ටනාෂා හතරසිංහ, කුරුලු කුමාරි මීගහවත්ත නමින් ප්‍රකට වන්නේ මින් වසර කිහිපයකට ඉහත නීලපබළු ටෙලි නිර්මාණයේය. මේ දිනවල ඇය ලිලී නමින් ප්‍රේක්ෂක අවධානය දිනාගෙන සිටින්නීය. ලිලී කුරුලුට වඩා හාත්පසින්ම වෙනස්ය. ඇය ‘සිහිනෙක තනිවෙලා’ ටෙලි නිර්මාණයේ කේසරගේ පෙම්වතියයි. කුරුලුගේ අහිංසකත්වයට පෙම් බැඳි බොහෝ දෙනා මේ දිනවල ලිලී දෙස බලන්නේ පහන් සිතුවිල්ලකින් නොවන බව පැහැදිලිය. එහි වගකීම සම්පූර්ණයෙන්ම තිරපිටපත් රචක තිමිර උඩලමත්ත භාරගත යුතු යැයි සිතේ. අහිංසක කුරුලු නපුරු ඇමැන්ඩා බවට පත් කළේ ඔහුය. ඒ සංසාරිණීහිය. මේ දිනවල ‘සිහිනෙක තනිවෙලා’ හි කපටි, රැවටිලිකාර ලිලී බවට පත්කර ඇත. ලිලී මේ දිනවල කුරුලුට ද අභියෝගයක් වෙමින් ප්‍රේක්ෂක අවධානයට ලක්වී ඇත. අහිංසක කුරුලු මෙන්ම නපුරු ලිලී බවට පත්වූ ඇය අප හා කතාබහට එක්වූවාය.
ටනාෂා මේ දිනවල නිර්මාණ ත්‍රිත්වයකම දකින්න ලැබෙනවා. ගොඩක් කාර්යබහුලයි නේද?
ඔව්. මේ දිනවල මං නිර්මාණ තුනක වැඩකටයුතු කරගෙන යන නිසා ටිකක් කාර්යබහුල වෙලා. ‘සිහිනෙක තනිවෙලා’ ‘හිතාගන්නම බැරි කතාවක්’ සහ ‘හිරු කුමරු ආදරය ගෙනැල්ලා’. එකිනෙකට වෙනස් චරිත තුනක්. ඒවයේ රූගත කිරීම් එක්ක ටිකක් කාර්යබහුල වෙලා.
ඔබ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේ අහිංසක කුරුලු නිසා. කොහොමද මේ තරම් නපුරු ලිලී වුණේ.?
ලිලී කියන්නේ මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ ගොඩක්ම ජනප්‍රිය ‘සිහිනෙක තනිවෙලා’ ටෙලි නිර්මාණයේ විලන් කැරැක්ටර් එක. තිරපිටපත තිමිර උඩලමත්තගේ. හසිත රාජපක්ෂගේ කුලුඳුල් ටෙලි අධ්‍යක්ෂණය. තිමිර අයියා තමයි මට ලිලීගේ චරිතයට ආරාධනා කරන්නේ. මීට කලිනුත් මං ඔහුත් එක්ක සංසාරිණී ටෙලි නිර්මාණයේ වැඩ කරල තියෙනවා. සංසාරිණීහි ඇමැන්ඩා කියන්නෙත් නපුරු විලන් කැරැක්ටර් එකක්. අහිංසකයි කියන සීමාවේ කොටු වෙලා හිටිය මාව නපුරු කළේ ඔහු. ලිලී කියන්නේ කපටිකමින්, රැවටීමෙන් කොහොමහරි තමන්ගේ වැඩේ කරගන්න උත්සාහ කරන කෙනෙක්. අවශ්‍ය දේ කරගන්න බැරි වුණ තැනදි ඇය ගොඩක් නපුරු වෙනවා.
කපටි, රැවටිලිකාර ලිලීව මේ තරම් අපූරුවට ගොඩනඟා ගත්තේ කොහොමද?
