මම නළුවෙක් වගේම නීතිඥවරයෙක් – මෞලි ෆර්ඩිනැන්ඩු

gossiplanka image 2


අපි නිකමට නෙමෙයිනේ ‘ගහේ කටු උල් කරන්න ඕනැ නෑ’ කියලා කතාවට කියන්නේ. ඇත්තටම ඔහු පියාගේ අඩිපාරේ යමින් තමන්ටම කියා අනන්‍යතාවක් ගොඩනඟාගෙන කලාවේ බොහොම හෙමින් ගමනක් යන චරිතයක්. ඔය අතරේ ඔහු නීතිඥවරයකු ලෙසින් ද කටයුතු කරයි. මේ දිනවල ඔහු රංගනයෙන් දායක වුණු ධර්ම යුද්ධය 2 සිනමා නිර්මාණය මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත වෙනවා. ධර්ම යුද්ධය 2 චිත්‍රපටයේ කළණගේ චරිතය සම්බන්ධයෙන් මෞලි ෆර්ඩිනැන්ඩු සමගයි මේ කතාබහ.


ඔබ රංගනයෙන් දායක වුණු ධර්ම යුද්ධය 2 මේ දිනවල අතිසාර්ථක ලෙස තිරගත වෙනවා. චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?


ඇත්තටම මට සතුටුයි. කලණගේ චරිතය මොකක්ද කියන එක මට පැහැදිලි කරන්න බැහැ. ඒ චිත්‍රපටයේ කතාවේ ප්ලොට් එක තීරණය කරන චරිතයක්. ඒ නිසා ඒ ගැන ප්‍රේක්ෂකයාට බලන්න ඉතුරු කරන්න ඕනෑ හින්දා චරිතය මොකක්ද කියන එක ගැන අපි කතා නොකර ඉමු. කලණ කියන්නේ මට වෙනස් විදිහේ චරිත නිරූපණයක් කරන්න ලැබුණ චරිතයක්. චිත්‍රපටය පුරාවටම විහිදිච්ච චරිතයක් නොවුණත් තේමාව කෙරෙහි ලොකු බලපෑමක් කරන්න පුළුවන් මතකයේ හිටිය චරිතයක්. ඒ හින්දා මම ගොඩක් ආසාවෙන් භාරගත්තු චරිතයක්. මම හිතනවා කලණට යම්කිසි සාධාරණයක් ඉෂ්ට කළා කියලා.



මාධ්‍ය දර්ශනයේදී වගේම මංගල දර්ශනයේදී කලණට ලැබුණේ මොනවගේ ප්‍රතිචාර ද?


ඇත්තටම මට පිටපත හම්බවෙලා මේ චරිතය භාරගන්නකොට මට හිතුණේ නැහැ එච්චර මට ප්‍රතිචාරයක් ලැබෙන චරිතයක් බවට කලණ කියන චරිතය පත්වෙයි කියලා. ඇත්තටම ගත්තොත් හිතුවාටත් වඩා කලණට හොඳ ප්‍රතිචාර තියෙනවා.


කලණ කියන්නේ ධර්ම යුද්ධය 2 ඇතුළේ වෙනස්ම වැඩක් කරන චරිතයක්. එහෙම නේද?


ඔව්. පට්ට ගේමක් ගහන චරිතයක්. වැඩේ කියන්නේ ගේම මොකක්ද කියලා කියන්න බැරි එකයි.



බිමල් ජයකොඩි රංගන ශිල්පියා එක්ක වැඩකරන්න ලැබීම ගැන කතාබහ කළොත්?


ඇත්තටම මම බිමල් ජයකොඩි එක්ක වැඩකරන්නේ තුන්වැනි හෝ හතරවැනි වතාවට. ඉතිං බිමල් අයියා කියන්නේ මට නුපුරුදු චරිතයක් නෙමෙයි. ඒ වුණාට මේ වෙලාවේ බිමල් අයියා ගැන වචනයක් කිව්වොත් ධර්ම යුද්ධය දෙක ප්‍රදර්ශනය වෙන්න පටන්ගත්තට පස්සේ අපේ අනෙක් රටේ ධර්ම යුද්ධය 2 චිත්‍රපටය එනවා. ඉතිං අපිටත් දෙකක අවශ්‍යතාවයක් එනවා. ජැක්සන් අංකල් අපි අතර නැතිවීම හින්දා දෙක කරන්නේ කොහොමද කියන ප්‍රශ්නාර්ථය අපිට තිබුණා. ඉතිං ඒ වෙලාවේ ඒ අඩුපාඩුව පුරවන්නේ කොහොමද, ජැක්සන් අංකල් ඒක ගොඩනඟපු තත්ත්වයත් එක්ක කියන ගැටලුවත් ආවා. ඉතිං ඒක අවතක්සේරු වන්නේ නැතිව ඊටත් වඩා හොඳින් දෙයක් කරන්න අපිට ඒ චරිතය ආදේශ කරගැනීමට අවශ්‍ය වෙලා තිබ්බා. ඉතිං ඒ තෝරාගැනීමේදී ඊට සුදුසුම කෙනා විදිහට බිමල් අයියාව තෝරාගෙන තියෙනවා. බිමල් අයියා ධර්ම යුද්ධය එකටවත්, දෙකටවත් කිසිම ආසාධාරණයක් කරන්නේ නැතිව හරිස්චන්ද්‍රට කරන්න පුළුවන් උපරිම සාධාරණත්වය කරලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්.


