පබෝධා රිදී තිරයේ අලුත්ම ආදරයක

gossiplanka image 1


දරුවන් වෙනුවෙන් දෙමාපියන් කොතරම් කැපවීම් කළ ද, දෙමාපියන් වෙනුවෙන් කිසිදු යුතුකමක් හෝ නොකරන දරුවන් සිටින කාලයක තම මව වෙනුවෙන් දිවි පරදුවට තබා කැපවීම් කළ අපේ කාලයේ වීරයකු වටා ගෙතුණු නවතම සිනමා කෘතිය ‘අභීත’ පසුගිය 06 වැනිදා සිට EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල දී තිරගත කිරීම ඇරඹිණි. අභීත සමග රිදී තිරයේ යළිත් වරක් අලුත් ආදරයක පැටලුණු පබෝධා සංදීපනී වෙනුවෙන් මෙවර මීවිතෙන් ඉඩකඩක් වෙන් කරන්න අප අදහස් කළා.


අභීත තිරගත කිරීම් ආරම්භ කළා. කොහොමද ලැබෙන ප්‍රතිචාර එහෙම?


හැමෝටම ඉතිං කුතුහලයක් තමයි තියෙන්නේ. මේ සඳහා රංගනයෙන් දායක වන ප්‍රධාන රංගන ශිල්පියා එහෙමත් නවකයෙක්. මාධ්‍ය දර්ශනය වගේම මංගල දර්ශනයේ දී ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.



අභීත වෙනුවෙන් වැඩ කරන්න ආරාධනා ලැබුණේ කොහොමද?


මට මේ සඳහා ආරාධනාව ලැබුණේ සිරිතුංග පෙරේරා අයියා ගෙන්. එතකොට මෙහි අධ්‍යක්ෂ ශ්‍රැති ප්‍රභාව දැනගෙන හිටියේ නැහැ.


රූගත කිරීම් අත්දැකීම් ගැන කතාබහ කළොත්?


ඇත්තට ම ගොඩක් හොඳයි. මේ නිර්මාණයට කාර්මික ශිල්පීන් වගේම නිෂ්පාදන කණ්ඩායම සඳහා ගොඩක්ම සහභාගි වුණේ ඉන්දියානු ශිල්පීන්. ඒක වෙනස්ම අත්දැකීමක්. අනික මෙහි අධ්‍යක්ෂ ශ්‍රැති ප්‍රභා දමිළ අධ්‍යක්ෂවරයෙක් හින්දා ඔහුටත් මෙහි රංගන ශෛලිය ඉන්දියානු ක්‍රමයට අවශ්‍ය වුණා.


අභීත හින්දා මෝටර් සයිකල් පදින්නත් වුණා නේද?


අපොයි ඔව්. ඒක ඉතිං ඒ තරම් ගැටලුවක් වුණේ නැහැ. මට කොහොමටත් හොඳට මෝටර් සයිකල් පදින්න පුළුවන්.



රිදී තිරයේ අලුත්ම ආදරයක පැටලුණා. එහෙමද?


ඔව්. ඔව්. රිදී තිරයේ අලුත්ම ආදරය තමයි ‘අභීත’. පසුගිය සිකුරාදා ඉඳලා රටපුරා සිනමාහල්වලින් ඒ ආදර කතාව ඔයාලට නරඹන්න පුළුවන්.


ගොඩක් කාලෙකට පස්සේ නේද චිත්‍රපටයක් තිරගත වෙන්නේ?


මම හිතන්නේ ශ්‍රී සිද්ධා සිනමා නිර්මාණයෙන් පසුව තමයි මම රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් තිරගත කිරීම ආරම්භ වුණේ. ඔව්. වෙලාවකට හිතෙනවා ටික කාලයකට පස්සේ මම ඉන්න චිත්‍රපටයක් තිරගත වුණේ කියලා.



රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?


