දිගු නිහැඬියාවකට පසු මංජුලා නැවත පුංචි තිරයට ඇවිත්. ‘ඕලු’ ටෙලිනාට්‍යය හරහා ‘ඕලු’ චරිතය වෙනුවෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මංජුලා නැවත ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයේ සුවිශේෂ චරිතයක් හරහා අපට දැකගන්නට පුළුවන්. සිනමාවේත් පුංචි තිරයේත් ඔබ ආදරය කළ ඒ අහිංසකාවිය, ජනප්‍රිය රංගන ශිල්පිනී මංජුලා කුමාරි සමගයි මේ කතාබහ.
ඉතින් කොහොමද මංජුලා?
හොඳින් ඉන්නවා. හැබැයි ඉතින් මේ දවස්වල ටිකක් කාර්යබහුලයි.
කාලෙකට පස්සේ ඔබව නැවත පුංචි තිරයේ අපි දකිනවා?
ඔව්. කාලෙකට පස්සේ මම හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණා. හැබැයි ඉතින් මම කාලෙකට පස්සේ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුණට ඕලු චරිතය ප්‍රේක්ෂකයන්ට තවම අමතක නැති තරම්. ඒ තියෙන ආදරය මට මිල කරන්න බැරි තරම්.
‘දොරකඩ දෙවොල’ නිර්මාණයට සම්බන්ධ වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
ප්‍රධානම හේතුව දොරකඩ දෙවොල ටෙලිනාට්‍යයේ පිටපත කියවලා බලනකොට මට ගොඩක් ආශා හිතුණා සුභද්‍රා සිල් මාතාවගේ චරිතයට. ඒ චරිතයට තමයි මට ආරාධනා කළේ. ඒ වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහ හොඳ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණ කිහිපයකට මම කලිනුත් සම්බන්ධ වුණා. වැඩ කරන්න ගොඩක් පහසුයි. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු ඉල්ලීමක් තිබුණා හොඳ නිර්මාණයකින් දකින්න කැමැතියි මාව කියලා. ඉතින් මේ සියලු කාරණා එක්ක මම හිතුවා මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න.
සුභද්‍රා සිල් මාතාවගේ චරිතය ඔබට දැනුණේ කොහොමද?
ගිනිගත්ත ජීවිත එක්ක හැලහැප්පීම් සමග පෙළ ගැස්වෙන නිර්මාණයක මම ඉතා නිවුණු චරිතයක් රඟපාන්නේ. පළමු කොටසින්ම ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් දොරකඩ දෙවොල ආදරයෙන් බලන්න කියලා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එතකොට මගේ චරිතය වුණත් තේරුම් ගන්න පුළුවන්. ඒ ගැන මම කියන්න ගියොත් චරිතයට හානියක් සිදුවෙනවා.
ඒ කියන්නේ අපිට දිගටම මංජුලාව නිර්මාණ හරහා දැකගන්න පුළුවන්?
මම කොහොමත් මෙගා ටෙලිනාට්‍යවලට නම් සම්බන්ධ වෙන්නේ නැහැ. දැනටමත් අලුත් නිර්මාණ කිහිපයකින් මට ආරාධනා ලැබුණා. එයටවත් මම සම්බන්ධ වුණේ නැහැ. මගේ මුළු කාලයම දරුවන්ගේ ආදරය වෙනුවෙන් කැපකරන්නේ.
ඔබ හදාගෙන ආපු ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා පොඩි බයකුත් ඇති?
අනිවාර්යයෙන්ම ඒ නිසාම තෝරා බේරාගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. ජනප්‍රියතාව එහෙම ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට ලැබුණු ලොකුම සම්මානය ජනතාවගේ ආදරය. එතැනින් එහාට මට තවත් දෙයක් නැහැ.