මහාචාර්ය කවීන්ද්‍ර සේනානායකගේ චරිතය අභියෝගාත්මකයි -ශ්‍යාම් ප්‍රනාන්දු

gossiplanka image 2


වේදිකාව, සිනමාව හා රූපවාහිනී මාධ්‍ය තුළ කෙටි කලකදී සිය රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂක සිත් සතන් තුළ මතක සටහන් තැබූ ඔහු දෙස් විදෙස් සම්මානයට පාත්‍රවූ රංගන ශිල්පියෙකි. ‘ඔබ නැතුව ඔබ එක්ක’, ‘ප්‍රේමය නම්’, ‘සක්කාරං’, ‘රතු සමනළ හීනයක්’, ‘ප්‍රාණ’, ‘ඇවිළෙන සුළුයි’, ‘ගාඩි’, ‘පැරඩයිස්’, ‘දුෂ්රා’ වැනි චිත්‍රපටවල විවිධ චරිත නිරූපණය කළේය. ඔහු රංගනයෙන් දායක වූ ‘මලකි දුවේ නුඹ’ සහ ‘ෆාදර්’ චිත්‍රපට මේ දිනවල තිරගත වෙයි. මේ කතාබහ ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍යාම් ප්‍රනාන්දු සමඟිනි.


ඔබ නැතුව ඔබ එක්ක’ ‘සරත්සිරි’ තවමත් මතක් වෙනවද?


ඔව්, ‘සරත්සිරි’ අමතක කරන්න බැහැ. ඒක අත්දැකීමක් හැටියට විශේෂයි. ප්‍රේක්ෂකාගාරය චිත්‍රපට ලෝකය මාව හඳුනාගත්තේ “ඔබ නැතුව ඔබ එක්ක” තුළිනුයි. සම්මානවලිනුත් මාව ඇගයීමට ලක්වුණා. මගෙ දක්ෂතා දියුණු කරගෙන ඉදිරියට එන්න අවස්ථාව උදාවුණා. ප්‍රසන්න විතානගේ ගේ අධ්‍යක්ෂණය තුළින් ‘සරත්සිරිගෙ’ චරිතය සාර්ථකව නිරූපණය කරන්න මට විශාල සහයෝගයක් ලැබුණා. රූපගත කිරීම් සියල්ල අවසන් වෙලා හඬමින් නි‍ෙවසට ගියා. සරත්සිරි අතින් ‘සෙල්විට’ නි‍ෂේධනාත්මක දේවල් අහිතකර දේවල් සිද්ධ වුණා. ඉතින් රංගන ශිල්පියෙක් විදිහට මම ඒ චරිතයෙන් ඉවතට ගියාට පසුව ඇතිවුණු හැඟීමට අනුව එහෙම සිදුවුණා. චිත්‍රපටයකින් පස්සේ එහෙම ගනුදෙනුවක් ඉතුරු වෙන්නේ කලාතුරකින්. අනිත් අයව අවතක්සේරු කරනවා නෙවෙයි, ප්‍රසන්න විතානගේ මට හමුවුණු මම කැමති අධ්‍යක්ෂවරයෙක්.


කල්පන සහ වින්දන ආරියවංශ සොහොයුරන් සමඟත් ඔබේ රංගන කාර්යය නැවතත් සිදුවෙනවා මේ දිනවල තිරගත වෙන ‘මලකි දුවේ නුඹ සමඟින්?


ඔවුන් මට හමුවන්නේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ කරන කාලයේදීමයි. වින්දන එහි රේඛීය නිෂ්පාදකවරයෙක් හැටියට කටයුතු කළා. එහිදී ඇතිවුණු කතාබහකට අනුව ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. සිනමා කර්මාන්තය තුළ සිටින මහත්මා ගුණ තියෙන මහත්වරු දෙන්නෙක්. ඔවුන් අපිව ආරක්ෂා කරගෙන පරිස්සමට වැඩ කරන විදිහත් මට හරිම වැදගත්.


මලකි දුවේ නුඹ’ චිත්‍රපටයෙ ඔබට ලැබී තිබෙන චරිතය ගැන සඳහන් කළොත්?


කවීන්ද්‍ර සේනානායක කියන මහාචාර්යවරයාගේ චරිතය මම නිරූපණය කරන්නේ. ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, රජයේ උපදේශකවරයෙක් වගේම ගත් කතුවරයෙක්. එවැනි චරිතයක් මම මීට කලින් නිරූපණය කරලා නැහැ. ඒක හැම අතින්ම වෙනස් චරිතයක්. එවැනි අධ්‍යාපන පසුබිමක්, සමාජ ඇසුරක් හා නිර්මාණශීලී හැකියාවක් තියෙන පුද්ගලයෙක් සාමාන්‍ය ජීවිතය තුළ ජීවත්වෙන්නේ කොහොමද? විශ්වවිද්‍යාල ජීවිතය තුළ හැසිරෙන්නේ කොහොමද? කියන කාරණය හා ඔහුට හුරු නැති අත්දැකීමක් වන දරුවෙක් සමඟ ගත කරන්නේ කොහොමද? කියන කාරණය නිරූපණය වෙනවා. ඔහු සමාජය තුළ විවාදාත්මක චරිතයක් බවට පත්වෙනවා, දරුවෙක් සිටින මවක් තම ජීවන සහකාරිය හැටියට තෝරා ගැනීම නිසා. මේ චරිතය සුපහන් විදිහට ගොඩනඟාගන්න කල්පන සහ වින්දන ආරියවංශ මට සහයෝගය දුන්නා.


