තමන්ට ලැබෙන සෑම චරිතයකටම උපරිම සාධාරණය ඉටු කරමින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනා ගන්නා ඔහු, දසුන් පතිරණ ය. මෙවර අපේ කතාබහ, ඉකුත් දා ජාතික රූපවාහිනියේ විකාශය ආරම්භ කළ ‘දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඔහු සමඟය.
‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමට ලැබීම ගැන මොනවද හිතෙන්නේ ?
ඒ ගැන හරිම සතුටුයි. මේ ටෙලිනාට්‍ය යේ අධ්‍යක්ෂවරයාම තමයි ‘ඉරගිරි මද්දහන’ ටෙලිනාට්‍යයත් කළේ. ‘දොරකඩ දෙවොල’ කියන්නේ ගමක ඇත්තම කතාවක්. නළුවෙක් විදිහට මේක මට ලැබුණු හොඳම චරිතයක්. මගේ චරිතය ඩාවිත්. ඔහුට බිරියට අමතරව පෙම්වතියකුත් ඉන්නවා. ඔවුන් දෙදෙනා අතර වෙන ප්‍රශ්න,මනුස්සයෙක් විදිහට මගේ මානුෂීය දේවල් ඒ කතාව ඇතුළේ තියෙනවා. ඉතාම ලස්සන කතාවක්. විකාශය වූ පළමු කොටසටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා.
අධ්යක්ෂවරයා ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
මෙහි අධ්‍යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහ කියන්නේ ලංකාවේ මට හම්බුණු හොඳම අධ්‍යක්ෂවරයෙක් එයාට හොඳින් අවස්ථා අධ්‍යක්ෂණය කරන්න පුළුවන්. ඔහුට පුළුවන් මිනිස් හැඟීමයි ඒ දැනෙන රිද්මයයි හරියටම අල්ලන්න. ඔහු වැනි අධ්‍යක්ෂවරයෙක් ඉන්න එක මට තව වාසියක්. ඒ වගේම උමා අසේනි, දුමී, අවන්ති අපොන්සු වගේ අයගෙන් ලැබෙන සහයෝගයත් එක්කයි මගේ චරිතය හැදෙන්නේ. මේ මම උමත් එක්ක රඟපාන පළමු අවස්ථාව. දුමිත් එක්ක කලින් රඟපාලා තිබුණා. ඔවුන් දෙදෙනා චරිත දෙක ඉතාම හොඳට කරනවා. මේක ටීම් වර්ක් එකක්. ටීම් එකෙන් ලැබෙන සහයෝගය මාරම මාරයි. ටී බෝයිගේ ඉඳන් හැමෝගෙම සහාය උපරිමයෙන් ලැබෙනවා.
ඔබ එකිනෙකට වෙනස් චරිත රඟපානවා. ඒ ගැන මොනවද හිතෙන්නේ ?
නළුවෙක් විදිහට මම කැමතියි එක එක චරිත කරන්න. ජනප්‍රිය කාණ්ඩයට යන්න අදහසක් මගේ ඔළුවේ නෑ. මම ආසයි හොඳම එකක් කරන්න. මම ආසයි වෙනස් ආකාරයේ එකක් කරන්න. සමහර අය භාර ගන්නේ නැති චරිත මම භාර ගන්නවා. කොටුවකට හිරවෙලා ඉන්නවා වෙනුවට මගේ පරාසය මම විවෘත කරලා තියෙන්නේ. මමත් තාම ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නේ. ඉතින් මම ආසයි වෙනස් ඒවා කරන්න.
ඔබ රංගනයෙන් දායක වූ ‘මාරියා’ චිත්‍රපටය ගැනත් අදහසක් කියමු.
‘මාරියා’ කියන්නේ මෑත කාලයේ ලංකාවේ කරපු ලොකුම ඇඩ්වෙන්චර් ෆිල්ම් එක. මුහුද මැද කරපු ඉතාම අසීරු රංගනයක යෙදුණු චිත්‍රපටයක්. අරුණ ජයවර්ධන සම්මානනීය අධ්යක්ෂවරයාගේ චිත්‍රපටයක්. එහි ඉන්න කාස්ට් එක බැලුවොත්, ලංකාවේ මෑත කාලයේ ඒ වගේ කාස්ට් එකක් ඉඳලා නෑ. මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරි කුමාර,හේමාල්, අෂාන්, දර්ශන ඒ වගේ කාස්ට් එකක් මෑත කාලයේ අපිට එකතු කරන්න බැරි වෙයි කවදාවත්. මම හිතනවා මාරියා කියන්නේ වෙනම මූඩ් එකක්. වෙනම ෆැන්ටසියක්. මේකෙ එක නිළියක්වත් නෑ. වෙනමම මූඩ් එකක ප්ලේ කරන එකක්. අපිට ගංවතුරෙන් පොඩි බාධාවක් ආවා. කරන්න දෙයක් නෑ. ඉතින් ආයෙමත් මාරියා මේ වෙලාවෙ ෆිල්ම් හෝල්වල තියෙනවා. ගිහින් බලන්න පුළුවන් නම් මාරයි. ඒ මූඩ් එක බලන්න ඕනි ෆිල්ම් හෝල් එකට ගිහිල්ලමයි. එතකොටයි ඒක දැනෙන්නේ.
