ජාතික රූපවාහිනියේ විකාශය වන බුද්ධික ලොකුකැටියගේ ‘බැද්ද අද්දර’ ටෙලි නිර්මාණය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත. සම්මානිත ටෙලි පිටපත් රචක සමන්ත කුමාර ගමගේගේ තිර පිටපතට මනා සාධාරණයක් ඉටු කරමින් සිය රංගන දිවියේ සුවිශේෂීම කඩයිම පසුකරමින් සිටින මේධා ජයරත්න බංඩාගේ බිරිය නන්දනී ලෙස අභියෝගාත්මක රංගනයක යෙදෙන්නීය. ‘බැද්ද අද්දර‘ අත්දැකීම් බෙදා ගන්නට අද ඇය අප හා එක්වූවාය.
නන්දනී කියන්නෙ ඔබේ රංගන දිවියේ අභියෝගාත්මක රංගනයක්. චරිතය බාරගනිද්දි මොකද හිතුනේ?
මං කලින් මේ වගේ චරිතයක් කරලතිබුණෙ නැති නිසා මොන වගේ ප්‍රතිචාර ලැබෙයිද කියන බයෙන් තමයි චරිතය බාර ගත්තේ. සිප ගන්න, අල්ලන දර්ශන නම් තියෙනවා, ඒත් මේක හරිම ලස්සන කැරැක්ටර් එකක්, ඔයා කියවලාම බලන්න කියලා බුද්ධික අයියා මට ස්ක්‍රිප්ට් එක දුන්නා. කියවලා බලද්දි ඇත්තටම මට ඒ කැරැක්ටර් එකට ලෝභ හිතුණා. මොකද ඒ චරිතය සමන්ත හරිම ලස්සනට ලියලා තිබුණා. ඒක ඇතුළෙ කරන්න ගොඩක් දේවල් තිබුණා. ඒ නිසා හරිම ආසාවෙන් බාර ගත්තා.
නන්දනී ඔබට සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. කොහොමද ඒ අභියෝගය ජය ගත්තේ?
ඔව්. මේක ගමේ දුෂ්කර ජීවිතයක් ගෙවන ගැහැනියකගේ චරිතයක්. නමුත් මාත් ගමේ කෙනෙක් නිසා ගම කියන එක නම් මට අභියෝගයක් වුණේ නැහැ. ඒ කැරැක්ටර් එකේ විදිහට මේධා ජයරත්නව එළියට එන්නෙ නැති විදිහට නන්දනීව ගොඩනඟන්න මං උත්සාහ කළා. කතා කරන විදිහ, හැසිරෙන විදිහ වගේම කතා කරන ටෝන් එක වුණත් නන්දනීගේ. කොණ්ඩය සම්පූර්ණයෙන් කළු කරන්න වුණා. ගමේ දුක්විඳින ගැහැනියකගේ පාට ගන්න පැයක් විතර මේක්අප් කරනවා. ගමේ ගැහැනු අව්වට පිච්චෙන නිසා අත්, බඩ ගොඩක්ම පාට අඩු කරලා ගොඩක් කැත කරනවා. ලස්සන කියන එක අදාළ කරගන්නෙ නැහැ. මං හිතනවා මං සාර්ථක වුණා කියලා.
නන්දනී ඔතරම් සාර්ථක වෙන්න එවන් චරිත ඇසුරු කරලා අත්දැකීමක් එකතු කරගත්තද?
නැහැ. මේ වගේ චරිත අපේ සමාජයේ ඕනේ තරම් ඉන්නවා. මෙයා මෙන්න මෙහෙම කෙනෙක් කියලා මමම හදාගත්තා. ස්ක්‍රිප්ට් එකේ කොහොම ලියලා තිබුණත්, ඒ වගේ චරිත ඇසුරු කරලා අත්දැකීම් ගත්තත් මං හිතන්නේ ඒක අපේම ඇඟෙන් එන්න ඕන දෙයක්. ඒ චරිතය මුලින්ම මට දැනෙන්න ඕන. මට දැනුණොත් තමයි බලන කෙනාට දැනෙන්නේ. වෙන කෙනෙක් කළා නම් මේක වෙනස් හැඩයක් ගන්න ඉඩ තිබුණා. ඒ හැඟීම අපේ කරගෙන අපේ ඇඟට ගත්තහම අපේ බොඩිලැන්වේජ් එක ඉබේම එනවා. ඒක තමයි මිනිස්සුන්ට දැනෙන්නේ.
ඔබ මෙතනදි රචකයා සහ අධ්‍යක්ෂවරයා දකින නන්දනීම ද එළියට ගන්නේ. නැත්නම් ඔබේ දේවල් එකතු කරන්න නිදහස තිබුණද?