ඇත්තම කිවුවොත් ලිලී මේ තරම් ලස්සනට ගොඩනඟන්නේ තිරපිටපත් රචක තිමිර උඩලමත්ත සහ අධ්‍යක්ෂ හසිත රාජපක්ෂ. තිමිර අයියගේ ස්ක්‍රිප්ට් එක ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕන. සීන් එකෙන් සීන් එකට වෙන්න ඕන හැම පුංචි සිදුවීමක්ම හරිම ලස්සනට ඔහු ලියල තියෙනවා. ඒක මට ලිලී වෙන්න ලොකු පහසුවක් වුණා. ඔයා මෙහෙම කරන්න, මෙතනදි මෙන්න මේ ඈන්ගල් එකට මේ බැල්ම දෙන්න කිය කියා මාව මෙහෙයවමින් හරිම ඇක්ෂන් එක ගන්නේ හසිත අයියා. ඒ දෙන්නගේ උත්සාහයෙන් තමයි ඇත්තටම ලිලී මේ තරම් ලස්සනට ගොඩනැඟෙන්නේ. මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙත් ලිලීට.
කොහොමද ලිලීට ලැබෙන ප්‍රතිචාර?
ක්ෂේත්‍රයේ අයගෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔයා ඒ චරිතය ගොඩක් හොඳට කරනවා කියලා අගය කරනවා. විශේෂයෙන්ම ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබෙන අගය කිරීම මට ගොඩක් වටිනවා. ලිලී කියන්නෙ විලන් කැරැක්ටර් එකක් නිසා යූටියුබ් එකේ බොහෝදෙනෙක් ලිලීට බැණලා ප්‍රතිචාර දක්වලා තියෙනවා. නමුත් පෞද්ගලිකව මුණගැහිලා කතා කරද්දී නම් අපි ‘සිහිනෙක තනිවෙලා’ බලනවා, ඔයා හරිම ලස්සනට ඒ කැරැක්ටර් එක කරනවා. අනේ ඒත් කේසරට ඔය තරම් නපුරුකම් කරන්න එපා, කේසර පව් කියල කියනවා. ඔයා ඔය වගේ නපුරු චරිත කරනවට අපි කැමැති නෑ කියලත් කියනවා. අපිට ආදරේ කරන අය අපි නපුරු චරිත කරනවට කැමැති නෑ. නමුත් රංගන ශිල්පිනියක් විදිහට තමන්ගේ හැකියාව පෙන්වන්න ඕනෙම අභියෝගයක් භාරගන්න ඕන කියලයි මම හිතන්නේ. ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ලිලීගේ ලොකු වෙනසක් දකින්න ලැබේවි. ඉදිරියේදී ලිලීට ආදරේ කරන පිරිස වැඩි වේවි කියල හිතෙනවා.
ලිලී කියන්නේ ඔබේ රංගන ජීවිතේ ලොකු පරිවර්තනයක් කියල හිතෙන්නෙ නැද්ද?
