සිනමාව නිසා ගුරු වෘත්තියට සමුදුන්නා -ශ්‍යාම්

gossiplanka image 2
 සිංහල සිනමාවේ බිහි වූ දක්ෂතම නළුවන් අතරේ ශ්‍යාම් ප්‍රනාන්දුගේ නම ඉදිරියෙන් තිබෙනවා. ඒ වෙන කිසිම කාරණාවක් නිසා නොව අති දක්ෂ රංගනය නිසාමයි. මේ දිනවල තිරගත වන මලකි දුවේ නුඹ චිත්‍රපටයේ මහාචාර්ය කවින්ද්‍ර සේනානායකගේ චරිතය නිසා ඔහු බොහෝදෙනාගේ හදවතට සංවේදීව ආමන්ත්‍රණය කරනවා. නමුත් ෆාදර් සිනමා පටයේ ඔහු පණ දෙන මයිකල් මන්ත්‍රිතුමාගේ චරිතය සමග බොහෝදෙනාගේ සිතට එක්කරන්නේ කේන්තියක්. නමුත් කවින්ද්‍ර හා මයිකල් කියන්නේ වෙනස් චරිත දෙකක් රඟපාන එකම නළුවා. ශ්‍යාම් ප්‍රනාන්දුගේ දක්ෂතා ගැන පවසන්න මීට වඩා උදාහරණ අවශ්‍ය නැහැ. වෙනස්ම වූ චරිත දෙකකින් ප්‍රේක්ෂකයන් මුණගැසෙන ශ්‍යාම් ප්‍රනාන්දු සමග අද පිනිපලස ළෙන්ගතු කතාබහකට මුල පුරනවා. ඇත්තටම මේ දිනවල අන්ත දෙකක ඉන්නේ. කළු චරිතයක් සහ සුදු චරිතයක් තුළින් ප්‍රේක්ෂකයන්ව මුණගැහෙනවා. කොහොම වුණත් ලැබෙන ප්‍රතිචාර ගැනනම් ලොකු තෘප්තියක් තිබෙනවා. කුමන චරිතය භාර ගත්තත් ඒ චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ නිසා කවීන්ද්‍රටත් මයිකල්ටත් මම එක ලෙස කැමැතියි.




ශ්‍යාම් කියන්නේ එක රැයකින් නළුවෙක් වූණ කෙනෙක් නෙවේ. මේ රංගන ජීවිතය තුළ හරි අපූරු ගමනක් ශ්‍යාම් පසු කරනවා. මේ නිසාම ශ්‍යාම් කියන නළුවා ඉපදෙන තැනින්ම අපි කතාව ආරම්භ කරනවා.




පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම රැකියාවක් බලාපොරොත්තුවෙන් සම්මුඛ පරීක්ෂණ ගණනාවකට ගියත් එක රැකියාවක්වත් මට හරිගියෙ නැහැ⁣. ඉතින් ඒ කලකිරීමෙන් මම රැකියාවක් නොකර නිකන් ඉඳියි කියලා හිතපු මගේ තාත්තා පාසල්වලට ගුරුවරු බඳවාගැනීමේ අයැදුම්පතකට මගේ අත්සන ලබාගෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යවලා තිබුණා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පවත්වපු තරග විභාගයට මුහු⁣ණදීලා එයින් සමත්වෙලා පුත්තලම පැත්තෙ ඉස්කෝලෙක ඉංග්‍රීසි ගුරුපත්වීමක් මට ලැබුණා. අද කාලේ වගේ සවස් කාලෙදි ළමයින්ට ටියුෂන් පන්ති ඒ කාලෙදි තිබුණෙ නැහැ⁣. ඉතින් සවස් වරුවෙදි ළමයි ටික අඬ⁣ගහගෙන මම නාට්‍ය රැඟදැක්වුවා. පුංචි කාලෙ ඉඳලා මගේ තුළ වේදිකා නාට්‍ය නළුවෙක් හිටියා. පොඩි දවස්වලදි මම තනියෙන් නාට්‍යයක් නිර්මාණය කරලා රඟපෑවා මට මතකයි. ඉතින් ඒ නළුවව ආපහු අවධි කිරීම පාසල් ගුරුවරයෙක් විදිහට වැඩ කරන කාලෙදි සිදුවුණා. ගුරු වෘත්තියෙ කටයුතු කරන අතරතුරේදි රාජිත දිසානායක නිර්මාණය කරපු ජාතික තලයේ වේදිකා නාට්‍යයවලට මම රඟපෑවා. ඉතින් ගුරු වෘත්තියට සමුදීලා මම පූර්ණකාලීනව රංගන වෘත්තියට පිවිසුණා. ඒ විදිහට පටන්ගත්ත රංඟන ජීවිතයේදි 2000 වසරේදි නිර්මාණය කරපු බොරදිය පොකුණ චිත්‍රපටයෙන් මගේ සිනමා රංගන ජීවිතය ආරම්භ වුණා. හැබැයි බොරදිය පොකුණ තිරගත වුණේ නම් චිත්‍රපටය නිර්මාණය කරලා අවුරුදු 15කට පස්සෙ. 2000 වසරෙදි බොරදිය පොකුණෙන් පටන්ගත්ත සිනමා ජීවිතයේදි මේ වෙද්දි මම චිත්‍රපට 30 ට වැඩි සංඛ්‍යාවක රංගනයෙන් දායකවෙලා තියනවා.




මලකි දුවේ නුඹ කියන්නේ ශ්‍යාම් රඟපාන ප්‍රේක්ෂකයන්ට බොහෝ ළෙන්ගතු චිත්‍රපටයක්. මේ නිසා ශ්‍යාම්ට මලකි දුවේ නුඹ ගැන කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා.




මලකි දුවේ නුඹ චිත්‍රපටය මෑතකාලයේදි මම රඟපාපු විශිෂ්ට චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ගැහැනු දරුවෙක් හදාගෙන Single parent කෙනෙක් විදිහට ජීවත්වෙන කාන්තාවකට පවුල තුළින් සහ සමාජය තුළින් එල්ලවෙන පීඩනය හමුවේ දරුවගේ තාත්තගේ හිස්තැන පුරවන්න පිරිමියකු ජීවිතයට ළංකර ගන්න කාන්තාව දරන උත්සාහය සහ දරුවා විසින් ඒ පිරිමියාව පිළිනොගෙන ප්‍රශ්න කිරීම පිළිබඳව මලකි දුවේ නුඹ චිත්‍රපටය තුළින් කියනවා. දරුවගේ තාත්තගේ හිස්තැන පුරවන්න කාන්තාව ළංකරගන්න උත්සාහ කරන මහාචාර්ය කවීන්ද්‍රගේ චරිතය රංගන ජීවිතයේදි මට ලැබුණ වෙනස් අත්දැකීමක් වුණා. කාන්තාවට හොඳ සැමියෙක් වෙනවට වැඩිය කවීන්ද්‍රගේ අරමුණ වෙන්නෙ දරුවට හොඳ තාත්තා කෙනකු වෙන්න. ඉතින් මහාචාර්ය කවීන්ද්‍ර පෞද්ගලිකව සහ විශ්වවිද්‍යාල ගුරුභූමිකාව තුළ තාත්තා කියන පුද්ගලයව ගවේෂණය කරලා දරුවගේ සිතුම් පැතුම්වලට ගැළපෙන විදිහ⁣ට සහ විශ්වාසනීය විදිහට දරුවව දිනාගන්න උත්සාහ කිරීම මහාචාර්ය කවීන්ද්‍රගේ චරිතය හරහා මම ඉදිරිපත් කරනවා.




