සංගීතයේ රිද්මයන් අතරින් හදවතට සමීප වන ස්වරයන් ඇත්තේ ස්වල්පයකි. ඒ ස්වරයන් අතරින් නිහඬවම ජනහදවත් ස්පර්ශ කළ ඔහු, ජනප්‍රියත්වයේ රළු රළ පහරවල් උපේක්ෂාවෙන් දරාගත් මේ අපූර්ව කලාකරුවා පසුගිය දශකයකට අධික කාලය පුරා තම හඬින් පරම්පරා කිහිපයක් පිනවීය. මෙරට ඔහු නමින් සහෘද ප්‍රේමයට පාත්‍ර වූ දිමංක වෙල්ලාලගේ ය. ඔහු සිය ජීවිතයේ නොකියූ කතාව ‘හාට්’ අපිත් එක්ක මෙසේ පැවසීය.
දිමංක, කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?
මේ දවස්වල ඇත්තටම ප්‍රසංග කටයුතු සහ මගේ අලුත්ම ගීතයේ රූප රචනාව සහ ඒකේ වැඩ ටික අවසන් කරලා තියෙන්නෙ. ඉතින් මේ දවස්වල මහන්සි වෙනවා රසිකයන්ට විශිෂ්ට නිර්මාණයක් ලබාදෙන්න. ඊට අමතරව මගේ අහිංසකාවි ලයිව් කොන්සට් ප්‍රසංග මාලාවෙ තුන්වැනි දිගහැරුම රත්නපුර නවනගර පුස්තකාල ශ්‍රවණාගාරයේදී පෙබරවාරි මස තුන්වැනි දින හවස 7.30ට පැවැත්වෙනවා. ඉතින් ඒකෙ වැඩ කටයුතුත් එක්ක චුට්ටක් කාර්යබහුල වෙලා ඉන්නෙ.
ඔබේ ජීවිතයේ වෙනස් කරපු ගීතය මොකක්ද ඇහුවොත්?
මගේ ජීවිතයම වෙනස් කරපු ගීතය තමයි ‘නිදුකින් ඉනු මැන’ ගීතය. ඉතින් ඒ ගීතය ජනප්‍රියත්වයට දැන් වසර දහතුනක් ගතවෙලත් අවසන්. ඒත් අදටත් ඒ ගීතය එක හා සමානව හැම පරම්පරාවක් අතරෙම ජනප්‍රියයි. ඉතින් ඒ නිර්මාණය සඳහා දායක වෙච්ච හැමෝම පිළිබඳ මට විශේෂ සතුටක් සහ ලොකු ගෞරවයක් තියෙනවා.
සංගීත ක්ෂේත්‍රයේ අද තියෙන ‘ටේරනේඩ්’ ගැන මොකද හිතෙන්නේ?
සංගීත ක්ෂේත්‍රය අද තියෙන ටේරනේඩ් ගැන ඇත්තටම සතුටක් තියෙනවා. ගොඩක් දක්ෂයෝ ඉන්නවා. විවිධ ආකාරයේ අලුත් දේවල් එනවා. අලුත් නිර්මාණකරුවන් රසිකයන්ට වෙනස්වූ අත්දැකීම් දෙනවා. ඉතින් අපිත් හැමවෙලේම උත්සාහ කරනවා රසිකයන්ට අලුත් දෙයක් දෙන්න. ඇත්තටම ඉතින් මට ඒ ගැන හරිම සතුටක් තියෙනවා.
ජීවිතයේ කවදා හරි කරපු වැරැද්දක් නිවැරදි කරන්න අවස්ථාව ලැබුණොත්,
ඇත්තටම ජීවිතයේ කවදාවත් අපි කරපු දේවල් අපිට නිවැරදි කරන්න බැහැ. කරපු වැරදි දේවල් නිවැරදි වෙන්නේ නැහැ. ඒ දේවලින් අපි අත්දැකීම් අරගෙන ඒ දේවල් නැවත නොවෙන ලෙසට අපි ඉදිරියේ අනාගතයේ වැඩ කටයුතු සැලසුම් කරන එක තමයි මං හිතන්නෙ කරන්න පුළුවන් එකම දේ නිවැරදි දේ වෙන්නෙ.