මෙය මාලිනී ෆොන්සේකාගේ අවසන් රංගනය ඇතුළත් චිත්‍රපටය?


ඇය මගේ ප්‍රියතම රංගන ශිල්පිනියයි. රසිකයෙක් හැටියට මම ඇයට විශාල කැමැත්තක් දැක්වූවා. ඇගේ රංග භාවිතාව සිනමාවට ඉතාමත් ගැළපෙනවා. රසිකයින්ට ඉතාම විශ්වසනීය විදිහට කැමරාවක් ඉදිරියේ රඟපානවා කියලා නොදැනෙන ආකාරයට ඇය චරිත තුළ හිටියා. ඇය සරල වාණිජ චිත්‍රපටවලත් සියුම් රංගනයන් සහිත චිත්‍රපටවලත් එකසේ දස්කම් දැක්වූ ආකාරය හරිම විශිෂ්ටයි. ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටය තුළ මට ඇය සමඟ එකම දර්ශනයකවත් රඟපාන්න ලැබුණෙ නැහැ. කොහොම වුණත් නාමාවලිය ඇතුළේ ඇගේ නම සමඟ මගෙ නම දකින්න ලැබෙන එක මට විශාල ගෞරවයක් වෙනවා.


විනිශ්චය අවිනිශ්චිත වූ ‘ෆාදර්’ චිත්‍රපටයේ මයිකල් මන්ත්‍රීතුමා වුණු ඔබ?


චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ චිත්‍රපටයේ මම රඟපාන්නේ මයිකල් නම් මන්ත්‍රීවරයෙකුගේ චරිතයක්. එකිනෙකට වෙනස්ම චරිත නිරූපණයක් තියෙන චිත්‍රපට දෙකකින් මේ දිනවල මම රසිකයන් අතරට එන්නේ. මයිකල් කියන්නේ පහළ මට්ටමේ මිනිස්සු ඇසුරු කරන ඔවුන් සමඟ නිතර ගැවසෙන දේශපාලන චරිතයක්. අපි පහුකළ අඳුරු දේශපාලන යුගයක තිබුණු අඳුරුතම දේශපාලන චරිතයක් මයිකල් කියන්නේ.


ඔබට අධ්‍යක්ෂවරයෙක් හැටියටත් කටයුතු කරන්න ලැබුණා?


හැම මනුෂ්‍යයෙකුගෙම ජීවිතයේ තල කීපයක් තියෙනවා. වැඩ කරන විදිහ, ආකල්ප ආදිය සම්බන්ධයෙන්. මම කරන්න බලාපොරොත්තුවෙන් සිටි දෙයක් අධ්‍යක්ෂණය කියන්නේ. ජීවිතයේ ඉදිරි කාලය අධ්‍යක්ෂවරයෙක් විදිහට එන්න ඕනැ කියන අදහස තිබුණා. එහිදී “මගේ පංතියෙ ළමයෙක්” චිත්‍රපටය කරන්න මගෙ වෘත්තීය සගයින් හුඟ දෙනෙක් උදව් කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන මොහාන් රාජ් මඩවලත් මට සහයෝගය දුන්නා. චිත්‍රපටයේ තේමාව මගෙ පෞද්ගලික අත්දැකීමක්. ලංකාවේ අධ්‍යාපනය වෙනස් විය යුතුයි. පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීම පිළිබඳව ප්‍රායෝගිකව සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් මම වේදනාවට පත්වුණු කෙනෙක්. අවුරුදු විස්සක් ගුරු වෘත්තියේ සිටිද්දි ලැබුණු අත්දැකීම් හා පියෙක් හැටියට මට ලැබුණු අත්දැකීම් තමයි චිත්‍රපටය කරන්න පෙළඹවූයේ. එය ජාත්‍යන්තර චිත්‍රපට උලෙළවල් කිහිපයක්ම නියෝජනය කළා.


ඉදිරි කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද?


ජාත්‍යන්තර සම්මාන විශාල ප්‍රමාණයක් ලැබුණු ලලිත් රත්නායකගේ ‘රිවස්ටන්’ චිත්‍රපටය සහ ඔහුගෙම ‘බොම්බයි මොටයි’ මේ වසරේ තිරගත වීමට නියමිතයි. වෛද්‍ය කපිල සූරිය ආරච්චිගේ ‘අග්නිත’ හා මේඝ සූරියආරච්චිගේ ‘මැරීන් ඩ්‍රයිව්’ තිරගත වීමට නියමිතයි. වජිර ලෙව්කේ බණ්ඩාරගේ ‘අන්තරාවි’ ගැනත් සඳහන් කළ යුතුයි.

gossiplanka image 1
Previous Post Next Post