මලකි දුවේ නුඹ චිත්‍රපටයේ ශ්‍යාම්ගේ චරිතය කරකැවෙන්නේ සුවිශේෂී චරිත තුනක් වටා. මේ තුන් දෙනාම ෆොන්සේකා පවුලේ රංගන ශිල්පිනියන් තිදෙනෙක්. ෆොන්සේකා පවුලේ රංගන ශිල්පිනියන් තිදෙනෙක් සමග ශ්‍යාම්ට මහාචාර්ය කවීන්ද්‍ර සේනානායක ලෙස රඟදැක්වීමක් විශේෂ කාරණයක් වුණා.




සමනලී ෆොන්සේකා එක්ක මලකි දුවේ නුඹ චිත්‍රපටයේ මම රඟපාන්න කලින් ඇයත් සමග ප්‍රේමය නම් සහ ඇවිලෙන සුලුයි චිත්‍රපටවල රඟපාලා තියනවා. රංගන හැකියාවෙන් පරිපූර්ණ අතිදක්ෂ නිළියක් විදහට සමනලීව මම තේරුම් අරන් ඉන්නෙ. සමනලීගේ නැන්දනිය, සිංහල සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකත් මලකි දුවේ චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක යෙදුණා. නමුත් අවාසනාවට ඇයත් සමග චිත්‍රපටය තුළ එක දර්ශනයක්වත් මට රඟපාන්න තිබුණෙ නැහැ⁣. මාලීනී ෆොන්සේකා සමග මේ චිත්‍රපටය තුළ එකට රඟපෑමේ අවස්ථාව මට නොලැබුණාට ධනංජය සිරිවර්ධනට ලැබුණා.. ලාංකීය සිනමාවේ නිළි රැජින එක්ක මට රඟපාන්න නොලැබුණාට ධනංජයට ඒ අවස්ථාව ලැබීම ගැන මම අවංකවම සතු⁣ටු වෙනවා. නිළි රැජින මාලිනී ෆොන්සේකාව අවසාන වතාවට රිදී තිරයෙන් දැකගන්න පුළුවන් චිත්‍රපටය තමයි මලකි දුවේ නුඹ චිත්‍රපටය. ඇයගේ අවසාන රංගනය දකිනකොට මට හිතුණේ මාලිනී ෆොන්සේකා මියගියත් මිණි පහනකින් විහිදෙන ආලෝකයක් විදිහට සදාකල් ඇයගේ රංගන හැකියාව ලාංකීය සිනමාවේ රැඳිලා තියෙයි කියලා. නිළි රැජින මාලිනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා ඇතුළු විශිෂ්ට රංගන ශිල්පිනියන් බිහිවුණ ෆොන්සේකා පරම්පරාවෙ නම කලාව තුළ ඉදිරියට ගෙනයමින් ෆොන්සේකා පරම්පරාවෙ ළාබාල සමාජිකාවක් වන කුශේන්‍යා ෆොන්සේකා සමග මලකි දුවේ නුඹ චිත්‍රපටයේදි මට රඟපාන්න ලැබුණා. මේ චිත්‍රපටය කුශේන්‍යාගේ පළමු රංගනය වුණත් කිසිම ආධුනික බවක් පෙන්නන්නෙ නැතුව අතිවිශිෂ්ට රංගනයක් ඇය ඉදිරිපත් කළා. මහාචාර්ය කවීන්ද්‍රගේ චරිතය මට ඉතාමත් පහසුවෙන් රඟපාන්න පුළුවන් විදිහෙ සහයෝගයක් රංගනයෙදි කුශේන්‍යගෙන් මට ලැබුණා. කුශේන්‍යගේ රංගන හැකියාව තේරුම්ගත්ත පුද්ගලයෙක් විදිහට මට විශ්වාසයෙන් කියන්න පුළුවන් හෙට දවසේ රංගන ක්ෂේත්‍රය තුළ පිපෙන මලකි දුවේ නුඹ කියලා.