දැනට රඟපාලා තියෙන චරිත අතර අභියෝගාත්මක චරිත තිබුණද?
මට කරන්න අමාරුම වුණු එක චරිතයක් තමයි ‘සයපෙති කුසුම’ චිත්‍රපටයේ චරිතය. ඒ වෙනුවෙන් 2016 අවුරුද්දේ හොඳම නළුවා සම්මානයත් ලැබුණා මට. මාසයක් විතර ප්‍රැක්ටිස් කළා. මාරම අමාරුයි ඒක. අපි හිතන රටාව පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. අපි කෙල්ලො දිහා බලනකොට කොල්ලෝ දිහා බලන්න වෙනවා ඒ ෆිල්ම් එක ඇතුළේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ දැනට කරපු අමාරුම චරිතය. ඊට පස්සේ ලලිත් රත්නායකගේ ‘තාත්තා’. මම තාත්තා කෙනෙක් වෙන්න හිතලවත් නැති කාලෙක එයා මාව තාත්තා කියන චරිතයට ගත්තා. ඇත්තටම ඒකෙන් තමයි මට හිතුණේ දරුවෙක් හදන්න ඕනි කියලා. ඒ වගේ වෙනස් කරන්න පුළුවන් චරිත කරලා තියෙනවා. ඉතින් ඒවා පොඩ්ඩක් අමාරුයි.
රංගන කටයුතු සාර්ථක කරගන්න පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු.
මගේ අම්මා, තාත්තා, බිරිය ඒ සියලු දෙනාගෙන්ම මට ඒ සහයෝගය ලැබෙනවා. මගේ ජීවිතයේ අංක එකට තියෙන්නේ ඇක්ටින්. ඒක එයාලා දන්නවා. මම මේ හැමදේම කරන්නේ ඒ වෙනුවෙන් කියලා. එයාලා මට උපරිම නිදහස දීලා තියෙන නිසා තමයි දසුන් පතිරණ තාම ඒ විදිහට ඉන්නේ.
අලුත් අවුරුද්දෙ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ මොනවද?
හැම වෙලාවෙම හොඳ වැඩක්, වෙනස් ආකාරයේ අලුත් මූඩ් එකක් දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ලලිත් රත්නායකගේ ‘ඩෙල්ෆ්’ කියන ෆිල්ම් එක කරලා තියෙනවා. තව ඩ්‍රාමා එකකට සහ ෆිල්ම් එකකට කතා කරලා තියෙනවා. ඉස්සරහට බලමු.
දසුන් පතිරණට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ?
මට කියන්න තියෙන්නේ අපිත් එක්ක ඉන්න, අපේ චිත්‍රපට බලන්න. ප්‍රේක්ෂකයෙක් නැතුව අපිට වැඩක් නෑ. අපි මේවා කරන්නේ ප්‍රේක්ෂකයන්ට. මිනිස්සු මේවා බලන්න ඕනි. ගිය අවුරුද්දේ ෆිල්ම්වලටයි ටෙලි ඩ්රාමාවලටයි අපිත් එක්ක මාර පිරිසක් හිටියා. අපිත් එක්ක ඉන්න දිගටම. ඉතින් ඒක නැති වුණොත් අපෙන් වැඩකුත් නෑ.
නවක රංගන ශිල්පීන් වෙනුවෙන් යමක් කියනවා නම්?
ඉගෙන ගන්න තැන් ඕනෑ තරම් තියෙනවා. මම කියන්නේ එක තැනකින් විතරක් ඉගෙන ගන්න එපා, හැම තැනම ගිහිල්ලා හැමෝගෙන්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා.මේකෙ ඇතුළේ රස්තියාදු ගහන්න. මේක ඇතුළේ රැඳෙන්න. මේකට අවංක වෙන්න. එතකොට තමන්ගේ විෂය හම්බ වෙයි.