ගත්ත එවා ගැන පසුතැවීමක් තියෙනවා -තිළිණි කෞෂල්‍යා

gossiplanka image 1
 

‘කොටු’ ටෙලි නාට්‍යයේ ‘සිතු’ කිව්වම ඇයව අඳුරන්නේ නැති කෙනෙක් අද නැති තරම්. ඒ තරමටම ඇය තමන්ගේ රංගනයෙන් ප්‍රේක්ෂකයින්ව ඇද බැඳ තබාගෙන ඉවරයි. හැබැයි ඇය නිකම්ම නිළියක් විතරක් නෙවෙයි, හඬකැවීම් ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක්. ඇය කලාවයි තමන්ගේ පෞද්ගලික ජීවිතයයි හරි අපූරුවට බැලන්ස් කරගෙන යන කෙනෙක්. ඉතින්, තිළිණි කෞෂල්‍යා වන ඇයගේ කලා ජීවිතයේ අලු‍ත් තොරතුරුත් එක්ක මව්රට ‘හාට්’ අපි කරපු සුහද කතාබහයි මේ.Sri Lanka Latest News


තිළිණි, මේ දවස්වල මොනවද කරන්නේ?

මේ දවස්වල කොටු ටෙලිනාට්‍යයේ රූගතකිරීම් සිදුවෙනවා. ඒ වගේම අලුත් ටෙලිනාට්‍යයක වැඩ පටන් ගන්නවා. සියත නාලිකාවේ විකාශය වීමට නියමිත තවත් නාට්‍යයක වැඩ අවසන් කළා. ඊට අමතරව ටී.වී. දෙරණ නාලිකාවේ විකාශය වන ‘කොල්ලයි බල්ලයි’ කාටූන් එකේ ‘සූසන් ටෙස්ට්’ චරිතයට හඬකැවීම් කරනවා. මේ සියල්ල අතරේ මගේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුත් කරගෙන යනවා.

සිතු කියන්නේ අමුතු චරිතයක්ද?

ඇත්තටම කොටු ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ අසංක සායක්කාර අයියගේ වැඩමුළුවක් හරහායි. සිතු කියන චරිතය ගැන මුලදී පොඩි කුතුහලයක් තිබුණා. ඇය සමාජයට බියෙන් ජීවත්වන, කතාකිරීමටත් බය ඉතා අහිංසක චරිතයක්. මම මීට කලින් මෙතරම් අහිංසක චරිතයක් කරලා නැහැ. නමුත් දැන් ලැබෙන ප්‍රතිචාර අනුව මම ඒ චරිතයට සාධාරණයක් කළා කියලා හිතෙනවා.

තිළිණිව වේදිකා නාට්‍යවල දකින්න නැත්තේ ඇයි?

මම වේදිකාවට හරිම ආසයි. පාසල් කාලයේ වේදිකා නාට්‍ය කළා. මෑතකදී අසංක සායක්කාර අයියගේ කොටු වේදිකා නාට්‍යයේ මනාලියගේ චරිතය කරන්න අවස්ථාව ලැබුණා. එය රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනාගත් නාට්‍යයක්. වේදිකාවට මම අකැමැති නැහැ, අවස්ථාව ලැබෙන පරිදි සම්බන්ධ වෙනවා.

ඔබ මල්ටි ටැලන්ට් කෙනෙක්?

මම රංගනයට එන්න කලින් හඬකැවීම් ශිල්පිනියක් සහ නිවේදිකාවක් ලෙස නාලිකා කිහිපයකම වැඩ කළා. අවසානයට වැඩසටහනක් කළේ ජාතික රූපවාහිනියේ. ඉන්පසුව දෙරණ නාලිකාවේ ‘මල් පිපෙන කාලේ’ නාට්‍යයෙන් රංගනයට පිවිසුණා. ‘කොටු’ කියන්නේ මගේ 11 වැනි ටෙලිනාට්‍යයයි.

තරුණ නිළියක් විදිහට ඔබට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඕනෑම මනුස්සයෙක්ට හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. තිරයේ දකින චරිතය අනුවයි ලංකාවේ බොහෝ දෙනෙක් රංගන ශිල්පීන්ව මනින්නේ. නමුත් බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සිතු කියන්නේ හැමෝම ආදරය කරන චරිතයක් නිසා ඒකට ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර විතරයි.

ඔබ තිර පිටපත් රචනයටත් සම්බන්ධ වුණා නේද?

ඔව්, මම යූටියුබ් නාලිකා කිහිපයකට පිටපත් ලියා තිබෙනවා. ඒවායින් සමහරක් මිලියනයකට අධික නැරඹුම් වාර ලබාගෙන තිබෙනවා. කාර්යබහුලත්වය නිසා දැන් ඒ දේවල් මඟහැරිලා තියෙනවා.





ලේඛිකාවක් වීමේ අදහසක් නැද්ද?

දැනට මගේ කාලය කළමනාකරණය කරගන්නේ හරිම අමාරුවෙන්. රූගතකිරීම් අතරතුර පවා විශ්වවිද්‍යාලයේ එසයින්මන්ට් කරනවා. ඒ නිසා දැනට වැඩි අවධානය යොමු කරන්නේ උපාධිය සහ වෘත්තීය පැත්තටයි.

සහභාගි වූ නිර්මාණ ගැන තෘප්තිමත්ද?

සමහර අවස්ථාවල භාරගත් චරිත ගැන පසුතැවීම් තිබුණත්, පොදුවේ රංගන ක්ෂේත්‍රයෙන් ලැබුණු අවස්ථා ගැන ලොකු සතුටක් තියෙනවා.

තිළිණිට පෙම්වතෙක් නැද්ද?

ඒ ගැන දැනට කියන්න දන්නේ නැහැ, අපි බලමු ඉදිරියට.

චිත්‍රපටවල ඔබව දකින්න නැත්තේ ඇයි?

තවම සුදුසු චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණේ නැහැ. ඉතිහාසය, විප්ලවවාදී හෝ සමාජයට හොඳ පණිවුඩයක් දෙන සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඉතා කැමැත්තෙන් භාරගන්නවා.

පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

පවුලෙන් කිසිම බාධාවක් නැහැ. අපේ පවුලේ තියෙන එකම නීතිය තමයි අධ්‍යාපනය හරියටම තියෙන්න ඕනේ කියන එක. ඒ දේ කරන ගමන් මම කැමති ඕනෑම දෙයක් කරන්න ඔවුන් නිදහස දීලා තියෙනවා.


ඉන්දු ජයවර්ධන

gossiplanka image 2
Previous Post Next Post