පෙනුම සහ විලාසිතා ගැන දිමංක කොයිතරම් සැලකිලිමත් වෙනවද?
ඇත්තටම මම මගේ පෙනුම සහ විලාසිතා ගැන එහෙම කියලා ලොකු විශේෂිත වූ දේවල් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මිනිස්සු මාව දකින්න කැමති විදිහක් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් වෙනස්කම් කරන්න උත්සාහ කළා. නමුත් ඒවට ගොඩක් වෙලාවට රසිකයන් හරි ආසයි. ඉතින් සමහර දේවල් කළාට පස්සේ ඒගොල්ලන්ගෙන් එනවා මේ දේ ඔයාට ගැලපෙන්නෙ නෑ අපි දකින්න ආස මෙන්න මේ විදියට කියලා. ඒ වගේ දේවල් නිසා ගොඩක් වෙලාවට මිනිස්සු මාව දකින්න කැමති විදියේ විලාසිතා සහ පෙනුම මං මගේ රසිකයන් මාව දකින්න ආස කරන විදියට මේන්ටේන් කරනවා.
ඔබේ ආරම්භය සහ ඒ පසුපස අසීරු මතකයනුත් ඇති?
ඇත්තටම පුංචි කාලෙ ඉඳලම මම ට්‍රම්පට් වාදකයෙක් විදිහට පාසලේ තූර්ය වාදක කණ්ඩායම්වල කලා කටයුතු කළා. ඊට පස්සේ ඉතින් ජීවිකාව ගෙනියන්න විවිධ දේවල් කළා. ඊට අමතර මම ශ්‍රී ලංකා නාවික හමුදාවට වසර හතරක් පහක් වගේ කාලයක් අනුයුක්තව සේවය කළා. එතකොට ඒ කාලසීමාව පුරාවම සංගීතය සම්බන්ධව ගොඩක් අත්දැකීම් ලබාගත්තා. ඊට පස්සේ මම නාවික හමුදාවෙන් අයින් වෙලා ගායන ශිල්පියෙක් වෙනවා කියල දැඩි විශ්වාසයක් එක්ක කටයුතු කළා. එතකොට ඒ විශ්වාසය සහිතව මම වසර දෙකක වගේ කාලයක් ඒ වෙනුවෙන්ම ගොඩාක් මහන්සි වුණා. ඒ කියන්නේ විවිධ වැඩ කටයුතු රැකීරක්ෂා ගොඩක් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ අවුරුදු දෙකහමාරක කාලයක් තුළ ඒ විඳපු කටුක අත්දැකීම් සහ ඒ ටික තමයි ඇත්තටම අසීරු මතකයක් විදියට තියෙන්නේ. හැමදේම පසුකාලීනව සාක්ෂාත් කරගත්තා. ඒ අත්දැකීම් තමයි අද මාව මෙතැනට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ හැම දේකටම ගොඩක් ස්තුතියි.
ඉදිරියේදී රසිකයන්ට දකින්න ලැබෙන අලුත්ම නිර්මාණ කටයුතු මොනවාද?
ඉදිරියේදී රසිකයන්ට විශේෂිත වූ ලස්සන නිර්මාණ ගොන්නක්ම මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. ඒවායේ ගොඩක් ඒවාගේ ඕඩියෝ ට්‍රැක්වල වැඩ ඉවර කරලා තියෙනව. ඊට අමතරව ‘බෙන්තර පාලමේ’ කියන ගීතය අලුත්ම ගීතය ලෙස එළියට එන්න තියෙනවා. මේ ගීතය අලුත්ම වෙනසක් එකතු කරන්නා වූ ගීතයක් බවට පත්වෙයි. මේ ගීතයත් මම ගායනා කරපු ගීත අතරින් විශේෂිත වූ නිර්මාණයක් වෙයි. ඉතින් සංගීත ක්ෂේත්‍රයේ ගොඩක් විශේෂිත වූ නිර්මාණයක් වේවි කියන එක මම විශ්වාස කරනවා.