හර්ෂි මධූ කියන්නේ මේ දිනවල කා අතරත් ජනප්‍රිය නවක පරපුරේ රංගන ශිල්පිනියක්. ඇයව මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයක් ඔස්සේ දකින්නට ලැබෙනවා. ඉතින් මේ සොඳුරු කතාබහ මෙවර හදගැස්මට ඇයගෙන්.
මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කෙසේද?
මේ දිනවල මම සිරස නාළිකාවේ විකාශය වන “ආලේ” සහ “කළු අහස” ටෙලි නාට්‍යය දෙකෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම රඟපෑමට පෙර මම නිරූපණ ශිල්පිනියක් විධියට කටයුතු කළා. ඒ දේවල්වල වැඩ කටයුතුත් කරගෙන යනවා. ඉතින් ඉදිරියේ විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක මේ වන විට රූගත කිරීම් කරගෙන යනවා. ඒ කලා කටයුතුත් එක්ක තමයි මගේ දවස් ගෙවෙන්නේ. ඉතින් මේ ටිකේ මගේ ජීවිතේ සතුටෙන් ගෙවීගෙන යනවා.
ඔබ මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින් දකින්න පුළුවන්. ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් හොඳයි. ආදරණීය ප්‍රතිචාර ටිකක් මට ලැබෙනවා. මොකද ආලේ ටෙලි නාට්‍යයේ ශෙනායාව ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගෙන ඉන්නවා. ඉතින් ශෙනායා කියන චරිතයට බොහෝ දෙනකුගෙන් මුලින් බැනුම් ලැබුණේ වැරැදි විධියට වැඩිමහල් කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා කියලා හිතලා. නමුත් පසුව මේ තාත්තා සහ දුව කියන කාරණාව ප්‍රේක්ෂකයන් දැන ගත්තා. ශෙනායා ආදරය නිසා මානසිකව පීඩා විඳින කෙනෙක් නිසා ගොඩක් අය පසුව ආදරය කරන්න පටන් ගත්තා. ඒ ශෙනායාට ප්‍රේක්ෂකයන් ආදරය කරන එක මටත් ඉතාම ආදරණීය ලෙස දැනෙනවා. ඉතින් ඒ ආදරයට මාත් ආදරෙයි.
ඔබ ඔබේ රංගන කුසලතා වැඩි දියුණු කර ගැනීමට සිදු කරන විශේෂ ක්‍රම මොනවාද?
මේ දවස්වල මම රංගන වැඩමුළුවකට සහභාගි වෙලා ඉන්නවා. ඒ කටයුතුත් සිද්ධ වෙනවා. ඒ වගේම මම චිත්‍රපට බලන්න ආස කෙනෙක්. ඊට අමතරව මම පොත් කියවනවා. ඒ වගේ දේවල්වලින් තමයි මම මගේ රංගන කුසලතා වැඩි දියුණු කර ගැනීමට අධ්‍යයනයන් කරන්නේ.
ඔබ සිතන ආකාරයට රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට ඇකඩමික හැදෑරීම අවශ්‍යයමද?
ඇකඩමික් හැදෑරීම පමණක්ම රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙක් වීමට සුදුසුකමක් නෙවෙයි කියන එක තමයි මගේ මතය.
තමා තුළ තිබෙන ඒ හැකියාවන් වර්ධනය කරගන්න එහෙමත් නැත්නම් ඔපමට්ටම් කරගන්න ඇකඩමික් හැදෑරීම් විශේෂ වෙනවා.
එකිනෙකට වෙනස් විධියේ චරිත නිරූපණයේ අභියෝගය ඔබට දැනෙන්නේ කොහොමද?
ඇත්තටම සාගරයක් වගේ මේ කලා ක්ෂේත්‍රයේ මම තවමත් පුංචිම පුංචි දිය බිඳක්. මම මෙතෙක් රඟ පෑ චරිත එකිනෙකට වෙනස් චරිත. ඉතින් ඉතාම කැමැත්තෙන් තමයි මම ඒවා භාරගන්නේ. එකිනෙකට වෙනස් විවිධ චරිත රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට අභියෝගයක් තමයි. තමන් කරන චරිතයේ මානසික මට්ටම, වටපිටාව ඇසුරු කරන පිරිස චරිතයේ තරාතිරම වගේ දේවල් හොඳ අධ්‍යයනයකින් තමයි කරන්න ඕනෑ.
ප්‍රවීණ පරපුර හා නවක පරපුර අතර ඇති අන්‍යොන්‍ය බැඳීම ඔබ දකින්නේ කෙසේද?
ඇත්තටම අපේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඉතාමත් ආදරණීය චරිත. අපි වගේ අලුත් පරපුරට ඔවුන් ඉතාමත් හොඳ ආදර්ශයක්. ඒ වගේම අපේ ප්‍රවීණයන් ආදරණීය දේවල් දෙන පරපුරක්. මම නම් මුලින්ම ඔවුන්ට ආචාර කරනවා. ඔවුන් කියපු කරපු දේවල් අපි අදටත් අධ්‍යයනය කරනවා. අපේ ප්‍රවීණයන් අතීතයේ කරපු ඒ නිර්මාණ අදටත් මම අධ්‍යයනය කරනවා. ඒ දේවල්වලින් ගොඩක් දේවල් මට ගන්න තිබෙනවා. වර්තමානයේ අපිත් එක්ක වැඩ කරන ප්‍රවීණ පරපුර ඉතාම ආදරණීය පිරිසක් කියලා තමයි මට කියන්න තියෙන්නේ.
නවක පරපුරේ බොහෝ රංගන ශිල්පීන් කෙටි කලකින් ක්ෂේත්‍රයට පැමිණ ජනප්‍රිය වී ඉක්මනින් නිවී යන තරු බවට පත් වෙනවා. ඔබේ අදහස?
මමත් එකඟයි ඒ කියන කාරණාවට. මොකද මමත් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු කිහිපයක් වෙනවා. ඉතින් ඒ තුළ සීමිත ප්‍රමාණයක් ඒ විධියට ක්ෂේත්‍රයට පැමිණිලා ඉතා වේගයෙන් ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන විධිය මම දැකලා තිබෙනවා. එයට හේතුව මම හිතන්නේ මේ ක්ෂේත්‍රය පිළිබඳව හරියාකාර අධ්‍යයනයක් සහ ආදරයක් නැතිවීම ද කියලා මට හිතෙනවා.
ආදරය ගැන ඔබේ කියැවීම?
ආදරය කියන දෙයට ආදරය කරන කෙනෙක් ලැබුණොත් ජීවිතය ලස්සනයි වගේම සුන්දරයි. මට ජීවිතේ වැරැදුණ තැන තමයි ආදරය කියන මාතෘකාව. මගේ අත්දැකිම් එක්ක මට ආදරෙන් දුක් විඳින කිහිපදෙනෙක්ව ගොඩගන්න පුළුවන් වුණා. ඒක ගැන සතුටුයි.
රුවිනි අමරකෝන්