අගෝස්තුවේ මගෙම වැඩක් – සුරාජ් මාපා

gossiplanka image 2

ආත්ම සෙනෙහස, අමුතු රසිකයා, නේත්‍රා, පූජා, උතුම් පැතුම්, වීදුරු මල් වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසකින් වගේම සිකුරු හතේ, ආකාස කුසුම්, ගින්නෙන් උපන් සීතල සහ මේ දිනවල රිදී තිරයේ දිගහැරෙන ෆාදර් සිනමා නිර්මාණයෙනුත් දකින්නට ලැබෙන ඔහු ඔබට අලුත් චරිතයක් නෙමෙයි. එදා මෙදාතුර තම ජනප්‍රියත්වය එක ලෙස රසික හදවත් තුළ රැකගත් ඔහු, නමින් සුරාජ් මාපා. කලකට පසුව ‘මීවිත’ හා කතාබහකට සුරා මේ විදිහට එකතු වුණා.


සුරාජ්, අපි මුලින්ම වාසු ගැන ටිකක් කියමු?


ඔව්, ෆාදර් චිත්‍රපටයේ වාසුට මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. මම හිතුවෙ නැහැ මිනිස්සු ඒ තරමටම මේ චරිතය වැලඳගනීවි කියල. මේ නිර්මාණයේ මගේ චරිතය වගේම අනෙකුත් චරිත ගැනත් ප්‍රේක්‍ෂකයන් කතාවෙනව. මොකද හැම චරිතයකටම වගේ ප්‍රවීණ නළු නිළියන් සම්බන්ධ කරගෙන තියෙනව. මේ චරිතය හරහා ප්‍රේක්‍ෂකයන්ට මගේ රංගනයේ විශේෂත්වයක් දකින්න පුළුවන් වුණා. ඒකත් එක්ක බොහෝ දෙනෙක් කියන්නෙ කාලෙට පස්සෙ සුරාගෙ රංගනය හරියට දැක්කා කියල. මොකද අපිට එහෙම අවස්ථා හම්බවෙන්නෙත් නැහැනෙ.



මේ ලැබුණ අවස්ථාව ගැන කතා කළොත්?


ඇත්තටම මේක ලොකු රිස්ක් එකක් තියෙන චරිතයක්. මොකද අපේ රටේ මේ වගේ චරිතයක් කළාම ඒක අපේ පෞද්ගලික ජීවිතයත් එක්ක සම්බන්ධකර ගන්නවනෙ. මම චමින්ද අයියව කලින් ඉඳන් දන්න නිසා එයා කිව්වා, මල්ලි ඔයා මේක කරන්නම ඕන, ඔයාට මේක අවුලක් නෑ කියල. පිටපත කියෙව්වට පස්සෙ මටත් ඒක හිතට ඇල්ලුවා.


ඔබට මාධ්‍ය දර්ශනයට සහභාගි වෙන්න බැරි වුණා?


ඔව්, ෂූටිං වැඩකටයුතු ටිකක් යෙදිල තිබුණ නිසා මට ෆාදර් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයට සහභාගි වෙන්න බැරිවුණා. මේ මාධ්‍ය දර්ශනය බලපු ගොඩක් දෙනෙක් මට කතාකරල කිව්වා, සුරා අපි හිතුවෙ නැහැ ඔයා ජීවිතේටවත් මේ වගේ චරිතයක් කරයි කියල, ඒක මාරයි කියල. ඒ වෙනකොට මමත් ඒක බලල තිබුණෙ නැහැ. නමුත් බැලුවට පස්සෙ මටත් හිතුණා මම ඒ චරිතයට සාධාරණයක් කරල තියෙනව කියල.



ඔබ රංගනයෙන් දායක වුණ චිත්‍රපටයක් තිරගත වෙන්නෙ බොහෝ කලකට පසුව?


‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයෙන් පසුව මම රඟපෑ චිත්‍රපටයක් තිරගත වුණේ නැහැ. ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත් ඇත්තටම චිත්‍රපට කියල බොරුවට දෙයක් කරනවට වඩා මම කැමතියි පොඩි වුණත් මේ වගේ ස්ට්‍රෝන් චරිතයකට සම්බන්ධ වෙන්න.


මොනවද මේ දවස්වල අනෙකුත් වැඩකටයුතු?


මම දැන් මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන එකෙන් ටිකක් ඈත් වෙලා ඉන්නෙ. ඒක හරි අමාරුයි. කොටස් සියයකට වඩා අඩු නාට්‍ය දෙකකට පසුගිය කාලෙ සම්බන්ධ වුණා. එකක් නම් කළේ ‘අසම්මතියේ’ කියල. පිටපත ලිව්වෙ ශලනි තාරකා. අනෙක් නිර්මාණය ‘ජැෆ්නා ආදරේ’. ඊට අමතරව කොටස් පනහක ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබුණා. ඒ වගේම සාලිය අලදෙණියගෙ ‘පරම වීර පූජා’ චිත්‍රපටයේ රූගතකිරීම් වැඩකටයුතුත් ළඟදීම ආරම්භ කරයි.


