කාලිදාසයන්ගේ නිර්මාණයට අපි අපේ ශෛලිය එක් කළා - කෞශාල් රණසිංහ

gossiplanka image 2
 


මහා කවි කාලිදාසයන්ගේ ‘ශාකුන්තලය’ කාව්‍ය සංග්‍රහය ඇසුරින් නිර්මිත ‘ශාකුන්තලා’ නර්තනමය නාට්‍යය (Dancing Drama) පසුගියදා පැරීසියේදී ප්‍රදර්ශනය කෙරිණි. එහි දුෂ්‍යන්තගේ චරිතයට ජීවය දුන් කෞශාල් රණසිංහ නර්තන, රංගන ශිල්පියකු මෙන්ම නීතිවේදියකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙසද ප්‍රකටය. මේ වන විට ප්‍රංශයේ ජීවත්වන ඔහු සිය නිර්මාණාත්මක දිවිය ගැන කතා කිරීමට අප හා එක්වීය.


පසුගියදා ප්‍රංශයේ පැවති ‘ශාකුන්තලා’ නර්තනමය නාට්‍යය ගැන කෞශාල් මෙසේ හඳුන්වා දුන්නේය.


‘ශාකුන්තලය’ කියන්නේ ඉන්දියාවේ සුප්‍රකට කාව්‍ය ශිල්පී කාලිදාසයන් රචනා කළ කාව්‍ය සංග්‍රහයක්. ඉන් පසුව තමයි මහාභාරතය වැනි දැවැන්ත නිර්මාණ රැසකටම ඉඩහසර ලැබෙන්නේ. නර්තනමය නාට්‍යයක් ලෙස මෙහි ප්‍රතිනිර්මාණයක් ප්‍රංශයේ පැරිස්හිදී ප්‍රදර්ශනය වෙනවා. මීට පෙර මෙය ප්‍රංශ ජාතිකයන්ගේ සහභාගිත්වයෙන් බැලේ නිර්මාණයක් ලෙසත් ප්‍රතිනිර්මාණය වුණා. ශකුන්තලා නාට්‍යයට එවැනි ඉතිහාසයක් තියෙනවා. ලංකාවේ සාහිත්‍යය ඉගෙනගනිද්දිත් ශකුන්තලා නාට්‍යය විශේෂයි. 2024 වසරේ ප්‍රංශයේ Camille Claudel කෞතුකාගාරය මඟින් මෙය ප්‍රතිනිර්මාණය කළා. එය ප්‍රංශ ජනමාධ්‍යවල පවා කතාබහට ලක්වුණා. ඒ පෙලඹවීමත් එක්කම ඉන්දියානු තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙවර පැරිස් නගරයේ ලොකුවටම ‘ශාකුන්තලා’ පෙන්වන්න තීරණය වුණා. ඉන්දීය නර්තනයට, කලාවට ප්‍රියකරන ඉන්දියානු ජාතිකයන් බොහෝ පිරිසක් පැරීසියේ ජීවත්වෙනවා. ඔවුන් වෙනුවෙන්ම තමයි දවස් දෙකක් තුළ ප්‍රදර්ශන වාර 04ක් පෙන්වන්න තීරණය කළේ.


ශකුන්තලා – දුෂ්‍යන්ත ප්‍රේම වෘත්තාන්තය පාදක කරගත් ‘ශාකුන්තලා’ ඩාන්සින් ඩ්‍රාමාහි ශකුන්තලාට ජීවය දෙන්නේ ද වෘත්තීය නර්තන ශිල්පිනියකි.


” ශකුන්තලා – දුෂ්‍යන්ත ආදර අන්දරයේ මම දුෂ්‍යන්ත චරිතයට පණ පොවද්දී ශකුන්තලාට ජීවය දෙන්නේ Prachi Gbera නමැති තරුණියයි. ඇය වෘත්තීයමය නර්තන ශිල්පිනියක්. ඇය අමෙරිකාවේ ඉඳන් ප්‍රංශයට ආවෙම මේ චරිතය රඟපාන්න. මාස 03-04ක කාලයක් අපි පුහුණුවීම් කළා. ඇය අමෙරිකාවේ ජීවත් වුණත් කථක්, භරත, නාට්‍යම් නර්තන ගැන මනා හැදෑරීමක් සහිත යුවතියක්. අපි බොහෝ දේ හුවමාරු කර ගන්නවා. ඉතාම පහසුවෙන් මිත්‍රශීලිව ඇයත් සමඟ වැඩ කළ හැකියි”


ශකුන්තලා, බැලේ, කථක් , බොලිවුඩ් මිශ්‍ර වූ නාට්‍යයක් බවද කෞශාල් පැවසුවේය.


” මෙහි අධ්‍යක්ෂ කමල් ඛාන්ත් රාජස්ථාන කථක් ගුරුකුලයකින් පැවත එන්නෙක්. පැරීසියේ දකුණු ඉන්දියානු නර්තන අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. කථක් නර්තන ශෛලියට මූලිකත්වය දෙන නිසා තමයි මේ නාට්‍යය වෙනස් වෙන්නෙත්. ඊට අමතරව මේ නර්තනයට බොලිවුඩ් ලක්ෂණ එකතු කරල තියෙන්නේ ප්‍රංශ ජාතිකයන් බොලිවුඩ් නර්තනයට කැමැති නිසා. ඒ විදිහට කථක්, බොලිවුඩ්, බැලේ නර්තන ශෛලීන්ගේ එකතුවෙන් තමයි මේ ශාකුන්තලා නාට්‍යය නිර්මාණය වෙලා තිබෙන්නේ.


