රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් ලෙස ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ, සිනමා ක්ෂේත්‍රය තුළ බිහිවූ දක්ෂ කලාකරුවෙක් වූ රොෂාන් රවීන්ද්‍ර නවමු මුහුණුවරකින් ‘එදා රෑ’ චිත්‍රපටය හරහා නැවතත් ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරන්නට සූදානම්. අද ‘මව්රට’ ‘හාට්’ අපේ කතාබහ ඔහු සමගයි.
ලෙජන්ඩ් එකක් විදියට කාලෙකට පස්සේ රොෂාන් එළියට එනවා…
ඔව්. ඒකට ඇත්තටම මම ගොඩක් සතුටුයි. මම කරන වැඩ තෝරා බේරාගෙන කරන්නේ. චිත්‍රපටයක් කරන්න වුවමනාව තිබ්බා ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලිනාට්‍යයෙන් පස්සේ. ඒක තමයි මම කරපු අවසාන ටෙලිනාට්‍යය. ඒකෙන් පස්සේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘මැයි මාර ප්‍රසංගය’ කියන නවකතාවෙන් නිර්මාණය කළ චිත්‍රපටයකත් මම රඟපෑවා. ඊට පස්සේ මම ආයේ අපේ රටේ අග්‍රගණ්‍ය ගායිකාවක් වූ ලතා වල්පොල මහත්මියගේ ජීවිත කතාව ගැන කරපු චිත්‍රපටයේ පොඩි චරිතයක් රඟපෑවා. ධර්මදාස වල්පොල කියන දක්ෂ ගායකයාගේ චරිතය. ඊට පස්සේ මට දැන් මිල්ටන් මල්ලවාරච්චි කියන අපි හැමෝම ආදරේ කරන, පරම්පරා කිහිපයක් ආදරය කරන චරිතයට මට ආරාධනා ලැබිලා තියෙනවා. මිනිස්සු අදටත් ඒ සින්දුවලට ආදරේ කරනවා. ඉතින් මං ගොඩක් සතුටු වෙනවා ඒ චරිතය මට ලැබීම ගැන. මේ දවස්වල ඒ චිත්‍රපටයේ රූ ගතකිරීම් පටන් අරගෙන තියෙන්නේ.
මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ ලෙජන්ඩ් එකක්. ඔහුගේ චරිතයට පණ පොවන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
මම හරිම සතුටු වෙනවා. ඒ වගේම හැමෝම ආදරේ කරන කලා ක්ෂේත්‍රයේ දක්ෂයකුගේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබීම ගැන. ඒ වගේම ඒ චරිතය මට අභියෝගයක් කියලා මම හිතනවට වඩා මට ඒ චරිතය ලැබීම ගොඩක් ලොකු ගෞරවයක්. මම ස්තුතිවන්ත වෙනවා මාව ඒ චරිතය වෙනුවෙන් තෝරගත්ත කණ්ඩායමට. ඒ වගේම මම මට පුළුවන් උපරිමයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය පරිදි මේ චිත්‍රපටය වෙනුවෙන් වැඩකටයුතු කරන්න උත්සාහ කරනවා. අපි බලමු කාලයට ඉඩ දීලා. මම හිතනවා මේ චිත්‍රපටය ලංකාවේ ජනප්‍රිය චිත්‍රපටයක් වෙයි කියලා.
‘එදා රෑ’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වුණා. චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නත් කලින්ම හැමෝම කියනවා චිත්‍රපටයට සුදුසුම චරිතය තෝරගෙන තියෙන්නේ කියලා…
මට කොහොමත් කවදත් ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුණා. ආදරණීය වස්සානය, සහෝදරයා, තණමල්විල කොල්ලෙක් මේ වගේ නිර්මාණ කරනකොට මට හොඳ ෆෑන් බේස් එකක් හැදුණා සහ මේ වෙනකොට මම වටා ලොකු ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා මම ඒක පුන පුනා නොකිව්වට. මම මගේ ප්‍රේක්ෂක පිරිස ආරක්ෂා කරගන්න තමයි හැමදාම නිර්මාණය කළේ සහ නිර්මාණ කරන්නේ. මම වැඩක් භාරගත්තොත් මගේ ප්‍රේක්ෂකයාට ගෞරවාන්විතව ඒ චරිතය කරන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඒවා ගිලිහී ගිය අවස්ථාවනුත් නැතුවාම නෙවෙයි. නමුත් මම මගේ උපරිමෙන් ප්‍රේක්ෂකයා වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්.
රොෂාන් රවීන්ද්‍ර කියන්නේ නිතරම රංගන ක්ෂේත්‍රය තුළ දකින්න ලැබෙන කෙනෙක් නෙවෙයි?
මම ආස කරන දෙයක් වෙන්න ඕනෙ. ප්‍රේක්ෂකයන්ට මම කරන නිර්මාණය වැදගත් වෙන්න ඕනෙ. ප්‍රේක්ෂකයෝ මාව පිළිගන්න දෙයක් වෙන්න ඕනෙ. මම නිර්මාණයට ලැබෙන මුදල් ගැන සලකා බලා වැඩකරන කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ මට ආපු වැඩ ප්‍රතික්ෂේප කරපු තරම් කෙනෙක් තවත් නෑ. ඒක එක පැත්තකින් මම ඇත්තටම වැඩ කරන්න ටිකක් කම්මැළියි. තවත් වෙලාවකට මම වැඩකරන්න ඕනේ කියන පිපාසයෙන් ඉන්නවා. ඉතින් ඒ වගේ මට හොඳ නිර්මාණයක් ලැබුණොත් මම වැඩ නොකර ඉන්නෙත් නෑ.
කාලෙන් කාලෙට ඔබ ඇවිත් කරන නිර්මාණ අතිශය සාර්ථක වෙනවා. මොකක්ද රහස?
රහස තමයි මගේ කැපවීම, උනන්දුව, මගේ හැදෑරීම, මගේ චින්තනය කියලයි මම හිතන්නේ.
‘සහෝදරයා’ ටෙලි නාට්‍යය තුළ සහෝදරයා කියන චරිතය ඔබේ සැබෑ ජීවිතයට කොයිතරම් බලපෑමක් ඇති කළාද?
සැබෑ ජීවිතයට බලපෑමක් ඇති කරාට වඩා මම හිතනවා දේශපාලනිකව ඒ චරිතය හරහා බලපෑමක් ඇති කළා කියලා. නාමල් ජයසිංහට මම අදටත් ස්තුතිවන්ත වෙනවා මාව මේ චරිතයට තෝරාගැනීම සම්බන්ධව.
ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?
ඉදිරි වැඩකටයුතු ඇත්තටම රටේ පවතින තත්ත්වය එක්ක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා තවමත් අපි බලන් ඉන්නවා අපිට සාධනීය වටපිටාවක් හැදිලා එනකන්. තාමත් කලාකරුවෝ එකම තැනක. මේ මොහොතේ වැඩකරන කලාකරුවන්ට තියන ප්‍රශ්න ටික විසඳන්න ඕනෙ මුලින්ම. මේ දේවල් හැදුණු දවසක කලාකරුවාට හොඳ තැනක් තියෙයි. ඒ බලාපොරොත්තුව මම වැඩකරපු අවුරුදු තිහ ඇතුළෙම තිබුණා. ඉතින් මේ ක්ෂේත්‍රයේ අදටත් තියෙන ගැටලු විසඳිලා නෑ. ඒක කනගාටුවට කාරණයක්.
කෞෂල්‍යා ලක්මිණි<