගත වෙලා හිටියත් ආපසු ඇවිල්ලා තමයි ඒ වැඩ කටයුතු සිදුකළේ.
මෙවර හරිස්චන්ද්‍රගේ චරිතය රඟපාන්නේ බිමල් ජයකොඩි. ඔහුගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක්ද?
බිමල් අයියත් එක්ක වැඩකරන පළමුවැනි අවස්ථාව නෙමෙයි මේ. බිමල් අයියා කියන්නේ දක්‍ෂ රංගන ශිල්පියෙක්. ඔහුත් එක්ක මීට කලිනුත් වැඩ කරලා තියෙනවා. වෙන නිර්මාණ වලදී මගේ පෙම්වතා, සැමියා විදිහට තමයි වැඩ කරලා තියෙන්නේ. මෙවර ඒ අත්දැකීම වෙනස් වුණා. මෙවර මගේ අප්පච්චි විදිහට තමයි වැඩ කළේ. ඒක වෙනස් අත්දැකීමක්. බිමල් අයියා විතරක් නෙමෙයි දිල්හානි අක්කා, මිනුමි නංගිගෙන් වගේම අනෙකුත් ශිල්පීන් සියලු දෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. මම හැමදාම කියන දෙයක් තමයි නිර්මාණයක් කියන්නේ ටීම් වර්ක් එකක්. එතකොට ඒ සහයෝගය ඒ බැඳීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද තනියම රඟපාන්න බැහැ. මේ වෙලාවේ ජැක්සන් මාමාවත් ආදරයෙන් මතක් කරනවා.
අවුරුදු නවයකට පසුව ආපහු ‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටයේ රඟපාන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
ධර්ම යුද්ධය 1 නිර්මාණයට ආරාධනා කරන කොටත් මම ගොඩක් ආසාවෙන් තමයි ඒ නිර්මාණය භාරගත්තේ. මොකද මම ඒ ප්ලොට් එකට ගොඩක් ආස කළා. ප්‍රතිනිර්මාණයක් තමයි, හැබැයි ගොඩක් ලස්සනයි. ධර්ම යුද්ධය කියන්නේ පැනල භාරගත්තු නිර්මාණයක් කිව්වොත් හරි. ‘ධර්ම යුද්ධය 2’ ආපහු කරනවා කිව්වහම ගොඩක් ආස වුණා. මොකද මම ආපහු රංගන කටයුතු කරන්නේ අවුරුදු පහකින්. 2020 වසරේ ඉඳලා මම වැඩ කරලා නැහැ. ඒ අතරතුර මම විදෙස්ගත වුණා. අවුරුදු පහකින් ධර්ම යුද්ධය හරහා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මගේ රංගනය දැකබලා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒකත් මට සුවිශේෂියි.
රූගත කිරීම්වලට ලංකාවට ආවද?
ඔව්. මම රූගත කිරීම්වලට ලංකාවට ආවා. අපේ කණ්ඩායම මම මේ වෙලාවේ ගොඩක් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. මොකද මම, මට පුළුවන් දින ටික සඳහන් කළා. ඒ අනුව ඔවුන් දින හදාගෙන වැඩේ සිදුකළා. රූගත කිරීම් වගේම හඬ කැවීම් පවා අවසන් වුණහම තමයි නැවත විදෙස්ගත වුණේ. මම කාලෙකට පස්සේ ඇවිදින් කාලෙකින් රඟපෑවා. ඒ කාලේ හරි සුන්දරයි. කාලෙකින් රඟපෑ හින්දා අලුත් අත්දැකීමක් වුණා. මම රඟපෑමට හරි ආදරෙයි. ඒක එපාවෙලා නවත්වපු එකක් නෙමෙයි. මොකද මගේ පෞද්ගලික දේවල් හින්දා පොඩි කොමාවක් දාලා තියෙන්නේ. මම ගොඩක් ආසාවෙන් ලංකාවට ඇවිත් රඟපාලා ගිය නිර්මාණයක්.
දැන් ආපහු රඟපාන්නේ නැතිද?
