ඕනෑම නිර්මාණයක අඩිතාලම මෙන්ම ඉතිරි සාධක සියල්ල තීරණය කරනු ලබන ප්‍රබලම සාධකය තිරපිටපත යැයි කීම වඩාත් සාධාරණය. තිරපිටපත් රචනයේ දක්ෂයන් ගැන කතා කිරීමේදී සමන්ත කුමාර ගමගේ නම ඉහළින්ම කියවෙන්නකි. රංගන ශිල්පියකු ලෙස චරිතයට මනා සාධාරණයක් ඉටු කරන ඔහු තිරපිටපත් රචනයේ දක්ෂයකු ලෙස සමාජගත වන්නේ ‘ගිරිදේවී’ තිර රචනයත් සමඟිනි. පසුගිය වසරේ පැවැති සියලුම ටෙලි සම්මාන උලෙළහිදී සම්මාන පිට සම්මාන ලැබූ ‘වියළි ටෙලි නිර්මාණය ද ඔහුගේ අතිදක්ෂ තිර රචනයකි. පසුගියදා නිමාවට පත් වුණු ‘සති මෙන්ම ජාතික රූපවාහිනියේ විකාශය වන බුද්ධික ලොකුකැටියගේ ‘බැද්ද අද්දර ද මේ දිනවල ඇගැයීමට ලක්වන ඔහුගේ තිරපිටපත්ය. මේ දිනවල බොහෝ ප්‍රතිචාර ලබන ‘බැද්ද අද්දර ගැන කතා කරන්නට ඔහු අප හා එක්වීය.
බැද්ද අද්දර කියන්නෙ මේ දිනවල ඉතාම ජනප්‍රිය තිර පිටපතක්. කොහොමද ඒ අත්දැකීම?
බැද්ද අද්දර කියන්නෙ මගේ පළමු ස්වතන්ත්‍ර ටෙලි නිර්මාණය වගේම මගේ දහවැනි ටෙලි තිරපිටපත. බැද්ද අද්දර රචනා කරන්න ප්‍රබලම හේතුව වුණේ මං වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලෙ සිදුවුණු මාව ගොඩක් සංවේදී කළ සිදුවීමක්. ඊට සමානම කතාවක් බොහෝ කාලෙකට කලින් මගෙ අතින් ලියවිලා තිබුණා. වෙන වෙන වැඩවල කාර්‍යබහුල වීමත් එක්ක මට ඒක මඟහැරිල තිබුණා. ඔය දවස්වල තමයි පරිසරයට ඇත්තටම ආදරේ කරන අවංක වනජීවී නිලධාරියෙක්ට දේශපාලන මැදිහත් වීම නිසා ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න වුණේ. ඒක මට මාර විදිහට දැනුණු සංවේදී සිදුවීමක් වුණා. ඒකත් එක්කම තමයි මගෙන් මඟහැරුණු අර කතාව ආයෙම එළියට එන්නේ. කලින් ලියපු කතාවටම මේ සිදුවීමත් බද්ධ කරලා අලුතෙන් කතාවක් ලියන අතරේ තමයි බුද්ධික ලොකුකැටිය මගෙන් තිර පිටපතක් ඉල්ලන්නේ. මේ කතා තේමාව කිව්වම ඔහු ගොඩක් කැමති වුණා. කොහොමත් ඔහුත් හොය හොය ඉඳල තියෙන්නෙ ගමේ කතාවක්. ඔය විදිහට තමයි බැද්ද අද්දර ලියවෙන්නේ.
මේ තරම් මෙගා නිර්මාණ බිහිවෙන කාලේ ඔබේ හැම නිර්මාණයක්ම වගේ සීමිත කොටස් ගණනකින් නිමා වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්. බැද්ද අද්දර වුණත් කොටස් හැට හැත්තෑවකට සීමා විය යුතුයි කියන කතාබහත් එක්ක තමයි මං ලියන්න පටන් ගත්තේ. මගේ කතාවලට ඔහේ පාවෙන චරිත යොදාගන්නෙ නැහැ. ප්‍රධාන චරිත ගොඩනඟන්න අදාළ වෙන සෙසු සහාය චරිත වුණත් නාට්‍යයට බද්ධ වෙන්නෙ නැත්නම් තේරුමක් නැහැ. ඒ නාට්‍යයේ ප්‍රධාන තේමාවට අවශ්‍ය චරිත විතරයි අපි ගත යුත්තේ. රංගන ශිල්පියෙක් ඉන්නෙ එකම සීන් එකකට විතරයි කියල හිතමුකෝ. ඒ එක සීන් එක වුණත් යමක් කරන්න පුළුවන්, ප්‍රධාන තේමාවට බද්ධ වෙන චරිතයක් විය යුතුයි කියන තැන තමයි මං ඉන්නේ.
