වර්තමාන සිනමා ශාලා තුළ ප්‍රේක්ෂක හදවත් කම්පනය කරමින් අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති සිනමාපටයක් ලෙස “ෆාදර්” චිත්‍රපටය හැඳින්විය හැකිය. එහි “ඔස්මන් ගුණසේකර” ලෙස අතිශය තාත්වික සහ සංවේදී රංගනයක නිරත වෙමින්, ලාංකීය ප්‍රේක්ෂකයාගේ ආදරයත්, විචාරක පැසසුමත් එකලෙස දිනාගැනීමට නවක රංගන ශිල්පී පූජන දන්දෙණිය සමත්ව සිටියි. මේ දිනවල පවතින කාර්යබහුලත්වය සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද, ඔහු මේ කතාබහට සම්බන්ධ කරගැනීම එතරම් පහසු වූයේ නෑ. ඔහුගේ කාර්යබහුලත්වය අතරතුර අප ඔහුට හමු වූයේ ඉතාම කෙටි වේලාවකටයි. ඒ කෙටි හෝරා කිහිපය තුළ, සිය රංගන ජීවිතය සහ “ෆාදර්” ගැන ඔහු සමග සිදුකළ සාකච්ඡාවයි මේ.Sri Lanka Latest News
මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?
මේ දවස්වල ඉතින් ‘ෆාදර්’ චිත්‍රපටයත් එක්ක තමයි කාලය ගතකරන්නේ. ලැබෙන ප්‍රතිචාරත් එක්ක හරිම කාර්යබහුල වගේම සතුටුදායක කාලයක් ගෙවමින් ඉන්නවා.
ඔබ ක්ෂේත්‍රයට එන්නේ ප්‍රධාන චරිතයකින්මයි. ‘ෆාදර්’ ඔබේ පළමු සිනමා අත්දැකීමද?
ඔව්. ‘ෆාදර්’ තමයි මම ප්‍රධාන චරිතයකට පණ පෙවූ මගේ පළමු සිනමාපටය. නළුවෙක් විදිහට මගේ ගමන ආරම්භ කරන්න මීට වඩා හොඳ අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ.
ඔස්මන් ගුණසේකර කියන්නේ සැබෑ ජීවිතයේ ජීවත් වුණු පුද්ගලයෙක්. මේ සැබෑ කතාව ඔබ මුලින්ම අහපු වෙලාවේ ඔබේ ඇඟේ හිරිගඩු පිපුණා කියලා කියනවා. ඒ තරම් කම්පනයක් දැනෙන්න මොකක්ද ඒ කතාවේ තිබුණු සුවිශේෂත්වය?
ඇත්තටම ඔව්. ඒ කතාව මුලින්ම ඇහුවම මට දැනුණේ විස්තර කරන්න බැරි තරම් ලොකු කම්පනයක්. ඒ චරිතය ඇතුළේ තිබුණු පීඩනය, වේදනාව සහ ඒ ජීවිතයේ තිබුණු බරපතළකම මගේ හදවතටම දැනුණා. මගේ ඇඟේ හිරිගඩු පිපුණේ ඒ නිසයි. ඒ මොහොතෙම මම තීරණය කළා මොන තරම් අභියෝග ආවත් මේ චරිතය මම කරන්නම ඕනේ කියලා.
එතකොට පූජන, ඒ දැනුණු හිරිගඩු පිපෙන හැඟීම රූගත කිරීම් ඉවර වෙනකම්ම ඔබ තුළ රඳවාගන්න පුළුවන් වුණාද?
අනිවාර්යයෙන්ම. ඒ පීඩනය තිරය මතට ගේන්න නම් ඒ කම්පනය මගේ ඇතුළේ තියාගන්න එක වැදගත් වුණා. මම උත්සාහ කළේ රඟපානවාට වඩා ඒ වේදනාව ඇත්තටම විඳින්නයි.
“ඔස්මන්” කියන සංකීර්ණ චරිතය වෙනුවෙන් ඔබ සූදානම් වුණේ කොහොමද?
