යළි පුංචි තිරෙන් ලොකු වැඩකට එන නාරද

gossiplanka image 2
 

නාරද බක්මීවැව, නම කියූ සැණින් රූපවාහිනී තිරයෙන් රටම දන්නා චරිතයක්. සිරසේ ‘රස රිසි ගී’ වගේම ස්වර්ණවාහිනියේ ‘අහංකාර නගරේ’ තුළින් යළිත් ඔබ හමුවට එන නාරදගේ මේ දිනවල වැඩකටයුතු ගැන අපි කතා කළා.


“රස රිසි ගී” වගේම ස්වර්ණවාහිනියේ “අහංකාර නගරේ” ප්‍රේක්ෂකයන්ට නැවත ලබා දීම ගැන මොකද හිතන්නේ ?


ඇත්තටම ඒ දෙක දෙකක්. අපි රස රිසි ගී හරහා දෙන්න උත්සහ කළේ ඒ වෙනකොට තිබ්බ ඒකාකාරී ඉදිරිපත් කිරීමත්, වැඩසටහන් කලාවත් වෙනස් කරලා තරුණයන්ට ගැළපෙන විදිහට අලුත් අදහසක් ගෙනියන්න.


ඒකෙදී අපි නිවේදන රටාව වෙනස් කළා, වැඩසටහන් ඉදිරිපත් කිරීමේ ආකෘතිය වෙනස් කළා. වැඩසටහනක ප්‍රතිපෝෂණය ගන්න විදිහ අපි වෙනස් කළා. Telephone වලින් Email වෙනකන්ම අපි ආවා. ඉතින් ඒක ඇතුළේ අපි ගොඩක් වෙලාවට උත්සාහ කළේ ඇවිද ඇවිද කොහෙට හරි ගිහිල්ලා විනෝදාස්වාදයත් එක්ක වැඩසටහන් කරන්න. ඇත්තටම ඒකට අපි ඒ කියන්නේ Infotainment.


ඒ හරහා විනෝදාස්වාදය සහ තොරතුරු යන දෙකම අපේ ජනතාවට අරන් දෙන්න පුළුවන් වුණා. ඒ මොහොතෙදි ඒක ජනතාව අතර ජනප්‍රිය වුණා.


අහංකාර නගරේ කියන්නේ ඒ යුගයේ අපි හදපු සංගීත ට්‍රෙන්ඩ් එක, 1998 අපි තියපු අඩියෙන් වෙනස්කම් කරන්න ලොකු බලපෑමක් කළා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ජනමාධ්‍ය පදනම් කරගෙන ගොඩාක් දේවල් වෙනස් වෙන්න පටන් ගත්තා. සිංදු වෙනස් වුණා. සිංදු වල හඬ වෙනස් වුණා.


එතෙක් තිබුණු 70 සංගීතයට බටහිර ආභාසය ඇවිත් අලුතින් රටාවක් පටන් ගත්තා.


2000 සිට 2025 යුගය ගැන තමයි අපි “අහංකාර නගරේ” ඇතුළේ කතා කරන්නේ. වැඩසටහන් දෙක ආකෘතිවලින් සමාන වුණාට අන්තර්ගතයන්ගෙන් වෙනස්. ඉදිරිපත් කරන්නේ අපි දෙන්නම තමයි. අවුරුදු 27කට විතර කලින් මාධ්‍ය වෙනස්කම් කළා. ඒක සමාජය වැලඳගත්තා. ඒ වෙනස් කරපු දේ ගැන අපි ආයේ කතා කරනවා දැන් 2026දි.


තනූජා ජයවර්ධන සමඟ වැඩසටහන් මෙහෙයවිමේදී ඇයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ඇත්තටම මට දැනට හම්බවෙලා තියෙන හොඳම සහය නිවේදිකාව එයා තමයි. අපි දෙන්නා යාළුවෝ. යාළුවෝ වුණාම ජීවිතේ බොහෝ දේවල් share කරගන්න ති‍ෙයනවා. දෙන්නෙක් දන්නවා කියනකොට හරි ලේසියි වැඩසටහනක් කරන්න. මිනිස්සු අතර වැඩිපුරම කතාබහට ලක් වෙන්නේ තනුජාත් එක්ක කරපු වැඩසටහන් තමයි.


එදා සහ අද ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?


එදා අපි වැඩසටහන්වලට යනකොට සිය දහස් ගාණක් එනවා අපිත් එක්ක පොටෝ ගහන්න වගේම කතා කරන්නත් එනවා. එහෙම ලැබුණු ප්‍රතිචාර ඉතාම ඉහළයි. මං හිතන්නේ නිවේදක යුවළකට ජීවිතේ ගන්න පුළුවන් උපරිම සතුට ඒක තමයි .


නිවේදකයෝ තරු වෙනවා අඩුයිනේ. ඒ චාන්ස් එක අපට ලැබුණා. ඒ උපරිම ජනතා ප්‍රතිචාරය අපට හම්බුණා. ඒ මිනිස්සු අපිත් එක්කම වැඩිවියට පත් වෙලා ති‍ෙයනවා. අපිව ආයෙත් බලනවා. දැනුම් තේරුම් අත්දැකීම් ති‍ෙයන අය. ඒ අය දැනුත් අපේ වැඩසටහන් විඳිනවා. ඒ ආදරය මාරයි. ඒ ගොල්ලන් comment එකත් දැනීමත් ඒක හරි රහයි.


පවුලේ තොරතුරු ටිකක් කතා කරමු ?