ඔබත් රංගන ශිල්පියෙක් නිසා පුංචි චරිතයක් වුණත් සුවිශේෂී වීමේ වැදගත්කම ඔබට හොඳින් දැනෙනවා ඇති?
ඇත්තටම ඔව්. නළුවෙක් විදිහට මං ඒ දේවල් අත්විඳල තියෙනවා. එක පොඩි සීන් එකක් වෙනුවෙන් ගිහින් බොරුවට දවස ගෙවලා ආපු අත්දැකීම් තියෙනවා. ඒ නිසා හැකියාව තියෙන ඕනෑම ආධුනික හෝ ප්‍රවීණ අයකුට එක සීන් එකක් වුණත් කොතරම් වැදගත්ද කියන එක මං දන්නවා.
නළුවා කියන භූමිකාවේ ඉඳන් තිර පිටපතක් ලියද්දි නිර්මාණයේ සාර්ථකත්වයට එය කොතරම් බලපෑමක් කරනවද කියල ඇහුවොත්?
තිරපිටපතක් ලියද්දි ඒ හැම චරිතයක් තුළම මං ජීවත් වෙනවා. ඩයලොග් ලියද්දි මං ඒවා කියමින් උච්චාරණ ස්වරූපයෙන්මයි ලියන්නේ. ඒක රංගන ශිල්පීන්ටත් ලොකු පහසුවක්. සංවේදී චරිත ලියද්දි ඇත්තටම මං අඬල තියෙනවා. ගැටුමක් ඇති කරගන්න තැනකදි ඒ තරහ, ඒ කේන්තිය මං අරන් තියෙනවා. මුලින්ම මම ඒ චරිතය තුළ ජීවත්වෙලා තමයි ලියන්නේ. රංගනය ගැන කිසිම අවබෝධයක්, අත්දැකීමක් නැති කෙනෙක් ලියද්දි ඒක තුළ අර්ථය දනවනවා වුණත් බොහෝ දුරට එය සාහිත්‍යමය තිර රචනයක් වගේ පේන්න පුළුවන්. නමුත් අවබෝධයක්, හැදෑරීමක් එක්ක ලියද්දි එය වඩාත් සාර්ථක කරගන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.
බැද්ද අද්දර ඔබේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. එතරම් තාත්විකව ලියවෙන්න ඒ අත්දැකීම් ඔබට සමීප ඒවාද?
ඔව්. මේක මං අත්දැකපු සිදුවීමක් ඇසුරින් ලියවුණු නිර්මාණයක්. ඒ වගේම ඔය හැම චරිතයක්ම වගේ අපේ ගමේ මං නිතර දැකපු, ඇසුරු කරපු, අත්දැකපු දේවල් එක්කයි ලියවිලා තියෙන්නේ. ඒ නිසා බැද්ද අද්දර මට ගොඩක්ම සමීප හදවතින්ම ලියන්න පුළුවන් වුණු තිර රචනයක් කිව්වත් හරි.
තිර පිටපතක් ලියද්දි බොහෝ දුරට චරිත මැවෙන්නේ තිර රචකයාගේ හිතේ. චරිත තෝරා ගැනීමේදී මෙය කොතෙක් දුරට ඔබට සාධාරණද?