මගේ පෞද්ගලික වැඩ කිහිපයක් හින්ද පොඩ්ඩක් රඟපෑමෙන් ඉවත් වෙලා ඉන්නවා. මොකද ඒවාට දිය යුතු කාලය ලබාදෙන්න ඕනෑ නැතිනම් ආපහු මට ඒ කාලය ලබාගන්න බැහැ. මොකද මම හැමවෙලාවෙම හිතනවා හරි දේ හරි කාලේදී කරන්න ඕනෑ කියලා. මම පුංචි කාලේ ඉඳලා රඟපෑවා. සාමාන්‍ය පෙළ අවසන් වුණත් හරි මගේ වෘත්තීය වුණේ රංගනය. 2020 අම්මා අසනීප වෙනකන් වගේම මම එක දිගටම රංගනයට දායක වෙච්ච කෙනෙක්. ඊට පසුව පෞද්ගලික හේතු නිසයි මම රංගනයට විරාමයක් තිබ්බේ. මොකද මට ඒ ගැන කිසිම පසුතැවීමක් නැහැ. ආපසු හැරී බැලුවොත් මට පුළුවන් විදියට ලස්සන නිර්මාණ කිහිපයක්ම කරලා තියෙනවා. ඒවා ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන චරිත. ඒ තමයි මම මගේ රංගන ජීවිතයේ එකතු කර ගත්තු වස්තූන්. රඟපාන්නේ නැත්තේ නැහැ. මොකද රංගනය කියන්නේ මගේ ඇඟේ තියෙන දෙයක්. මගේ අම්මාගෙන් ලැබුණු දෙයක්, මම ආදරය කරන දෙයක්. මම කලින් වගේ වැඩ කරන එකක් නැහැ. මම ආස කරන නිර්මාණයකට ආරාධනා ලැබුණොත් විදෙස්ගත වෙලා හිටියත් මම ලංකාවට ඇවිදින් දායකවෙලා යයි. හැබැයි හොඳ නිර්මාණයකට දායක වෙයි.
රඟපෑමට අලුත් ආරාධනා ලැබෙනවාද?
මට ඇත්තටම රඟපෑමට ආරාධනා ලැබෙනවා. මේ කාලයේදීත් ආරාධනා කිහිපයක්ම ලැබුණා. ධර්ම යුද්ධය 2 ප්‍රචාරණ කටයුතු යන කොට සමහරු හිතනවා මම ලංකාවේ ඉන්නේ කියලා. ඉතිං ඒවත් එක්ක මට ආරාධනා කළා. හැබැයි මගේ පෞද්ගලික හේතු හින්දා සුහදව ඒවා ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. එම ආරාධනා ලැබීම ගැනත් මට ගොඩක් සතුටුයි. මොකද නිර්මාණයක් කරද්දී මාව මතක් වෙනවා කියන්නෙම රංගන ශිල්පිනියක් විදිහට මට ගොඩක් ලොකු සතුටක්. මට ඒක කරගන්න බැරි වුණේ මගේ පෞද්ගලික හේතු නිසයි.
‘ධර්ම යුද්ධය 2’ චිත්‍රපටය බලන්න අදහසක් නැතිද?
ඇත්තටම මටත් චිත්‍රපටය බලන්න වෙන්නේ අපි ඉන්න ප්‍රදේශයට චිත්‍රපටය ආවම තමයි. ඒ ආවහම හරි, මම ලංකාවට ආවහම හරි බලනවා. චිත්‍රපටය බලපු මගේ ආදරණීයයන් මේ දවස්වල මට මැසේජ් දානවා.
ලංකාවෙන් ගියේ කොයි කාලෙද?
මම ලංකාවෙන් ගියේ 2022 අන්තිම. අපි ඇත්තටම ඊට කලින් තමයි යන්න හිටියේ. අම්මාගේ අසනීප තත්ත්වයත් එක්ක ඒක කල්දාලා 2022 අන්තිම තමයි ගියේ.
ආපහු ලංකාවට එන්න අදහසක් නැතිද?
ලංකාවට අනිවාර්යයෙන්ම එනවා. අපි දිගටම විදෙස්ගත වෙලා ඉන්න නෙමෙයි ආවේ. මගේ සැමියාගේ වැඩ කටයුතු කිහිපයකට තමයි අපි විදෙස්ගත වෙලා ඉන්නේ. ඒ ටික අවසන් වුණ ගමන් අපි දෙන්නා නැවතත් ලංකාවේ පදිංචියට එන්න තමයි කැමැත්ත තියෙන්නේ. තාත්තත් තනියම ඉන්නේ. අපි දෙන්නාගේ කැමැත්ත තියෙන්නෙත් ලංකාවට තමයි. අපේ මේ වැඩ ටික අවසන් වුණු ගමන් දෙයියනේ කියලා ලංකාවට එන්න තමයි බලාපොරොත්තුව.
