පාලිත කියන්නේ ඉක්මනින් කේන්ති යන හරි සරල චරිතයක් -තිළිණ ඩී. සිල්වා

gossiplanka image 2
 

හඬකැවීම් ශිල්පියෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණි තිළිණ ඩී. සිල්වා මේ වන විට පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් ප්‍රේක්ෂක සිත් දිනාගනිමින් සිටියි. මේ දිනවල ‘ෆාදර්’ සිනමාපටයෙන් ඔබ හමුවට එන ඔහු සමඟ කළ කතාබහයි මේ.


‘ෆාදර්’ චිත්‍රපටය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා. පාලිත කියන්නේ මොනවගේ කෙනෙක්ද?


ඔව්. ෆාදර් චිත්‍රපටය මේ දිනවල අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වෙලා. මම විශ්වාස කරන විදිහට මේ කාලයට අවශ්‍යම සිනමා ක්ෂේත්‍රයේ තිබූ හිඩැසක් පිරවූ චිත්‍රපටයක්. ක්ෂේත්‍රයේ සිටින දක්ෂ සහ පුහුණු නළුවන් යොදා ගනිමින් සිදුකළ විශිෂ්ට නිර්මාණයක්. පාලිත කියන්නේ ඉක්මනින් කේන්ති යන හරි සරල චරිතයක්. පාලිතට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


‘ශේෂ’ කියන්නෙත් විදෙස් චිත්‍රපට උලෙළකදී සම්මානයට පාත්‍ර වුණු චිත්‍රපටයක්. ඒ අත්දැකීම කොහොමද?


කළු චරිතවලටම කොටුවෙලා ඒකාකාරීව ඉන්න මොහොතක ඉසුරු ගුණතිලක මට ඔහුගේ ශේෂ චිත්‍රපටයට ආරාධනා කරනවා. එහිදී මට හිමි චරිතයේ ස්වභාවය වගේම මාත් එක්ක රංගනයෙන් දායක වෙන අනෙක් රංගන ශිල්පිනිය උමාලී තිලකරත්න බවත් කියනවා. මං බොහොම කැමැත්තෙන් ආරාධනය පිළිගන්නවා. චරිතය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුවයි මං චිත්‍රපටයට සම්බන්ධ වුණේ. ශේෂ මගේ පළමු සිනමා අත්දැකීම වීමත් විශේෂත්වයක්. බණ්ඩාර කියන්නේ වලව්වක ගාම්භීර නිලමේ කෙනෙක්. පළමු අත්දැකීමම අභියෝගයක් වුණා කිව්වත් හරි.


‘සැලෙනා නුවන්’ ටෙලි නාට්‍යයේ කල්පගේ චරිතයත් ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා නේද?


ඔව්. කල්ප කියන්නෙත් කළු චරිතයක්. ලැබුණු ප්‍රතිචාරත් එක්ක මං චරිතයට සාධාරණයක් කළා කියන හැඟීමත් එක්ක නිහතමානී සතුටක් තියෙනවා.


කලාකරුවෙක් වීම පුංචි කාලෙ ඉඳන්ම තිබුණු බලාපොරොත්තුවක්ද?


නැහැ. පුංචි කාලෙ එහෙම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. නමුත් මගේ අම්මා මාව නර්තනය පැත්තට යොමු කළා. නර්තන ගුරුවරියගේ මඟපෙන්වීම අනුව වෙස් නැට්ටුවෙක් විදිහට පාසලේ කලා කටයුතුවලට ඉදිරිපත් වුණා. පාසල් කාලය අවසන් වෙද්දිත් එක්කම වගේ තමයි මම හඬ කැවීම් පැත්තට යොමු වුණේ. ඒත් එක්කම රංගන ශිල්පියෙක් වෙන්න ආසාව ඇති වුණා.


හඬකැවීම් ශිල්පියෙක් වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?