ඇත්තටම ඔව්. ප්‍රේක්ෂකයන් ගොඩක්ම මාව දැකල තිබුණෙ අහිංසක චරිතවලින්. ගොඩක්ම මට ආරාධනා ලැබුණෙත් ඒ වගේ චරිතවලට. තිමිර අයියා තමයි වෙනස් විදිහේ චරිතයකට ආරාධනා කළේ. ඒ සංසාරිණීහි ඇමැන්ඩා විදිහට. ඊට හාත්පසින්ම වෙනස් ලිලීව නිර්මාණය කරන්නෙත් ඔහුමයි. ලිලීගෙ හැසිරීම, කතාබහ, ඇඳුම පැලඳුමේ වුණත් ලොකු වෙනසක් තියෙනවා. ඒකාකාරී වෙනවට වඩා මේ වෙනසට මං ගොඩක් කැමැතියි. එකම රාමුවේ දකිද්දි ප්‍රේක්ෂකයන්ට වුණත් හිතෙනවා ඇති අපිට වෙනස් දෙයක් කරන්න බැහැ කියලා. ලිලී කියන්නේ මං හරිම ආසාවෙන් කරන චරිතයක්. පෞද්ගලිකව ගත්තොත් ලිලී කියන්නේ මට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. පෞද්ගලික ජීවිතේ මට කරන්න බැරි බොහෝ දේවල් ලිලී හරහා කරන්න සිදු වෙලා තියෙනවා. ඒ අභියෝගයට මං හරි ආසයි. අපේ ගෙදර අයට වුණත් හිතාගන්න බැරි වුණා මට මේ වගේ දේවල් කරන්න පුළුවන් ද කියලා. මහත්තයගේ අම්මායි, නැන්දායි තමයි ගොඩක් දුරට ටෙලි නාට්‍ය බලන්නේ. “අපි මේ කල්පනා කරන්නේ මේ අහිංසක කෙල්ල කරන දේවල්” කියලා ඔවුන් කියනවා. “අනේ..මේ කෙල්ලට මොකද වුණේ” කියලා නැන්දා අහනවා. ඔවුන්ට හරිම පුදුමයි මමද මේ දේවල් කරන්නෙ කියලා. රොමෑන්ටික් දර්ශන තියෙන දවසට මං අනුරාධට කියනවා අනේ නැන්දලට අද බලන්න එපා කියන්න කියලත්.
මේ දිනවල විකාශය වෙන අනෙක් නිර්මාණ ගැන කතා කරනවා නම්?
‘හිතාගන්නම බැරි කතාවක්’ තිරපිටපත වගේම අධ්‍යක්ෂණයත් බුද්ධික සේමසිංහගේ. ගෞරී කියන්නෙ අද සමාජයේ වෙසෙන සාමාන්‍ය ගැහැනු ළමයෙක්. ඒ වගේම ‘හිරු කුමරු ආදරය ගෙනැල්ලා’ හි චරිතය ගත්තොත් ආදරය නිසාම නපුරුකම් කරන චරිතයක්. ඊට අමතරව මේ දවස්වල තීක්ෂණ මනරම්ගේ තවත් අලුත් නිර්මාණයක වැඩ කරගෙන යනවා. ගුරුවරියකගේ චරිතයක්. ඒකත් හරිම ලස්සන කතාවක්. මේ වෙද්දි පළමු ෂෙඩියුල් එක කරලා ඉවරයි.
ටනාෂා දැන් සිනමාවේත් දකින්න ලැබෙනවා නේද?
ඔව්. ඔව්…සම්පත් ශ්‍රී රෝෂන් අයියාගේ එමලි කියන චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එමලි කියන්නේ හොල්මන් චරිතයක්. නීල පබළු බලලා සම්පත් අයියාගේ බිරිඳ තමයි එමලිගේ චරිතයට ටනාශා හොඳයි කියලා යෝජනා කරල තියෙන්නේ. ලොකුවටම දුවන කැරැක්ටර් එකක් නොවුණත් ඒක මට සුවිශේෂී අත්දැකීමක් වුණා. විදෙස් චිත්‍රපටවල වගේ තාක්ෂණය ඉතාම ඉහළින් යොදාගෙන කරපු සිනමාපටයක්. ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගන්න පුළුවන් සිනමාපටයක් වේවි කියන විශ්වාසයත් තියෙනවා.
ටනාෂා හතරසිංහ කුරුලු කුමාරි මීගහවත්ත විදිහට ප්‍රේක්ෂකයන් අතරට ආපු අතීතයත් සිහිපත් කරමු?