ධර්ම යුද්ධ එක වගේම ඉන්දියාවේ බිහිවුණ නිර්මාණ ඔබ නරඹලා තියෙනවාද?


ඇත්තටම මම නරඹලා තියෙනවා. මම සාමාන්‍යයෙන් ඉන්දියානු චිත්‍රපට බලනවා අඩුයි. මේ කතා වස්තුවට අදාළ නිර්මාණය නරඹලා තියෙනවා. අනික මම ගොඩාක්ම ඉංග්‍රීසි චිත්‍රපට බලන කෙනෙක්.


රූගත කිරීම් අත්දැකීම් එහෙම මොනවගේ ද?


මම වෘත්තීයමය වශයෙන් නළුවෙක් වගේම නීතිඥවරයෙක්. ඉතිං නීතිඥවරයෙක් වුණහම මගේ වෘත්තීයමය චරිතයට ඉතාම සමීපව ඇසුරු කරන චරිතයක් තමයි මට ධර්ම යුද්ධය 2 චිත්‍රපටයේදීත් නිරූපණය කරන්න තියෙන්නේ. ඉතිං ඒක මට මගේ තිබුණ දැනුමත් එක්ක ප්‍රායෝගික කරගැනීමේ හැකියාවක් තිබුණා.


මොනවාද මේ දිනවල ඔබේ රංගන වැඩකටයුතු?


මම මේ දවස්වල විමල් දේශප්‍රිය අයියාගේ සසර යාත්‍රා කියන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන රාහුල හාමුදුරුනමගේ චරිතය නිරූපණය කරනවා. ඉතිං මම මේ ටිකේ කොණ්ඩයත් කපාගෙන තට්ටෙත් ගාගෙන ආණමඩුවේ දින හතළිස්පහක් විතර රූගත කිරීම්වල තමයි ඉන්නේ. ඊට අමතරව තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම කරලා අවසන් වුණ චිත්‍රපට හතරක් විතර මේ වසරේ තිරගතවීමට නියමිතව තියෙනවා.


මොනවාද ඒ චිත්‍රපට?


සූරිය සුළඟ, ආවාලු පැහැ වලාවක්, අග්නික, චොකලට් වගේ චිත්‍රපට. මෞලි ෆර්ඩිනැන්ඩු මේ ගමන්මග පටන්ගත්තු ආකාරය ගැන මතකය අවදි කළොත් ?


මගේ තාත්තා දක්ෂ කලා අධ්‍යක්ෂවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වුණු හේමසිරි ෆර්ඩිනැන්ඩු. මෙතැනට එන්න තාත්තාගේ මඟපෙන්වීම මට පුංචි කාලේ ඉඳලා තිබිල තියෙනවා. ඒත් මට කවදාවත් බලකිරීමක් තිබුණේ නැහැ නළුවෙක් වෙන්න කියලා. ඒ හින්දා වෙන්න ඇති මම අද මේ වෘත්තීන් දෙකම තෝරාගන්න ඇත්තේ.


ගෙදර කලා පරිසරයක් තිබුණ හින්දා පුංචි කාලේ නළුවෙක් වෙනවා කියන හීනය ඔබට තිබුණේ නැති ද?


ඇත්තටම පුංචි කාලේ ඉඳලා අපේ ගෙදර තිබුණේ කලාවම තමයි. මගේ මුළු පවුලම සතියේ දවස් හතෙන් පහක්ම විතර වේදිකාවේ හිටපු අය. මම වයස අවුරුදු හතේදී තමයි තාත්තාගේ නාට්‍යයක හොඳම ළමා නළුවා වෙන්නේ. ඉතිං ඒ වගේ වේදිකාවයි, කලාවයි, ටෙලි නාට්‍යයි කියන ඒවා හැමදාම දැකපු දෙයක්. ඒත් මට ලොකු ටාගට් එකක් තිබුණේ නැහැ මම වෘත්තීය නළුවෙක් වෙනවා කියලා. හැබැයි මට ඒ කාලේ ඉඳලා ලොකු වුවමනාවක් තිබ්බා නළුවෙක් වුණත් වෙනත් වෘත්තියක් අවශ්‍යයි කියලා. මොකද තාත්තා බැංකුවේ රස්සාව කරන ගමන් තමයි ලංකාවේ තිබුණ හොඳම නාට්‍යය කිහිපයක කලා අධ්‍යක්ෂවරයා සහ අධ්‍යක්ෂවරයා කියන භූමිකාවන්වල නිරත වුණේ.


තාත්තාගේ නිර්මාණ මතක් කළොත්?


අකාල සන්ධ්‍යා, වෙස්මුහුණ, සරදියෙල්, චක්‍ර වගේ නිර්මාණවල තමයි කලා අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු සිදුකළේ. ඊට අමතරව තාත්තාගේ වේදිකා නාට්‍ය කිහිපයකටම රාජ්‍ය සම්මාන පවා හම්බවෙලා තියෙනවා.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post