මගේ නෝනයි, මමයි, දරුවෝ තුන්දෙනයි. මගේ තාත්තා නැහැ. අම්මා ඉන්නවා. සහෝදරියෝ තුන්දෙනෙක් ඉන්නවා.


මාධ්‍යවේදියෙකු වෙන්න පාරම්පරික ආභාසයක් හෝ පවුල් පසුබිම බලපෑවද?


නෑ. ජනමාධ්‍යට සම්බන්ධ කවුරුත් අපේ හත්මුතු පරම්පරාවෙවත් ඉඳලා නෑ. හැබැයි මට පස්සේ සම්බන්ධ වුණ අය ඉන්නවා.


මාධ්‍යවේදියෙකු ලෙස වසර ගණනාවක් ක්ෂේත්‍රයේ රැඳී සිටීමට අධ්‍යාපන පදනම උපකාරී වන්නට ඇති?


පාසල් අධ්‍යාපනයෙන් ඊට පස්සෙ කැම්පස් ගිහින් ගත්ත අධ්‍යාපනය මට සුදුසුකම් විදිහට තියෙනවා. ඊට අමතරව මම සමාජයෙන් අධ්‍යාපනය ගත්තා. සමාජයෙන් අධ්‍යාපනය ගන්නවා කියන එකේදි මිනිස්සුන්ගේ, ජීවිත, රිද්මය, දැනුම ගොඩාක් දේවල්, ඒ කියන්නේ 50% වැඩි ප්‍රමාණයක් මම ඉගෙන ගත්තෙ සමාජයෙන්. වැඩක් කරනකොට ඒක පොලිෂ් කරගන්න තියරියක් ඕන. හැබැයි රිදම් එක,ජීවිතය, සමාජය, මිනිස්සු, සමාජයට හැඩගැසීම දැනගන්නනම් ජීවිත අත්දැකීම් තියෙන්න ඕනේ. ඉතින් ඒ දෙවිධියෙන්ම මම අධ්‍යාපනය ගත්තා.


මාධ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම අභියෝගයක් වුණාද ?


අපි සල්ලි කියන එක දැම්මේ දෙකට. අපේ පැවැත්ම කියන එක එකට දැම්මේ. සල්ලිකාරයෝ වගේ ජීවත් වෙන්න තිබ්බ එක අතඇරියා. ඒක අපි දැනුවත්ව සහ කැමැත්තෙන් කරපු දෙයක්. සල්ලි කියලා හෙවුවේ ජීවත්වෙන්න අවශ්‍ය ටික විතරයි. අනාගත පරම්පරාවට හම්බකරන්න ඕනේ කියන එක අපි කාටවත් තිබ්බේ නෑ.


මෙතෙක් මෙහෙයවූ වැඩසටහන් ගැනත් මතක් කරමූ ?


රස රිසි ගී කරන්න කලින් මම වැඩසටහන් නිෂ්පාදකවරයෙක්. අධ්‍යක්ෂවරයෙක්. ආයතනයක සහකාර අධ්‍යක්ෂවරයෙක්. එතකොට අධ්‍යාපනය සහ විනෝදාස්වාදය එකට යන වැඩසටහන් සහ තොරතුරු වැඩසටහන්. යුද්ධය, සාමය, කලාව, පරිසරය ගැන ගොඩක් වැඩසටහන් කළා. පරිසරය ගැන කරපුවා ගොඩාක් ජාත්‍යන්තර ඇගයීමට ලක් වුණා. ඒ ඔක්කොම සමාජයට අධ්‍යාපනික වශයෙන් වැදගත්. පස්සේ තමයි සිරසට සම්බන්ධ වුණේ. රස රිසි ගී පටන් ගන්නකොට ඒ ආභාසය වැදගත් වුණා ඒ වෙනස්කම කරන්න. සිරසේ වැඩසටහන් ගොඩක් කළා.


දෙරණේ වැඩ කළා. පත්තරවල සංස්කාරකවරයෙක් විදිහට වැඩ කළා. Express ඉරුදින පත්තරේ ටැබ්ලොයිට් එකක්. දිනමිණ පත්තරේ දිගටම පරිසර අතිරේකයක් කළා. තව ගොඩාක් කරලා තියනවා.


නව පරපුරේ නිවේදකයන්ගේ දකින වෙනස් විය යුතු ලක්ෂණ ලෙස ඔබ දකින්නේ මොනවාද?


අන්තර්ගතය හදා ගන්න එක තමයි ප්‍රධානතම කරුණ වන්නේ. ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන ගියාම ඒක කෘත්‍රිම වෙනවා. එතකොට කතා කිරීමටවත්, ඉදිරිපත් කිරීමටවත් නිසි හැකියාවක් නැහැ. අපි ඒ කළා වගේ වෙනස්කමක් දැන් වෙන්නෙ කලාතුරකින්. ඒ වගේම තමයි අනුකරණය කරන්න ගියාම විනාශයක් වෙන්නේ. තමන්ට අනන්‍යතාවක් තිබිය යුතුයි. ෆලෝ කළාට කමක් නැහැ. පොඩි පොඩි දේවල් ගත්තට අනුකරණය කරන්න එපා.


ඉදිරි වැඩකටයුතු ගැනත් කිව්වොත්?


පොතක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආචාර්ය උපාධිය කරන්නත් හිතන් ඉන්නවා. අලුත් දැනුම හොයාගෙන යන්න තමයි කැමැත්ත.

gossiplanka image 1
Previous Post Next Post