දුෂ්‍යන්තිගෙන් රෝස වෙඩිල්ලක්

gossiplanka image 2
 


ඇයව ඔබට මුලින්ම දැකගන්න ලැබෙන්නෙ රන්තැලිය වලව්ව, සඳසාවි, සිදාදියේ සමනලියෝ වැනි ටෙලි නාට්‍ය තුළින්. විවාහයත් එක්ක විදේශගත වෙන්න සිදු වුණ නිසා ටික කාලෙකට රංගනයෙන් ඈත් වෙනව. නැවතත් ලංකාවට එන ඇය 2019 වසරෙදි අහම්බයකින් නැවතත් සුපුරුදු ගමන පටන්ගන්නව. දුෂ්‍යන්ති සේවික්‍රම ඇයගේ කතාව අපිට කිව්වෙ මේ විදිහට.


දුෂ්‍යන්ති ‘රෝස වෙඩිල්ල’ක් පත්තු කරන්නයි යන්නෙ?


මේ ගැන මට මුලින්ම දැනගන්න ලැබෙන්නෙ මම ‘සිදාදියේ සමනලියෝ’ ටෙලි නාට්‍යය කරන කාලෙ. ඉන් පස්සෙ මේ ගැන කතාවක් නැතිව යනව. ළඟදි දවසක හදිසියෙම අරුණ අයිය කතාකරල කියනව, මම මේ වගේ වැඩක් කරනව, ඒකෙ ප්‍රදීපා කියන චරිතයට ඔයාව තෝරා ගත්තා කියල. ඒ ගැන අරුණ අයියට, මගේ හිතවතිය ප්‍රමෝද්‍යාට වගේම මෙවන් ලියනගේටත් ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද ඔවුන් තමයි මාව මේ සඳහා යෝජනා කරන්නෙ.



ප්‍රදීපා කියන්නෙ දුෂ්‍යන්තිට සමාන චරිතයක්ද?


නැහැ, මම හිතන්නෙ ප්‍රදීපා කියන්නෙ දුෂ්‍යන්තිට කොහෙත්ම සමාන බවක් නැති කෙනෙක්. ඇය හරිම පෞරුෂවත් කාන්තාවක්. යුද්දයට මුහුණදීල වෙඩි වැදිල තමයි ඇය ආරක්‍ෂක සේවයෙන් විශ්‍රාම යන්නෙ. ඇත්තම කිව්වොත් දුෂ්‍යන්ති කියන්නෙ චුට්ටක් ඇඟිල්ලෙන් ඇන්නත් අඬන කෙනෙක්.


ඇත්තටම දුෂ්‍යන්ති කියන්නෙ මොන වගේ චරිතයක්ද?


දුෂ්‍යන්ති කියන්නෙ මාර සංවේදී කෙනෙක්. ඒත් මම කරන චරිතත් එක්ක කවුරුවත් එහෙම හිතන්නෙ නැහැ. ඇත්තටම මං ගැන කිව්වොත්, මම දරුවො තුන්දෙනෙක් ඉන්න පවුලක වැඩුමල් දියණිය. 2019 අවුරුද්දෙ පැවැත්වුණ මිසිස් ශ්‍රී ලංකා එක්තරා තරගයකින් ෆස්ට් රනර්අප් වෙන්න පුළුවන්කම ලැබෙනව. ලොකූ හීන ගොඩාක් තියාගෙන චූටි කාලෙම ෆීල්ඩ් එකට ඇවිල්ල පස්සෙ තාත්තා නැතිවෙන එකත් එක්ක කසාද බැඳල අවුරුදු කිහිපයක් රට ඉඳල 2019 අවුරුද්දෙ තමයි ආපහු ෆීල්ඩ් එකට එන්න පාර හැදුනෙ.



කාලෙන් කාලෙට වෙනස් චරිත ලැබිල තියෙනව?


ඔව්, ඇත්තටම මට වෙනස් චරිත ලැබිල තියෙනව. මම මහා ලොකු චරිත ප්‍රමාණයක් කරල නැහැ. නමුත් ඒ ටික වෙනස් විදිහට මට ලැබිල තියෙනව. උදාහරණයක් විදිහට සිදාදියේ සමනලියෝ, කෝඩුකාරි යන ටෙලි නාට්‍යවල චරිත ගන්න පුළුවන්.


කොහොමද ප්‍රතිචාර?


ඇත්තම කිව්වොත් යූ ටියුබ් එකේනම් බණිනව. නමුත් මුණගැහුනාම ඔයා ෂෝක් එකට රඟපානව කියල කියනව. මම ලස්සනයි කියනවට වඩා ඒ වචනෙට මම මාර ආසයි. එතකොට අමුතු කික් එකක් එනව.


ඇයි රංගන ශිල්පිනියක් වෙන්න හිතුවෙ?