සැමියා සමග ගෙවන ජීවිතය ගැන කතා කළොත්?
අපි දෙන්නා විවාහ වෙලා දැන් අවුරුදු හතක් වෙනවා. ඔහුත් සමගින් හරිම සුන්දර ජීවිතයක් ගත කරනවා. මොකද මගේ අම්මටයි තාත්තටයි පස්සේ හැමදාමත් මගේ හෙවණැල්ල වෙච්ච කෙනා ඔහුයි. මොකද මාව වැටෙන හැම තැනකදීම මට හයියක් වුණේ ඔහුයි. මොකද පසුගිය කාලයේදී මට නොයෙකුත් ප්‍රශ්න, අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ හැම තැනකදීම මට හයියක් වුණේ මගේ සැමියා. පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය පැත්තෙන් ගත්තොත් ඔහුගෙන් ලැබෙන සහයෝගය එමටයි. ගොඩක් සතුටින් හරිම සරලව ජීවත් වෙනවා.
තාත්තා චිත්‍රපටය නැරඹුවේ නැතිද?
තාත්තා චිත්‍රපටය බැලුවා. ඇත්තටම තාත්තා තමයි මම වෙනුවෙන් ලංකාවේ මේ දවස්වල වෙන හැමදේකටම සහභාගි වෙන්නේ. උළෙලකදී වුණත් ලැබුණු සම්මානය ඔහුගේ අතින් තමයි ගත්තේ. චිත්‍රපටයටත් මම වෙනුවෙන් ගියේ මගේ තාත්තා. ඒක මට චිත්‍රපටය බලනවාටත් වඩා සතුටුයි. මා වෙනුවෙන් එතැනට ගිහිල්ලා ඒ දේවල් කරන එකට. මම නොබැලුවත් එයා නොබලා ඉන්නේ නැහැ.
මවගේ වියෝව ඔබට කොහොමද දැනෙන්නේ?
සරලව ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා නම් මට මගේ තිබ්බ හැමදෙයක්ම නැති වුණා කියන එකයි. මොකද මගේ අම්මා තමයි මගේ හැමදේම වුණේ. තාත්තා ඉන්නවා ඒ හා සමානව. හැබැයි මම ලෝකය දිහා බැලුවේ මගේ අම්මාගේ ඇස් දෙකෙන්. මගේ ජීවිතයේ හැමදෙයකටම යෝධ හෙවණැල්ලක් වගේ හිටියේ මගේ අම්මා. ඉතිං ඒ හැමදෙයක්ම මට නැති වුණා කියලා තමයි මට කියන්න තියෙන්නේ. අදටත් ඒ අඩුව මට දරුණුවටම දැනෙනවා. මම ජීවත්වෙලා ඉන්න කම් කවදාවත් ඒ අඩුව නැති වෙන්නේ නැහැ. මම හිත හදාගත්තේ එයා තව ජිවත්වුණා නම් තව දුක් විඳීවි කියන එකෙන් විතරයි. අදටත් මගේ හිත හදාගන්න අමාරු දෙයක් තමයි මගේ අම්මාගේ වියෝව.
ලංකාව දාලා ගිය එක ගැන දුකයිද?
අනිවාර්යයෙන්ම. මමයි මගේ සැමියයි ලංකාවේ ඉන්න කැමැති අය. මට වඩා ඇත්තටම මගේ සැමියා. මම කලින් සඳහන් කළා වගේ අපි විදෙස්ගත වුණේ පෞද්ගලික හේතු කිහිපයකට. ඒක හින්දා අපි හිතහදා ගන්නවා මෙහෙ නවතින්න ආවේ නැහැ කියලා. ඇත්තටම ලංකාවේ පරිසරයට, ලංකාවේ ජීවිතයට තමයි අපි පුරුදුවෙලා තියෙන්නේ. ලංකාවෙන් ගිය එක දුකක්. හැබැයි ආපහු ලංකාවට එනවා කියන එක මතක් කරගෙන මම හිතහදාගෙන ඉන්නවා.
දිනේෂ් විතාන