ඇත්තටම තිර පිටපතක් ලියද්දි මම කවදාවත් රංගන ශිල්පීන් ගැන හිතේ තියාගෙන ලියන්නෙ නැහැ. මොකද ඒක මගේ රචනයට බාධාවක් වෙන නිසා. කෙනෙක්ව එහෙම හිතාගෙන ලියද්දි ඔහුගේ හෝ ඇයගේ අපි කලින් දැකපු ස්වරූපය ඒක තුළට එන්න ගන්නවා. ඒ නිසා මං රංගන ශිල්පීන් ගැන හිතේ තියාගෙන ලියන්නෙ නැහැ. කතාවට සාධාරණයක් වෙන විදිහට ඒ කතාව තුළ චරිත ටික ගොඩනඟාගෙන යනවා. විශේෂම කරුණ තමයි මං ලියන හැම කතාවකම ලොකු කුඩා හැම චරිතයකටම කරන්න දෙයක් තියෙනවා. ඒ කිසිම චරිතයක් නිකන් ඔහේ පාවෙන චරිත නෙවෙයි. පුංචි චරිතයක් වුණත් ඒ කතාවට ලොකුවට බද්ධ වෙන සහ ප්‍රධාන කතා තේමාවට බද්ධ වෙන විදිහට යමක් කරන්න තියෙන චරිත විදිහට ලියවෙනවා. පළමුවැනි කොටස් 15 ලියල ඉවර වුණාට පස්සේ තමයි මම චරිතවලට ගැළපෙන නම් ලියා ගන්නේ. ඊට පස්සේ අධ්‍යක්ෂවරයාත් එක්ක කතාබහ කරලා අනෙක් ගැටලු දිහාත් සාධාරණව බලලා තමයි චරිත තෝරා ගැනීම සිදුකරන්නේ.
තිර පිටපතක් ලියද්දි ඒ ඒ සීන් එකට අදාළ සියලුම හැඟීම් තිරපිටපතේ ලියවෙනවා. ඉන් එය චරිතයේ සාර්ථකත්වයට කොතරම් බලපෑමක් ඇති කරනවද?
තිර රචනයේදී මං සීන් එකකට අදාළ හැම පුංචි හැඟීමක්ම ලියනවා. ඒ චරිතය ඒ මොහොතේ ඉන්න මානසිකත්වය මොකක්ද කියන එක මං ලියනවා. බැද්ද අද්දර සඳලිගෙ චරිතය ගනිමුකෝ. ඒ සීන් එක කියවද්දිම නයෝමිට තේරෙනවා සඳලි ඉන්න ඕන මෙන්න මේ මානසිකත්වයේ කියන එක. අතීතයේ මෙහෙම දෙයක් වුණා. ඉදිරියේදී මෙහෙම දෙයක් වෙන්න තියෙනවා. එහෙම නම් මේ මොහොතේ සඳලි ඉන්න ඕන මෙන්න මේ පරාසය තුළ කියන එක ගැන ඇයට අවබෝධයක් එනවා. ඒක ඔවුන්ට ලොකු පහසුවක් වගේම චරිතයේ සාර්ථකත්වයටත් ලොකු බලපෑමක් ඇති කරනවා.
බැද්ද අද්දර මේ දිනවල ඉතාම ඉහළ ප්‍රතිචාර ලබනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඔව්. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ හැම චරිතයක්ම මේ සමාජයේ ජීවත් වන චරිත නිසා ඔවුන්ට දැනෙනවා වැඩි ඇති. විශේෂයෙන්ම නන්දනී කියන චරිතය ගත්තොත් මං ඇස් දෙකෙන් දැකපු චරිතයක්. අපේ ගෙවල් පිටුපස්සෙ ඔය විදිහටම ඔය නමින්ම ගැහැනියක් හිටියා. මගේ නිර්මාණ හරහා සමාජයට පණිවුඩයක් දෙනවට වැඩිය මං නිතරම උත්සාහ කරන්නෙ මේ සියලු චරිත අතර වෙන ඝට්ටනය තුළින් සමාජයට යථාර්ථය අවබෝධ කරවීමක් කරන්න. මේ වෙද්දි බැද්ද අද්දරට ලැබෙන ප්‍රතිචාර ඉතාම සතුටුදායකයි. ගිරිදේවි කරද්දිත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම මං ගැන කතා කරන්න පටන් ගත්තේ ගිරිදේවි හරහා. ඊට පස්සේ වියළි හරහා තව තවත් කතාබහට ලක්වුණා. හොඳම තිර රචනයට වගේම ශලිනි තාරකා හොඳම නිළිය සහ දසුන් පතිරණ හොඳම නළුවා විදිහට ගිරිදේවි ටෙලි නිර්මාණයට සම්මාන හිමිවුණා. ඒ වගේම මෙතෙක් පැවැති හැම සම්මාන උලෙළකදීම වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමිකරගත්තේ වියළි ටෙලි නිර්මාණය. බැද්ද අද්දර ඊටත් වඩා කතාබහට ලක්වෙනවා කියලත් දැනෙනවා.