මගේ තාත්තා චන්ද්‍රසිරි සේවික්‍රම. ඔහු අධ්‍යක්‍ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් වගේම රංගන ශිල්පියෙක්. 2012 වර්ෂයේදී තාත්තා නැතිවෙනව. නමුත් ඒ හැකියාව මගේ ලේවල තියෙනව. පාසල් කාලයේදි ගෝතමී විද්‍යාලයේ මට ගහන්න රංගන ශිල්පිනියක් හිටියෙ නැහැ. ඒ කාලෙ මම කළේම රඟපාන එකයි නටන එකයි.


වෙන ක්‍ෂේත්‍රයක් ගැන හිතුවෙ නැද්ද?


මම පටන්ගත්තෙ නිවේදිකාවක් හැටියට. අදටත් ඒ කටයුතු කරගෙන යනව. මට මාකටින් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් තියෙනව. නමුත් ඒ සම්බන්ධව කිසිම දෙයක් කරන්නෙ නැහැ. මම කැමති කලාවට.


ලංකාවට ආවට පස්සෙ නැවත ගමන පටන්ගන්න පුළුවන්වෙයි කියල හිතුවද?


එහෙම හිතුණෙ නැහැ. ලංකාවට ඇවිත් මගේ බබාවත් බලාගෙන හිටියා. නමුත් මට හීනයක් තිබුණා. ඒ අතර අහම්බෙන් තමයි මිසිස් ශ්‍රී ලංකා තරගය ගැන දැනගත්තෙ. එතැනදි මගේ නංගිත් කිව්වා ඉතිං නිකං ඉන්න එකේ තමුසෙත් දානවකො කියල. ඒ වෙනතුරු මම මොනවද කරන්න ඕන කියල ප්ලෑන් එකක් තිබුණෙ නැහැ.


ලැබෙන වැඩ ගැන අදහස මොන වගේද?


අපිව චරිතයකට යෝජනා වුණොත් මුලින්ම අහන්නෙ සෝෂල් මීඩියා කොහොමද කියල. සෝෂල් මීඩියා පැත්තට මිනිස්සුන්ගෙ වැඩි නැඹුරුවක් තියෙන නිසා සමහර අවස්ථා අපෙන් ගිලිහී යනව කියල මට හිතෙනව. එහෙම ෆ්ලැට්ෆෝම් එකක් ඕපන් වෙන එක හැමෝටම හොඳයි. නමුත් ෆලෝවර්ස්ල කොච්චරද කියල බලන එක කොයිතරම් දුරට හොඳයිද කියන එක මම දන්නෙ නැහැ. අපිට ෆලෝවර්ස්ල ඇතිකරගන්න පුළුවන් නරක විදිහටත්. නමුත් එතැනට වැටෙන්න ඕන නැහැ.


දුෂ්‍යන්ති සෝෂල් මීඩියා කැම්පේන් කරන්නෙ නැද්ද?


සෝෂල් මීඩියා කැම්පේන් කරනව. නමුත් මම කැමති නැහැ නෙගටිව් විදිහට මාකටින් වෙන්න. නෙගටිව් චරිත කරන්න කැමතියි. ඒ වගේම මම කැමතියි දවසක මගේ දරුව හැරිල බලල මේ මගේ අම්ම කියල ආඩම්බරෙන් කියන තැනක මම ඉන්න.


‘රෝස වෙඩිල්ල’ ඔන් ලොකේෂන් අත්දැකීම් මොන වගේද?


මරේ මරු. එච්චර කෙල්ලො ගොඩක් එක්ක මම වැඩකරල තිබුණෙ නැහැ. දැනට පළමු වැනි ෂෙඩුල් එක ඉවරයි. අපි දැන් බලාගෙන ඉන්නව මේක එළියට ඇවිල්ල මිනිස්සු අතරට යන විදිහ.


මේ යන ගමන ගැන මහත්තය මොකද කියන්නෙ?


මගේ මහත්තය ඉන්නෙ විදේශගතවෙලා. නමුත් මම ගියේ කීයටද, ආවෙ කීයටද කියල කවදාවක් අහන්නෙ නෑ. මොකද එයා දන්නව මම වැඩකට ඇරෙන්න කොහේවත් යන්නෙ නැහැ කියල. බබාව අම්මා බලාගන්නව. අපි ඉතිං හිමීට වැඩටික කරගෙන යනව.


සිනමාව පැත්තෙන් අලුත් විස්තර මොනවද?


මේ වෙනකොට අපි ‘හනිමූන් ටුමෝරෝ’ චිත්‍රපටයේ රූගතකිරීම් වැඩකටයුතු අවසන් කරල තියෙනව. ලබන මාසෙ තවත් එකක ෂූටිං පටන්ගන්නව.


ක්‍ෂේත්‍ර කිහිපයකම වැඩ. කොහොමද හැමදේම බැලන්ස් එකේ කරගෙන යන්නෙ?


ලෙහෙසි නැහැ. සිංහලෙන්ම කියනව නම් ඒක පට්ට ගේමක්. කොච්චර වැඩ තිබුණත් ෂුටිංවලට පොලු තියල නැහැ. පරක්කු වෙලා ගිහින් නැහැ. බැලන්ස් එකේ කරගෙන යනව.

gossiplanka image 1
Previous Post Next Post