මේ දවස්වල අලුත් වෙඩිල්ලක් තියන්න යනවා කියලා ආරංචියි. ඒ මොකද්ද?
ඒ තමයි අශෝක් ජයකොඩි මහතාගේ නිෂ්පාදනයෙන්, අරුණ ජයවර්ධන මහතා සහ ප්‍රමෝද්‍යා වන්නිආරච්චි අතින් ලියවෙන, අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවා යටතේ පුංචි තිරයට එකතු වෙන්න නියමිත ‘රෝස වෙඩිල්ල’ ටෙලි නිර්මාණය.
ඔබේ චරිතය ගැනත් දැනගන්න කැමැතියි?
මට අලුත් අත්දැකීමක්. ආදරණීය මවක්, ඉවසීමෙන් කටයුතු කරන බිරිඳක් කියන චරිත මට හරිම අලුත්. ඒ නිසා හරිම කැමැත්තෙන් භාරගත්තා. චරිතයේ තවත් පැත්තක් තියෙනවා. ටෙලි නිර්මාණය බලන්නම වෙනවා. ඒ වගේම සෑහෙන කාලයකට පසුව එකතුවන ලස්සන නිර්මාණයක්.
කොහොමද මනීෂා මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබුණේ?
මට මුලින්ම කතා කරන්නේ මෙම නිර්මාණයේ විධායක නිෂ්පාදක මෙවන් ලියනගේ මහතා. ඒ අනුව තමයි චරිතය භාරගන්නේ.
‘රෝස වෙඩිල්ල’ ප්‍රේක්ෂකයන්ට අලුත් රසයක් එකතු කරයිද?
ඇත්තටම බලාපොරොත්තුවක් තියෙනවා. මොකද හැම නිර්මාණයකම ගොඩාක් දුරට ඉස්මතු වෙන්නේ වීරයෝ. නමුත් මේ නිර්මාණය තුළින් ඉස්මතු වෙන්නේ වීරවරියෝ. වෙනස් හැඩයක්.
මනීෂා රංගනයට වගේම ගායනයටත් දක්ෂයි. ඒ වැඩ කටයුතු කොහොමද?
මේ අවුරුද්ද පටන්ගන්නකොටම හිතුවා සංගීත වැඩකටයුතුවලට තැනක් දෙන්න ඕනෙ කියලා. පුංචි විවේකයක් ගත්තත් ඒ කාලය ඇතුළේ මම සංගීත විශාරද විභාගය සම්පූර්ණ කළා සහ මගේ ව්‍යාපාරය පටන් ගත්තා. ඉතින් දැන් ඇත්තටම සංගීතය වෙනුවෙන් කාලය වෙන් කරන්න පුළුවන් කියලා හිතනවා. ඉස්සරහට බලමු.
ඔබ ඉදිරියට යන්න කැමැති ගායනයෙන්ද රංගනයෙන්ද?
මේ වනවිට ගායනය, රංගනය, නිවේදනය යන ක්ෂේත්‍ර තුනේම මම වැඩකරගෙන යනවා. විශේෂයෙන් එක ක්ෂේත්‍රයක් තෝරගන්න බැහැ. නමුත් ස්ථීර වශයෙන් ව්‍යාපාර පැත්තෙන් තමයි ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ.
මනීෂා මෙතෙක් පැමිණි ගමන ගැන මොකද හිතෙන්නෙ?
මට හරිම සතුටුයි ඒ ගැන. මම හරිම හෙමින් ගමනක් යන කෙනෙක්. ඒ ගමන ඇතුළේ මම මගේ හීන එකින් එක හරි ලස්සනට ඇත්ත කරගන්නවා. තරග නැති සරල ගමනක්. ඒ ගමනට හැමදාම උදව් කරන අම්මි, අප්පච්, ලොකු අක්කි, චූටි අක්කි සහ මගේ යාළුවෝ, ගුරුවරු ආදරයෙන් මතක් කරනවා.
ඉදිරි වැඩකටයුතු කොහොමද?
දැනට ‘රෝස වෙඩිල්ල’ ටෙලි නිර්මාණය එක්ක සහ සිරස ටීවීහි විකාශනය වන ‘තරු සමග තරු’ වැඩසටහන සහ මගේ ව්‍යාපාරය “THE NAIL STUDIO – MANEESHA DUNUKARA” එක්ක වැඩකටයුතු කරගෙන යනවා. තවත් නිර්මාණ දෙක තුනකට ආරාධනා ලැබිලා තියෙනවා.
හිමාෂි මධුවන්ති