තමන් අවංක නොවී අනුන්ට අවංක වෙන්නේ කොහොමද? උමාලි තිලකරත්න

gossiplanka image 2
 

කලාව යනු හුදු රංගනයක් පමණක් නොව, එය ආත්මීය ප්‍රකාශනයක් බව ප්‍රායෝගිකවම ඔප්පු කළ රංගන ශිල්පිනියන් ලාංකේය කලා කෙතේ අතළොස්සකි. ඒ අතරින් උමාලි තිලකරත්න යනු අහිංසක සිනහවකින් ප්‍රේක්ෂක හදවත් දිනාගන්නා අතරම, ගැඹුරු සහ අභියෝගාත්මක චරිත නිරූපණය හරහා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ ප්‍රතිභාපූර්ණ නිළියකි. රංගනවේදිනියක, ගායිකාවක මෙන්ම නර්තනවේදිනියක ලෙස සිය දක්ෂතාවන් කලාව උදෙසාම කැප කළ ඇය, නිහඬවම එහෙත් අතිශය සාර්ථකව සිය කලා ගමනේ නිරතව සිටිනවා. පසුගියදා සිනමාව තුළ ඇය තැබූ සුවිශේෂී සලකුණත් සමඟින් නැවතත් කලා ලෝකයේ වැඩිම අවධානයක් දිනාගත් උමාලි, ඇයගේ නවතම නිර්මාණ අත්දැකීම් පිළිබඳව ‘හාට්’ අප සමඟ මෙලෙස හෘදයාංගමව අදහස් දැක්වූවාය.


මේ දවස්වල ඔබේ කලා කටයුතු මොනවද?

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘බැද්දේගම’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් එක්ක තමයි වැඩිපුර කාලය ගතකරන්නේ.

අපූර්වා චරිතය හරහා උමාලිව අපි මේ දවස්වල දකිනවා?

එල්.බී.ඩබ්ලිව්. ටෙලිනාට්‍යයේ තමයි අපූර්වා ලෙස මම රඟපාන්නේ. අපූර්වා පිරිමි ළමයෙක් බලාපොරොත්තු වෙනවා ෆැන්ටසිමය ගතිගුණ තියෙන ගැහැනු ළමයෙක් විදියට. එය මට අභියෝගයක්. මොකද බොහෝ දෙනා කියනවා එහෙම ගැහැනු ළමයි සැබෑ ජීවිතයේ නැහැ කියලා. නමුත් සමහරු කියනවා එහෙම ගැහැනු ළමයි ඉන්නත් පුළුවන් කියලා. කතාවේ ප්‍රධාන මාතෘකාව ක්‍රිකට් හා බෙටින්ගේ කලාව තමයි. මම කලින් වැඩ කරලා නැති සෑහෙන පිරිසක් සමග වැඩ කරන්න මට ඒ හරහා අවස්ථාව ලැබුණා


ගීත කෝකිලාව ලතා වල්පොලගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වන ‘ලතා’ සිනමා නිර්මාණයට ඔබ සුවිශේෂ දායකත්වයක් ලබාදී තිබෙනවා?

ඔව්. මටත් ‘ලතා’ සිනමා නිර්මාණය විශේෂ සන්ධිස්ථානයක් විදියට හඳුන්වන්න පුළුවන්. මනෝ වීරසේකරගේ සිනමා නිර්මාණයක්. එතුමිය තමයි මාව ලතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට තෝරාගත්තේ. එය මට ලොකු ආශීර්වාදයක් වුණා. ඉතින් එතුමිය ඇතුළු කණ්ඩායමේ එකමුතුවෙන් මේ සිනමා නිර්මාණයේ රූගත කිරීම් අපි සතුටින් අවසන් කළා.

උමාලි නිර්මාණයකදි විශේෂ තෝරාගැනීමක් කරනවා නේද…?

ඔව්. මට හිතට එකඟතාවක් ඇතිව කරන්න පුළුවන් නිර්මාණ කාර්යයක් නම් පමණයි මම සම්බන්ධ වෙන්නේ. තමන්ට තමන් අවංක නොවී අනුන්ට අවංක වෙන්නේ කොහොමද? මම භාරගත්ත නිර්මාණයට වගකිව යුතුයි කියන අදහසින් මම කරන වැඩේ හරියට කරනවා.

අද ඔබ සම්මානනීය දක්ෂ රංගන ශිල්පිනියක්. ගෙවීගිය අතීතය දෙස හැරී බලන විට මොකද හිතෙන්නේ?

ආපස්සට හැරී බැලීම මට දැන් හුරු නෑ. අද මේ මොහොතේ උපරිමයෙන් ඉන්න තමයි මම උත්සාහ කරන්නේ. මගේ අතීතය සිහිපත් කළොත් මට දැනෙන්නේ මෙතෙක් ආ ගමනේදී මට සිතුවිල්ලකින් හෝ උදව් උපකාර කළ හැම දෙනාටම ලොකු කෘතවේදීත්වයක්.


වසන්ත විතාරණගේ

gossiplanka image 1
Previous Post Next Post