මට පිටපත ලැබුණාම මම ඒක කිහිප සැරයක් කියවලා ඒ ගැන තොරතුරු හෙව්වා. ඒ වගේම මේ චරිතයට සමාන ගතිලක්ෂණ තියෙන ගොඩක් රෙෆරන්ස් බැලුවා. ඒ හැදෑරීම් එක්ක තමයි ඔස්මන්ව මම මගේ ඇතුළේ ගොඩනගා ගත්තේ.
ඒ කියන්නේ ඔබ “පූජන”ව අමතක කරලා ඔස්මන්” වෙන්න උත්සාහ කළාද?
අනිවාර්යයෙන්ම. සංකීර්ණ නිරූපණයක් තියෙන චරිතයක් ලැබීම නළුවකුට ලැබෙන ලොකු අවස්ථාවක්. කැමරාව ඉස්සරහදී මම පූජන කියන කෙනාව අමතක කළා. මම උත්සාහ කළේ ඔස්මන්ගේ සාධාරණය තිරය මත පෙන්වන්නයි.
“ඔස්මන් ගුණසේකර” කියන චරිතය ඇතුළේ ඔබ විඳපු ඒ පීඩනය, කැමරාවෙන් ඉවතට ගියාමත් ඔබේ පෞද්ගලික ජීවිතයට බලපෑම් කළාද?
ඇත්තටම මෙවැනි සංකීර්ණ චරිතයක් කරද්දී ඒකෙන් මිදෙන්න ටිකක් කල් යනවා. පසුගිය අවුරුදු එකහමාරම මම ගතකළේ මේ චිත්‍රපටය එක්ක නිසා, ඒ චරිතයේ බර තවමත් මගේ හිතේ කොහේ හරි රැඳිලා තියෙනවා කියලා මට හිතෙනවා.
අවුරුදු එකහමාරක් වැනි කාලයක් ‘ෆාදර්’ වෙනුවෙන් පමණක් කැපකිරීම ඔබ ගත් අවදානමක් නෙවෙයිද?
අවදානමක් වෙන්න පුළුවන්, ඒත් මම විශ්වාස කරන්නේ ප්‍රමාණයට වඩා ගුණාත්මකභාවය වැදගත් කියලා. ‘ෆාදර්’ වෙනුවෙන් මම කරපු ඒ කැපකිරීමට අද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර දකිද්දී මට හිතෙනවා මම ගත්ත තීරණය නිවැරදියි කියලා. හොඳ නිර්මාණයක් වෙනුවෙන් ඕනෑම කාලයක් කැපකරන්න මම සූදානම්.
ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතන්නේ පූජන?
ඇත්තටම සතුටුයි. හොඳ ප්‍රතිචාර තියෙනවා. මම හිතන්නේ ලොකු ප්‍රේක්ෂක ආදරයක් මට දිනා ගන්න පුළුවන් වුණා. අද මම ගැන ගොඩක් දේවල් ලියවෙනවා. ඒ ආදරය දකිද්දී ඕනෑම නළුවකුට දැනෙන ලොකු සතුටක් මටත් දැනෙනවා. ඒ සතුට තමයි මම අද අත්විඳින්නේ.
‘ෆාදර්’ සිනමාපටයෙන් පස්සේ ඔබේ ඉදිරි කලා කටයුතු කොහොමද?
පසුගිය අවුරුදු එකහමාරම මම ගතකළේ ‘ෆාදර්’ චිත්‍රපටය එක්ක. ඒ නිසා වෙනත් නිර්මාණවලට කාලය වෙන් කළේ නැහැ. හැබැයි දැන් චිත්‍රපට කිහිපයක වැඩ පටන් ගන්න සූදානමින් ඉන්නවා.
එතකොට අපිට පූජනව ආයෙත් දකින්න ලැබෙන්නේ කොයි වගේ චරිතයකින්ද?
අපිට ලැබෙන ආරාධනා අනුව තමයි ඒක තීරණය වෙන්නේ. හැබැයි මම හැමවෙලේම උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකයාට අලුත් දෙයක් දෙන්න පුළුවන් ගුණාත්මක නිර්මාණ තෝරාගන්නයි.
ප්‍රසාදි උමයංගනා