නර්තන වැඩකටයුතු?


නර්තන වැඩකටයුතු නම් ගොඩක් කරනව. මගේම ඇකඩමි එකකුත් තියෙනවනෙ. මේ අවුරුද්දෙ අගෝස්තු මාසයේදී විතර මගේම ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනව. ඒ වැඩකටයුතු නිසා තෝරාබේරාගෙන තමයි රංගන වැඩකටයුතුවලටත් සම්බන්ධ වෙන්නෙ.


සුරාට හිතෙන්නෙ නැද්ද දැන් සිනමාවට ප්‍රමුඛ තැනක් දෙන්න?


ඔව්, ඇත්තටම මම එහෙම හිතල තියෙනව. හොඳ චිත්‍රපට හැදෙනව. ප්‍රේක්‍ෂකයා සිනමා ශලාවලට එනව. නවක අධ්‍යක්‍ෂවරු ගොඩක් බිහිවෙනව. ඉදිරියේදී ලංකාවේ සිනමාවට හොඳ කලක් එයි. අපි දැන් ඒකට ලෑස්ති වෙනව.


සුරාගෙ ඇකඩමි එක කොහේද තියෙන්නෙ?


මගේ ඇකඩමි එක තියෙන්නෙ පැපිලියානෙ. ‘සුරාජ් මාපා ඩාන්සිං ඇකඩමි’ තමයි ඒකෙ නම. උඩරට නර්තනය, භරත නැටුම්, හිප්හොප් නර්තනය සහ බොලිවුඩ් නර්තනය අපි මෙහිදී උගන්වනව.


ඔබේ ප්‍රසංගයේ විශේෂත්වය මොකක්ද?


මගේ මුල්ම ෂෝ එක කළේ 2010 අවුරුද්දෙ, ඊට පස්සෙ 2015, ඒකම 2016 අවුරුද්දෙදි නුවරට අරගෙන ගියා. 2020 කරන්න බැරි වුණා කොරෝනා ප්‍රශ්න නිසා. 2025 කරන්න හිතාගෙන හිටියත් ඒකත් බැරි වුණා. ඒ නිසා අපි මේ ප්‍රසංගය නර්තනය සහ තාක්‍ෂණය පැත්තෙන් ලොකු වෙනසක් කරන්න හිතාගෙන ඉන්නව.


සුරා ඉන්නෙ වැඩ ගොඩක?


ඔව්, ලෙහෙසි නැහැ. ඉදිරියේදී නිෂ්පාදන සහ අධ්‍යක්‍ෂණ කටයුතුවලටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. මගේ ෆැෂන් කම්පැනි එකක් තියෙනව. ඒ වගේම මගේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් තියෙනව. ඒවායේ වැඩකටයුතුත් කරගෙන යනව.


ජනප්‍රියත්වය තවමත් එලෙසමයි?


ඇත්තටම ජනප්‍රියත්වයට වඩා මම බලන්නෙ රංගන ශිල්පියෙක් හැටියටත්, මනුෂ්‍යයෙක් හැටියටත්, කලාකරුවෙක් හැටියටත් මිනිස්සුත් එක්ක ඉන්න සහ කරන වැඩේට මහන්සි වෙලා නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්න. එදා ඉඳල හිමින් ගමනක් මට තියෙන්නෙ. කාලයක් මම හොඳටම ජනප්‍රිය වෙලා හිටියා. මංම කැමැත්තෙන් තමයි එතැනින් එළියට බැස්සෙ. මොකද ජනප්‍රියත්වය තියෙන්නෙ ටික කාලයයි. නමුත් මෙතැනින් ඉගෙනගන්න ඊට වඩා ගොඩක් දේවල් තියෙනව.


ඔස්මන් ඇත්තටම වාසුට ගැහුවද?


පූජන කියන්නෙ මගේ හොඳම යාළුවෙක්. අපි දෙන්නට ගහගන්න කිවුවාම දෙන්නට දෙන්න මූණ බලාගන්නව කවුද මුලින් ගහන්නෙ කියල. ප්‍රධාන චරිතය ඔසවා තබන්න තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නෙ. ඒ නිසා අපි කතා කරල ඒ මොහොත ටේක් දෙකකින් ලස්සනට කළා. ඔහු දක්‍ෂයෙක්. හොඳට ඒ අවස්ථාව ගත්තා.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post