මම හඬකැවීම් ශිල්පය ඉගෙන ගන්නේ අතුල විජේසිංහ ගුරුතුමන් යටතේ. ඔහු මාව ජෝදා අක්බර් කතාවේ උපචරිතවල හඬකැවීම් වලට යොමු කළා. ඊට පස්සේ දෙරණ නාළිකාවේ එක්ස් මෑන් කාටූන් එකේ බොබ්ගේ සහ එක්ස්මෑන්ගේ චරිතවලට හඬකැවීම් කළා. ඒ මං ප්‍රධාන චරිතයකට හඬකැව්ව පළමු අවස්ථාව. මේ කාල වකවානුවේදී සිරස, දෙරණ, හිරු කියන නාළිකා තුනේම හඬකැවීම් ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ විදිහට තමයි හඬකැවීම් ශිල්පියෙක් බවට පත්වුණේ.


ඔබේ පළමු රංගන අත්දැකීම සිහිපත් කරනවා නම්?


ඒක ‘රන් දම්වැල්’ කියන ටෙලි නාට්‍යයේ වේටර් කෙනෙක්ගේ චරිතයක්. ප්‍රධාන චරිතයකින් මුලින්ම සම්බන්ධ වෙන්නේ කකුළුවෝ සහ මකුළුවෝ ටෙලි නාට්‍යයේ චමෝත්ගේ චරිතයෙන්.


ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?


රංගන ශිල්පය ඉගෙන ගන්න වෙනම ක්‍රමවේදයක් නෑ. ප්‍රවීණයන් ඇසුරේ ලබන අත්දැකීම් සහ අවබෝධය තමයි ගොඩක්ම වටින්නේ. ඔවුන් නිර්ලෝභීව අපට සහයෝගය ලබා දෙනවා. රංගන ශිල්පය හදාරන්න තියෙන වටිනාම සම්පත් තමයි අපේ ප්‍රවීණ රංගන ශිල්පීන්.


හඬකැවීම් පැත්ත ගත්තොත් ජනප්‍රියම වුණු නිර්මාණ මොනවා ද?


‘මුතු අහුර’ ටෙලි නාට්‍යයේ සර්කන්ගේ චරිතයට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවුණා. ඊට අමතරව ප්‍රවීණා ටෙලි නාට්‍යයේ අනුරාධ සහ භාසු යන චරිත දෙකටම හඬකැව්වේ මං. ඒ චරිතවලටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම රුවැති සිතැත්ති කතා මාලාවේ හන්සෝගේ චරිතයටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවුණා.


ටෙලි නාට්‍ය පැත්ත ගැන කතා කරනවා නම්?


කකුළුවෝ සහ මකුළුවෝ ටෙලි නාට්‍යයේ චමෝත්ගේ චරිතයට බොහෝ දෙනා කැමති වුණා. ඒ වගේම පොදු ටෙලි නාට්‍යයේ තිවංකගේ චරිතය මටත් ගොඩක් දැනුණු චරිතයක්. ඒතුළින් බොහෝ දෙනා මාව දැනගත්තා. ඒ වගේම සින්ටෝ ටෙලි නාට්‍යයේ මාලිංගගේ චරිතය කළු චරිතයක් නිසා ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් ඇහුවා. මේ විදිහට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි අපිට පන්නරයක් වෙන්නේ.


කලා ක්ෂේත්‍රයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?


මට ලැබෙන හැම චරිතයකටම සාධාරණයක් කරමින් ප්‍රවීණයන් ඇසුරේ අත්දැකීම් ලබමින් අවබෝධයෙන් සාර්ථක ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.


මෙතෙක් ආ ගමනේ දී ඔබට සහයෝගය දැක්වූ පිරිසකුත් ඇති?


මගේ මවුපියන් තමයි මේ ගමනේ මූලාරම්භය. මාව කලාවට යොමු කළ ක්‍රිෂාන්තී නර්තන ගුරුතුමියවත් මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. මගේ බිරිඳත් මට ලොකු සහායක් ලබාදෙනවා. ඊට අමතරව නිවේදන ක්ෂේත්‍රය, හඬකැවීම් ක්ෂේත්‍රය වගේම රංගන ක්ෂේත්‍රයේදීත් බොහෝ පිරිසක් උදවු කරනවා. ඒ හැම දෙනාටම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. හැමදාම මාත් එක්ක ඉන්න ප්‍රේක්ෂක ඔබටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post