කුරුලු කුමාරි මීගහවත්ත කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිවුවොත් නිවැරැදියි. නීල පබළු හරහා අවුරුදු හයහමාරක් පුරාවට කුරුලුට ලැබුණු අසීමිත ආදරය කවදාවත් අමතක කරන්න බෑ. ටනාශා කිවුවට ගොඩක් අය මාව දැනගෙන හිටියෙ නෑ. ඒත් කුරුලු කිවුවම නොදන්න කෙනෙක් නෑ. සිරස නාළිකාවේ මෙතෙක් විකාශය වුණු දීර්ඝතම ටෙලි නාට්‍යය වගේම කිසිම චරිතයක් අතරමඟදී ඉවත් නොවුණු ජනප්‍රියම ටෙලි නිර්මාණයත් නීල පබළු වෙන්න ඕනේ. කුරුලු, අභිමන්, පූජා කියන චරිතවලට පුදුමාකාර විදිහට ප්‍රේක්ෂක ආදරය ලැබුණා. අදටත් ඒ ආදරය ලැබෙනවා. අපි අතරේ වුණත් එදා ඇතිවුණු බැඳීම අදටත් එහෙමයි. අදටත් මගේ හොඳම යාළුවා සුමිරාන් අයියා. නයෝමි ගත්තත් එහෙමයි.
ටනාෂාගේ ගමන් මඟ මුලින්ම වෙනස් කළේ ඇමැන්ඩා නේද?
ඔව්. සංසාරිණී ටෙලි නිර්මාණයේ කොටස් හැට ගාණක් විතර ගියාට පස්සේ තමයි ඇමැන්ඩා විදිහට මං නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. මුලින්ම විලන් කැරැක්ටර් එකක් විදිහට ඇවිත් පස්සේ අහිංසක චරිතයක් බවට පත්වෙනවා. කුරුලු නිසා ආදරය ලැබුණු ටනාශාට ඇමැන්ඩා නිසා හොඳටම බැණුම් අහන්නත් වුණා.
ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු විදිහ මතක් කරනවා නම්?
බ්‍රයිඩ්ල් නිරූපණයකට ගනිපු මගේ ෆොටෝ ෂූට් එකක් අම්මා ෆේස්බුක් එකේ දාල තිබිලා ඒක දැකලා තමයි මට මුලින්ම මියුසික් වීඩියෝ එකකට ආරාධනාව ලැබෙන්නේ. මියුසික් වීඩියෝවට මේකප් කරපු නයන උදිත් අයියා නිසා එදාම මට වෙළෙඳ දැන්වීමකටත් ආරාධනා ලැබුණා. පස්සේ දිගින් දිගටම මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්න ලැබුණා. කුලුඳුල් රංගන අත්දැකීම විදිහට සම්බන්ධ වුණේ ‘තිමිර ගිර’ ටෙලි නිර්මාණයට. ඊට පස්සේ චිත්‍රපට තුනකට සම්බන්ධ වෙන්න ලැබුණා. නැවතත් මං නීල පබළු ඔස්සේ පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ සෑහෙන කාලෙකට පස්සේ.
අනුරාධව හමුවෙන්නෙත් ඔය කාලේ නේද?
ඔව්. මට අනුරාධව හමුවෙන්නේ නීල පබළු කරන කාලේ. ඔහු අනුරාධ වීරරත්න. අවුරුදු හතරහමාරක් විතර ආදරේ කරලා අපි විවාහ වුණා. විවාහයෙන් පස්සේ අපි ඉන්නේ අනුරාධගේ ගෙදර. ඔවුන්ට මගේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා කිසිම ගැටලුවක් නැතුව අපි සතුටින් ඉන්නවා.
කලාවේ මේ තරම් දුරක් එන්න ඔහුගෙන් හොඳ සහයෝගයක් ලැබෙන්න ඇති?
ඇත්තටම ඔව්. අපි හොඳ තේරුම් ගැනීමකින් ඉන්නේ. මං ගැන වගේම මගේ වෘත්තිය ගැනත් ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා. අපිට විවිධ නළුවො එක්ක විවිධ දර්ශන රඟපාන්න සිද්ධ වෙනවා. ඒ වගේම කාර්යබහුලත්ව හමුවේ ඇතැම් වැඩකටයුතු මඟහැරෙන අවස්ථා තියෙනවා. ඒ ගැන හරිම අවබෝධයෙන් ඔහු ලබාදෙන සහයෝගය මට ලොකු ශක්තියක්.