‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් චංචලා මතක ඇති. පසුකාලීනව ඇය ටෙලිනාට්‍යවල දැකගන්නට ලැබුණේ නැහැ. ලොකු නිහැඬියාවකට පසු දැන් අපට ඇයව ‘ජීවිතයට ඉඩ දෙන්න’ වැඩසටහන තුළින් දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තව සුබ ආරංචියක් අරන් ඉෂාරා ‘හාට්’ අපි සමග කතාබහකට එක්වුණා. මේ ඉෂාරා සඳමිණි සමග අපි දොඩමලු වූ සොඳුරු මොහොතයි.
කාලෙකට පස්සේ නැවත ජීවිතයට ඉඩදෙන්න තුළින් අපි ඔබව දකිනවා?
ප්‍රේක්ෂකයන් ගොඩක් සතුටු වුණා මාව නැවත වැඩසටහන තුළින් දකින්න ලැබීම ගැන. මමත් ගොඩක් ආශාවෙන් තමයි නැවත වැඩසටහනට සම්බන්ධ වුණේ.
අපිට ආරංචියි ඉෂාරා නැවත රංගනයට එකතු වෙනවා කියලා?
ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත මම හිතුවා හොඳ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් තවම දන්නේ නැතුව ඇති මම රඟපාන්න කැමැත්තෙන් ඉන්න බව. ඒ සියලු දෙනාටත් මේ සාකච්ඡාව හරහා දැනුවත් වීමක් ලැබෙයි කියලා මම හිතනවා.
හිටිහැටියෙම ඔබ රංගනයෙන් දුරස් වෙන්න හේතුවක් ඇති?
එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ දරුවන් වෙනුවෙන් කාලය වෙන් කළා. මට දැන් දුවලා දෙන්නෙක් ඉන්නවා. දරුවන් වෙනුවෙන් මම පොඩි විවේක කාලයක් ගත්තා විතරයි. ඉතින් මම හිතුවා කාලෙකින් නිර්මාණයකට සම්බන්ධ නොවුණු නිසා නැවත ප්‍රේක්ෂකයන් අතරට යන්න.
ප්‍රේක්ෂකයන්ට තවම උත්පලා අමතක නැතුව ඇති?
‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍යයේ උත්පලා, ‘සිහින පියාපත්’ ටෙලිනාට්‍යයේ ‘කේතකි’ මම රඟපාපු චරිත ප්‍රේක්ෂකයන්ට තවමත් මතකයි. මගතොටේදි මාව දැක්කත් තවමත් ඒ චරිතවලින් තමයි මාව අමතන්නේ. ඉතින් මේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය මට ගොඩක් වටිනවා.
ඉෂාරා මාධ්‍ය සමගත් වැඩි කතාබහකට එකතු නොවුණු කාලයක් තිබුණා?
එහෙම කිසිම ප්‍රශ්නයක් නිසා මම කතා නොකර හිටියා නෙවෙයි. මට කතා කරන්න දෙයක් තිබුණේ නැති තරම්. මගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරලා වැඩක් නැහැනේ. ප්‍රේක්ෂකයන් හැමදාමත් බැලුවේ මාව අලුත් නිර්මාණයකින් දකින්න. ඉතින් මේ සුබ ආරංචිය මගේ ප්‍රේක්ෂකයන්ට දන්වන්න ඕනෙ නිසා නැවත කතාබහ කරන්න හිතුවා.
වසන්ත විතාරණගේ