වසර 20කට පස්සේ 2024දී තමයි Camille Claudel කෞතුකාගාරයේ මූලිකත්වයෙන් තමයි මෙහි ප්‍රතිනිර්මාණයක් එළිදක්වන්නේ. 80 දශකයෙන් පසු ශාකුන්තලා නර්තනමය නාට්‍යය ප්‍රදර්ශනය නතර කරල තිබුණා. පස්සේ 2024දී ඔවුන්මයි ඉන්දීය නර්තන ආයතනයක් වන ‘ත්‍රිබාද්’ නර්තන ආයතනයට මේ සඳහා ආරාධනා කරන්නේ. එහිදී කථක්, බොලිවුඩ්, බැලේ ශෛලීන් ත්‍රිත්වයම යොදාගෙන මෙය නිර්මාණය කරන්න ඔවුන් තීරණය කළා. එය මුලින්ම ප්‍රදර්ශනය කළේ ප්‍රංශයේ පැරිස්වල Camille Claudel කෞතුකාගාරයේ ”


ශාකුන්තලාහි අධ්‍යක්ෂවරුන් වන්නේ කමල් ඛාන්ත් සහ මේඝා ජගාවන්ත්ය.


” මම ලංකාවේ කණ්ඩායම් එක්කත් වැඩකරල තියෙනවා. ඒත් ඉන්දීය සහ ප්‍රංශ නිර්මාණ ශිල්පීන් කියන්නේ වෘත්තීයමය අය. ඔවුන් දක්ෂතාවට තැන දීලා ඔඩිෂන්වලින්මයි හැම චරිතයක්ම තෝරගන්නේ. එය වැදගත්.


මෙහි අධ්‍යක්ෂවරුන් ඉන්දීය ජාතිකයන් වුණත්, ප්‍රංශ ජාතිකයන් වුණත් ඔවුන් නිර්මාණයට අවශ්‍ය වටිනාකම දෙනවා. වෘත්තීමය පදනමකින් යුතුව සබඳතා පවත්වමින් එකිනෙකාට උදවු කර ගන්නවා. එයාලා කැමැතියි ලංකාව ගැන දැනගන්න. මාත් එක්ක වැඩකළ බොහෝ දෙනෙක් තීරණය කළා මාත් සමඟ සංචාරයකට ලංකාවට එන්න.


ශාකුන්තලා මුල් ප්‍රදර්ශනයේදි ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කෞශාල් සතුටින් කතාබහ කළේය.


2024 වසරේ ශාකුන්තලා ප්‍රදර්ශනයේදීත් හොඳ ප්‍රතිචාර ලැබුණා. අපි සිතුවා සංස්කෘතියේ හා භාෂාවේ බාධා ඒවි කියලා. නමුත් පැය 1 1/2 ක කාලසීමාවේ ප්‍රේක්ෂකයා ඉතා හොඳින් ශාකුන්තලා රසවින්දා. පළමු ෂෝ එක House full වුණේ ප්‍රදර්ශනයට සතියකට කලින් ටිකට් සියල්ල විකිණී අවසන් වෙලා. ගොඩක් සුබවාදී අපි නොසිතූ ප්‍රේක්ෂක ආදරයක් එදා අපට ලැබුණා”


කාලිදාසයන් විසින් රචිත ශකුන්තලා නාට්‍යයට මෙම නර්තනමය නාට්‍යයෙන් කිසිදු හානියක් නොවූ බවද කෞශාල් පැවසීය.


” කාලිදාසයන්ගේ ‘ශාකුන්තලා’ හින්දියෙන්, සිංහලෙන්, මුද්‍රානාට්‍ය ශෛලියෙන් වගේම කිහිපවරක්ම චිත්‍රපට ලෙසත් නිර්මාණය වෙලා තියෙනවා. ඒ සෑම එකකම තිබෙන්නේ ඒ ඒ රසයන්. මෙහිදී කාලිදාසයන්ගේ නිර්මාණයට අපි අපේ රස සහ ශෛලිය ලබා දී තිබෙනවා. එහි තිබෙන ප්‍රේමයට, මායා භාවිතයට අපි කිසිම බලපෑමක් කළේ නැහැ කියලයි මට හිතෙන්නේ. ”


ලාංකේය ප්‍රේක්ෂකයාට ‘ශකුන්තලා’ සමීප කරවීමට කෞශාල්ගේ උත්සාහයක් තිබෙන බවද පැහැදිලිය.


” දැනට අපි තීරණය කරල තියෙන්නේ ප්‍රංශයේ ප්‍රදර්ශනය කරන්න.එංගලන්තයේ ප්‍රදර්ශනයටත් අපට අවස්ථාවක් ලැබිල තියෙනවා. නමුත් ලංකාවේ ප්‍රදර්ශනය ගැන තවම පැහැදිලි සැලසුමක් නැහැ. ඉදිරියේදී ලංකාවට ඇවිත් ඒ ගැන සොයා බලන්නත් අදහස් කරගෙන ඉන්නවා. ඒ වගේම ලංකාවට ඇවිත් මානව හිමිකම් සහ කලාව සම්බන්ධ යම් වැඩකොටසක් කරන්න සිතාගෙන ඉන්නවා “

gossiplanka image 1
Previous Post Next Post