බැද්ද අද්දර සඳහා ඔබත් රංගනයෙන් දායක වෙනවා. බංඩා ගැන මොකද හිතෙන්නේ?
බැද්ද අද්දර මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වීමත් මට විශේෂයි. ඒ වගේම එහි රංගනයට වෙනමම ප්‍රතිචාර ලැබෙනවා. බංඩාගේ චරිතය සමාජයේ වෙනමම කතිකාවකට ලක්වෙලා තියෙනවා වගේම බොහෝ දෙනාගේ අවධානයට යොමුවෙලා තියෙනවා කියල හිතෙනවා. ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි.
වර්තමානය ගත්තොත් එක දිගටම තිරපිටපතක් ලියවෙනවා අඩුයි. එය නිර්මාණකරුවාගේ හැකියාව අභියෝගයකට ලක්කරන්නක් නොවෙයිද?
පැහැදිලිවම අභියෝගයට ලක්වෙනවා. ඉස්සර වගේ නෙවෙයි අද පවතින ආර්ථිකයත් එක්ක නිර්මාණකරුවාගේ නිර්මාණශීලීත්වය තීරණය වෙන බොහෝ අවස්ථා තියෙනවා. නිර්මාණය පෙන්වන්න නාළිකාවක් සොයා ගැනීම තමයි ලොකුම අභියෝගය. නිෂ්පාදකවරයා මෙතනදි ගැටලුවකට පත්වෙනවා. ඒ නිසා බොහෝ දුරට කරන්නේ මුල් කොටස් පහළොව ඉවර කරලා විකාශය කරන්න නාළිකාවක් හොයාගන්න උත්සාහ කරනවා. නාළිකාවක් ලැබුණට පස්සේ තමයි ඉතිරිය කෙරෙන්නේ. සමහර අවස්ථා තියෙනවා නාළිකාවෙන් විකාශය ඉක්මන් කිරීම නිසා ඉතිරිය ක්ෂණිකවම ලියන්න වෙනවා. ඒ වගේ අවස්ථාවලදී නිර්මාණකරුවාගේ නිදහස සීමා වෙලා නිර්මාණශීලීත්වය අභියෝගයකට ලක්වෙනවා. එය නිර්මාණකරුවාට ලොකු අසාධාරණයක් සිදුවන මොහොතක්.
මේ වනවිට ඔබ ගොඩක්ම ජනප්‍රිය තිර පිටපත් රචකයෙක් විදිහට. කලාවට පිවිසුණු ඒ අතීතය ගැන සිහිපත් කරනවා නම්?
මම තිර රචනයට එන්නේ වේදිකා නාට්‍ය හරහා. වේදිකා නාට්‍ය කිහිපයක්ම රචනා කරලා තියෙනවා. මම සහ මම, යාදින්න, සර්පයකු සමඟ වගේ වේදිකා නාට්‍ය රාජ්‍ය සහ යෞවන සම්මාන උලෙළවල නාට්‍ය අංශයේ හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා විදිහට සම්මාන ලැබුවා. මං විශ්වවිද්‍යාලයේදී නාට්‍ය උලෙළකට කරපු නාට්‍යයකට ප්‍රතිචාර විදිහට තමයි ෂර්ලි පී. දෙලංකාවලගේ තුම්මන්තැන්න ලියවෙන්නේ. ඊට පස්සේ සත්කුළු පව්ව, ඉඩෝර වැස්ස, බඹරෙක් ඇවිත්, ගිරිදේවී, වියළි, සති, වගේම මේ දිනවල බැද්ද අද්දර ටෙලි පිටපත් ලියවෙන්නේ. ගිරිදේවී 2022 සිග්නීස් සම්මාන උලෙළේ හොඳම තිර රචනය සඳහා සම්මානයට පාත්‍ර වුණා. ඒ අතරේ රංගන ශිල්පියෙක් විදිහටත් ප්‍රේක්ෂක ආදරය දිනාගන්න සමත් වුණා.