ඇත්තටම අපිට නිදහස කියන එක උපරිමයෙන්ම ලැබුණා. මුලින්ම අපිට කරන්න දීලා බුද්ධික අයියා බලාගෙන ඉන්නවා. ඔහුට ඕන විදිහට මොකක් හරි හදාගන්න ඕන වුණොත් විතරයි නංගී මේක මෙහෙම කරමු කියලා කරවන්නේ. සමන්තට වුණත් මේක මෙහෙම කළොත් හොඳයි කියලා මට දැනෙනවා කිව්වම ඔහුටත් ඒක හොඳයි කියල දැනුණොත් ඕකේ කරනවා. ඒ චරිතය අපිට අපේ කරගන්න නිදහස දෙනවා. නිර්මාණකරුවන් ඒ වගේ අපේ දේවලුත් ග්‍රහණය කරගන්න එක හරිම වැදගත්. අපේ ඉමෝෂන් ප්ලේ වෙද්දි වයිඩ් ෂොට් එකක තිබුණොත් ඒව හරියට කැප්චර් වෙන්නෙ නෑ. ඉමෝෂන් එන තැන කොතනද ඒවා හරියටම කැප්චර් කරගන්න කැමරාව හසුරුවන්න ඕන කොහොමද කියන එක බුද්ධික අයියා දන්නවා. ඒ සමස්තයම ගත්තහම තමයි මිනිස්සු ඒකට ආස වෙන්නේ.
අධ්‍යක්ෂවරයා වගේම තිර පිටපත් රචකයාත් රංගනයේ අත්දැකීම් බහුල වීම ‘බැද්ද අද්දර’ සාර්ථක වෙන්න හේතුවක් වෙන්න ඇති නේද?
ඒ කතාව ඇත්ත. සමහර අවස්ථාවල බුද්ධික අයියත් කියනවා සමහර අධ්‍යක්ෂවරු ඉමෝෂන් එක හොඳටම ප්ලේ කරන්න ඕන තැන්වල වයිඩ් එකේ තියනවා කියලා. ඒව දන්න නිසාම හරිම ලස්සනට ඔහු ඒ තැන් කැප්චර් කරගන්නවා.
නන්දනීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඒක නම් හිතාගන්න බෑ. මං වෙන නිර්මාණයක ෂූට් එකේ හිටියත් කතා කරන්නෙ නන්දනී ගැන. අපේ ක්ෂේත්‍රයේ අයගෙන්ම ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හරිම සතුටුයි. මට නම් හිතුණෙවත් නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා. ෆේස්බුක් එක බැලුවොත් පෙනේවි ජේද ගණන් කමෙන්ට් කරලා තියෙනවා. ගොඩක් අය කියනවා රංගනය හරිම තාත්විකයි, රඟපානවා කියල තේරෙන්නෙ නෑ කියලා.
ඒ කියන්නේ, නන්දනී මෙතෙක් ඔබ ආ ගමනේ හොඳම රංගනය ද ?
ඔව්. ගොඩක් අය කියනවා. ඔයාට ලැබිල තියෙන්නේ හොඳම චරිතයක් කියලා. ඇත්තටම සතුටුයි. බුද්ධික අයියට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා මා ගැන විශ්වාසය තියලා නන්දනීගේ චරිතයට මාව තෝර ගත්ත එකට.
මේ දවස්වල ඔබ චංචල රේඛා ටෙලි නිර්මාණයේ ජයමිණී ටීචර්. කොහොමද ඒ අත්දැකීම?
ඒක වෙනස් අත්දැකීමක්. ජයමිණී ටීචර් කියන්නේ බඳින්නේ නැතුව වයසට ගිය චරිතයක්. ඒකෙත් මාව කැත කරලා තියෙන්නේ. අම්මා කියන චරිතය නම් නැවත නැවත කරන්න මං කැමැති නැහැ. මොකද ඒ චරිතය තුළ කරන්න දෙයක් නැති නිසා. මං ආස වෙනස් චරිත කරන්න. මේ දවස්වල ශාන් ජයරත්නගේ හරිම ලස්සන වැඩකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
මේධා මේ දවස්වල වේදිකාවේත් දකින්න ලැබෙනවා නේද?
ඔව්. සරත් දික්කුඹුරගේ කෝලම්කාරයෝ එක්ක වේදිකාවේ වෙනස් අත්දැකීමක් ලබනවා. ඒ වගේම කැලණි පාලමේ මැණිකේ අත්තනායක කළ චරිතයට ආරාධනා ලැබුණා. මම හරිම ආසාවෙන් භාරගත්තා. මේ දවස්වල පුහුණුවීම් කටයුතු කරගෙන යනවා.