80 දශකයේ වේදිකාවට පිවිසි ඇය පසුකාලීනව පුංචි තිරයේත්, සිනමාවේත් කැපීපෙනෙන සම්මානනීය රංගන ශිල්පියක් වූවාය. රූපා පතිරණ නම් වූ ඇය වර්තමානයේ පුංචි තිරයට නැතුවම බැරි චරිතයක් වී හමාරය. ‘හාට්’ අපි ඇයගේ කලා දිවියේ තොරතුරු දැනගැනීම සඳහා ඇය හා සම්මුඛ වූයේ මෙලෙසයි.
ඉතින් කොහොමද?
අසනීප තත්ත්වයෙන් ඉඳගෙන කලා කටයුතු කරගෙන යනවා.
මේ දවස්වල ඔබ ‘පට්ටි ගෙදර’ ලොකු නැන්දා ලෙස රඟපානවා?
අනේ ඔව්. පට්ටිගෙදර පවුලේ ලොකු නැන්දා මම. ඒ නිසා ඒ චරිතය වෙනුවෙන් හොඳම ප්‍රතිචාර ලැබෙනවා. පට්ටිගෙදර ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත්ත ටෙලිනාට්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අනුෂ්ක ද සිල්වා තමයි පට්ටිගෙදර ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. මම කාලෙකට පස්සේ ආශාවෙන් පවුලක් විදියට එකතු වෙලා සම්බන්ධ වෙලා වැඩ කරන නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන්. එයට අමතරව ‘පාට කුරුල්ලෝ’ ටෙලිනාට්‍යයෙත් වැඩ කරනවා.
ඔබ මුලින්ම වේදිකාව හරහා නේද රංගනයට සම්බන්ධ වෙන්නේ?
1983 තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ ‘කෝන්තරය’ වේදිකා නාට්‍යය හරහා. මම ඒ වේදිකා නාට්‍යයේ අභියෝගාත්මක චරිතයක් රඟපෑවේ. වයස අවුරුදු 65ක විතර චරිතයක්. ඒ චරිතය හරහා මගේ රංගනය වෙනුවෙන් වේදිකාවේ හොඳම නිළිය සම්මානය මට ලැබුණා. පසුකාලීනව කෝන්තරය රූපවාහිනී සංස්ථාවේ මැදිරි පරීක්ෂණ ටෙලිනාට්‍යයක් විදියට රූගතකිරීම් කළා. ලංකාවේ පළමුවැනි මැදිරි පරීක්ෂණ ටෙලිනාට්‍යයේ මම රඟපෑවා. ඒ මගේ රූපවාහිනී කැමරාවක් ඉදිරියේ කළ පළමු රංගන අත්දැකීම.
පසුකාලීනව එක දිගට නිර්මාණ සඳහා ආරාධනා ලැබුණා?
ඔව්. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමා නිර්මාණ අංශ තුනටම මම සම්බන්ධ වුණා. 1992 සිරි කුලරත්නගේ ‘වීදියේ වීරයා’, සරත් ධර්මසිරිගේ ‘ගිනි කිරිල්ලී’, ‘කතුරු මිතුරු’ චිත්‍රපටවලට සම්බන්ධ වුණා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘මැයි මාර ප්‍රසංගය’ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙනවා.
මෙතෙක් ඔබ රඟපෑ ටෙලිනාට්‍යවලට දුන් දායකත්වය ගැන සෑහීමකට පත්වෙනවද?
අනිවාර්යයෙන් දිග පළලක් නැතුව මට ලැබෙන හැම චරිතයක්ම මම උපරිමයෙන් රඟපෑවා. ගල් පිළිම සහ බොල් පිළිම, තුන්පත් රටාවක ලස්සන, ඉර හැංගිලා, පට්ටිගෙදර ටෙලිනාට්‍යවල මම රඟපාපු චරිතවලට ගොඩක් ආදරය කළා. ඒ තරමට මම ඒ චරිතවලට ආදරය කළා.
සිදුවූ අනතුරෙන් පසු චරිත වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න බැරුව ඇති?
තවමත් මගේ කකුලේ වේදනාව තියෙනවා. අමාරුවෙන් තමයි ඇවිදින්නේ. ඉර හැංගිලා ටෙලිනාට්‍යයට තමයි අනතුරෙන් පස්සේ සම්බන්ධ වුණේ. ඇවිදගන්න අමාරු වුණත් ඒ මොහොතේ චරිතයට උපරිම සාධාරණයක් කළා. මොකද මට ඒ මොහොතේ විවේක ගන්න තිබුණු කාලයක් වුණත් මම ඉන්න කැමැති වුණේ නැහැ. ඒ කාලවකවානුවේ ඉර හැංගිලා ටෙලිනාට්‍යය විකාශය වන කාලය නිසා. මම කැමැති නැහැ මම භාරගත්ත වැඩක් අතරමග නතර කරන්න. ඒ තරමට මම මේ වෘත්තියට ආදරය කරන නිසා.
අලුත් පරපුර නම් ඒ ගැන වැඩි වටිනාකමක් නෑ වගේ නේද?
ඒ ගැන කතාකරලා වැඩක් නැති තරම්. අලුත් පිරිසට මම දොස් කියනවා නෙවෙයි. ඒත් තේරුම් ගන්න ඕනෙ. මොකද මේ වෘත්තියට ගොඩ දෙනෙක් ආදරය කරනවා. නවක පිරිසගේ කිසිම විනයක් නැහැ. කිසිම ගරුත්වයක් නැති තරම්. වටිනාකම දැනගෙන නොදන්න විදියට ඉන්නවා. සමහරු අපි කවුද කියලාවත් දන්නෙ නැති තරම්. ප්‍රවීණ ශිල්පීන්ට කිසිම ගරු කිරීමක් නැහැ. මම අදටත් නිර්මාණයකට සම්බන්ධ වෙද්දී කැමරාවට වැඳලා තමයි චරිතය නිරූපණය කරන්නේ. වේදිකාවට ගොඩවුණත් වේදිකාවට වැඳලා ගොඩවෙන කෙනෙක් මම.
අමුතු ඇඳීමක් නැති සරල කෙනෙක් ලෙස අපි ඔබව දකින්නේ?
මම මේ ගමන ආවේ ගොඩක් දුෂ්කරතා මැද. සමහර ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය මට මගහැරුණා කොළඹ එන්න සල්ලි නැති නිසා. නාට්‍යවල රඟපාලා මම ජනප්‍රිය වුණා කියලා අමුතු ඇඳීමක් මට නැහැ. මමත් අනිත් මිනිස්සු වගේ සාමාන්‍ය කෙනෙක්. පොළොවේ පයගහලා ජීවත් වෙන ගැහැනියක්.
ඔබ නිරූපණය කළ චරිත අතර මීට වඩා වෙනස් රංගනයක් එකතු කිරීමට ඔබ සූදානම්ද?
මට රඟපාන්න පුළුවන් ලොකු පරාසයක් තියෙනවා. චරිතයකට අලුත් දේවල් එකතු කරමින් විවිධ චරිත රඟපාන්න මම කැමැතියි. ඒත් කට්ටිය දන්නේ නැහැ මට කරන්න පුළුවන් කියලා. මට කතා කළොත් මම කරනවා. ආච්චි අම්මාට එහා ගිය විවිධ චරිත. ඒ අභියෝගය භාරගන්න මම සූදානම්.
වසන්ත විතාරණගේ