පසුගිය දවස්වල ක්‍රිස් ඇන්තනීගේ මල මඟුලයි චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. ඊට කලින් ජයන්ත චන්ද්‍රසිරි අයියාගේ සැඟවුණු නගරය කියන චිත්‍රපටයේ රූගත කිරීම් ද අවසන් කළා. ඔය අතරේ ඔහුගේ ම නවතම සිනමා නිර්මාණය වන “සමහරු සහ සමාගම” චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා මේ මාසයේ මැද ඉඳලා ආරම්භ කරනවා.


මෑත කාලයේ ඔබට වැඩිපුර ආරාධනා ලැබුණේ සිනමා නිර්මාණවලට නේද?


ඔව්… මේ ටිකේ ගොඩක් වෙලාවට දායකත්වය ලබාදුන්නේ සිනමා නිර්මාණවලට තමයි. මොකද මට ටෙලිනාට්‍යය පැත්තෙන් තවම හොඳ චරිතයකට ආරාධනාවක් ලැබුණේ නැහැ. ටෙලිනාට්‍යය කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් ගිය අවුරුද්දේ ඉඳලා භාර ගත්තේ නැහැ. ඇත්තටම කිව්වොත් ‘සින්ටෝ’ ටෙලිනාට්‍යයයෙන් පස්සේ එහෙම ආරාධනා ලැබුණත් භාර ගත්තේ නැහැ. ඒකට හේතුව මම රඟපාන්න ආසා විදිහේ චරිතයක් තවම ලැබුණේ නැහැ. ඉතිං බලාගෙන ඉන්නවා හොඳ චරිතයකට ආරාධනාවක් ලැබෙයි කියලා. එහෙම නැතිව ටෙලිනාට්‍යයවලින් ඈත් වෙලා නෙමෙයි.


දමිළ සිනමා නිර්මාණයකටත් දායක වුණා කියලා ආරංචියි.


ඔව්. මම පසුගිය දවස්වල තරුණ දමිළ නිර්මාණකරුවකුගේ සිනමා නිර්මාණයකට දායක වුණා. ඒ නිර්මාණය සිංහලෙන් හඬ කවලා පෙන්වනවා කියලත් ඔවුන් පැවසුවා. ඒක භාෂා පහකින් නිර්මාණය කරනවා කියලා තමයි කිව්වේ. ඒ සඳහා ගොඩක් ඉන්දියානු ශිල්පීන් සහභාගි වුණා. ගොඩක්ම තරුණ නිර්මාණකරුවන් පිරිසක් සමග තමයි මම වැඩ කළේ. ඒක මගේ රංගන ජීවිතයට වෙනස්ම අත්දැකීමක්. ලංකාවෙන් මමයි ශ්‍යාම් අයියයි තමයි ඒ සඳහා දායක වුණේ. චිත්‍රපටයේ නම බග්ස්ටර්.


මේ සඳහා ආරාධනාව ලැබුණේ කොහොමද?


අදිරන් සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය රඟපෑ සුදර්ශන්, මම ‘අභීත’ සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වෙනවා දැකලා අභීත චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ශ්‍රැති ප්‍රභාගෙන් මගේ දුරකථන අංකය ඉල්ලාගෙන තමයි මට කතා කළේ.


ඇත්තට ම පසුගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මම ගොඩක් වෙලාවට වැඩ කළේ දමිළ කලාකරුවන් එක්කයි.


ඒක ගොඩක් අයට හම්බවෙන්නේ නැති අවස්ථාවක්. මොකද හිතෙන්නේ?


අනේ මන්දා. කොහොම හරි දමිළ නිර්මාණකරුවන් එක්ක තමයි මට වැඩ කරන්නම හම්බවුණේ ඒකත් වෙනස්ම අත්දැකීමක්.


පසුගිය කාලයේ වැඩිපුර ආරාධනා ලැබුණේ සිනමාවට නේද?


ඇත්තට ම මම කැමැතියි සිනමාවට. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මම ටෙලිනාට්‍යයවලට අකැමැතියි කියලා. ටෙලිනාට්‍යය ඇතුළේ මොකක් හරි හොඳ දෙයක් කරන්න තමයි මගේ ආසාව තියෙන්නේ. මගේ රස්සාව රඟපෑම තමයි. එහෙමයි කියල කරන්න බැරි වැඩ භාර ගන්න සූදානම් නැහැ. ඉස්සර ඉඳලා මම එහෙමනේ. හොඳ වැඩකට ආරාධනාවක් ලැබෙනකම් ටිකක් නිහඬව ඉන්නවා.


ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණකරුවාගේ වැඩකට සම්බන්ධ වුණේ සෑහෙන කාලෙකට පස්සේ නේද?


මම ජයන්ත චන්ද්‍රසිරි කියන දැවැන්ත නිර්මාණකරුවා, අධ්‍යක්ෂවරයා සමග මුලින්ම වැඩ කළේ මිලේනියම් එකට කරපු රැජන නිර්මාණයේ. ඊට පසුව අවුරුදු විසි පහකට පස්සේ තමයි ආපහු ඔහු අධ්‍යක්ෂණය කරනු ලබන රිටිගල ජයසේනගේ කතාව. එහෙමත් නැති නම් සැඟවුණු නගරය කියන නිර්මාණයට රංගනයෙන් දායක වුණේ. ජයන්ත අයියාගේ හැම නිර්මාණයකටම ඉතිං ඔහු බලනවානේ ටිකක් වැඩ දන්න කෙනෙක් හැම වර්ෂයකම සම්බන්ධ කර ගන්න. රිටිගල ජයසේනගේ අතීතයේ වෙන සිදුවීම්වල තමයි මම ඉන්නේ.


අභීත නිර්මාණයේ අධ්‍යක්ෂවරයාගෙන් ඔබට ලැබුණේ මොනවගේ සහයෝගයක්ද?


ශ්‍රැති ප්‍රභා කියන්නේ හරිම කූල් ඩිරෙක්ටර් කෙනෙක්. වැඩිය කලබල නැහැ. අපිට ඕනෑ දෙයක් කතාබහ කරල ඔහු සමග නිර්මාණය කරගැනීමේ හැකියාව තිබුණා. මෙහි නිෂ්පාදක අභීතත් එහෙම තමයි. ඔහුත් වැඩි කලබලයක් නැති චරිතයක්. ඔහු හැම ප්‍රවීණ ශිල්පියෙක් සමග ම බොහොම සුහදව වැඩ කළා.


සිනමාවට පෑයූ තවත් නවක නළුවෙක් තමයි පබෝධාට රංගනයේ යෙදෙන්න සිදුවුණේ. කොහොමද ඒ අත්දැකීම?


කිසිම කලබලයක් නැති චරිතයක්. ඔහු ඔහුගේ සීමාවේ ඉඳලා හරිම සංයමයකින් අභීතට සාධාරණයක් ඉෂ්ට කළා. නිෂ්පාදකවරයා වශයෙනුත් ප්‍රධාන රංගන ශිල්පියා වශයෙනුත් අභීතට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න ගොඩක් මහන්සි වුණා.


සින්ටෝ ටෙලිනාට්‍යයට ලැබුණේ‘ මොනවගේ ප්‍රතිචාර ද?


ඇත්තට ම සින්ටෝ ටෙලිනාට්‍යයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. සින්ටෝ කියන්නේ මිනිස්සු ගොඩාක් ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යයක්. මම හිතන්නේ හෙට අනිද්දාම ඒ නාට්‍යයත් අවසන් වෙනවා. එතකොට මම රඟපෑ එකම ටෙලිනාට්‍යයත් අවසන් වෙනවා. හැමෝගෙම ආදරය තමයි වැඩිපුර ලැබුණේ. ඒ සඳහා ආරාධනා කිරීම සම්බන්ධව එහි අධ්‍යක්ෂ අසංක සායක්කාර අයියාට ස්තුති වන්ත වෙන්න ඕනෑ.


දිනේෂ් විතාන

Previous Post Next Post