මලකි දුවේ නුඹ වගේම ශ්‍යාම් රංගනයෙන් එක්වන ෆාදර් චිත්‍රපටයේ මයිකල් මන්ත්‍රිතුමාගේ චරිතයත් අමතක කරන්න බැහැ. මලකි දුවේ නුඹ තරම් මෘදු නොවුණත් මයිකල් කියන්නේ කතා කළ යුතුම මාතෘකාවක්.




70 - 80 දශකයේ මෙරට අඳුරු පාතාලය, දේශපාලනය හා බැඳුණු සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරෙන් නිර්මාණය කරපු father චිත්‍රපටය ජනවාරි 09 වනදා සිට සිනමාශාලාවල තිරගත වෙනවා. 88 - 89 භීෂණ කාලයේදි රාජ්‍ය ත්‍රස්තවාදයේ ප්‍රදේශීය නායකයකු වුණ මයිකල් මන්ත්‍රිතුමාගේ චරිතය මම father චිත්‍රපටයේ රඟපාන්නෙ. මයිකල් මන්‍ත්‍රිතුමා තමන්ට අවශ්‍ය දේ කොක්කෙන් හෝ කෙක්කෙන් කරගත්ත සියුම් දේශපාලනඥයෙක්. 70 - 80 දශකයේ තිබුණ ප්‍රචණ්ඩත්වය සහ බිහිසුණුකම ගැන පුළුල්ව Father චිත්‍රපටය තුළින් කියනවා. Father චිත්‍රපටයේ මම රඟපාන මයිකල් මන්ත්‍රිතුමාගේ චරිතයට සෑහෙන්න හොඳ ප්‍රතිචාර චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය තිරගත කරපු දා සිටම මට ලැබෙන්න අරන් තියනවා. මේ විදිහට සිනමා ප්‍රමිතියෙන් ඉහළ father සහ මලකි දුවේ නුඹ චිත්‍රපටවලින් 2026 වසර ආරම්භයේදිම රසිකයො අතරට එන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.


සිංහල සිනමාවට වසන්තය උදාවෙලා... එක දිගට චිත්‍රපට සාර්ථක වෙනවා. මලකි දුවේ නුඹ සහ ෆාදර් ඒ සාර්ථක චිත්‍රපට ගොන්නට එක් වෙලා. චිත්‍රපට දෙකේම ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන රංගන ශිල්පියෙක් හැටියට ශ්‍යාම්ටත් ඒ ගැන තියෙන්නේ ලොකු ආඩම්බරයක්.




2025 වසර පුරා තිරගතවුණ වාලම්පුරි, ක්ලැරන්ස්, මෝඩ තරිඳු, ආයු ඇතුළු චිත්‍රපට රැසක් ඉහල ආදායම් ලබමින් සිනමාශාලා house full වුණා. මේ සඳහා වැඩිපුර බලපාන්න ඇත්තෙ කතා සංකල්පය, පිටපත, අධ්‍යක්ෂවරයාගේ දෘෂ්ටිකෝණය සහ නළුනිළි කැල දුන්න පරිශ්‍රමය කියලා මම විශ්වාස කරනවා. ප්‍රේක්ෂකයො වුණත් අපේක්ෂා කරන්නෙ ප්‍රමිතියෙන් සම්පූර්ණ වුණ මෙවැනි චිත්‍රපටයි නැරඹීමට තිබිය යුත්තෙ කියලා. 2026 වසරේදිත් ඒ ප්‍රමිතිය ආරක්ෂා කරගනිමින් හොඳ චිත්‍රපට රැසක් තිරගතවෙන්න තියනවා. ඉදිරියෙදි තිරගතවීමට තියන චිත්‍රපට සමග ලාංකීය සිනමාව තුළ ඉස්සර තිබුණ ස්වර්ණමය යුගය නැවත උදාවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.




නව වසර සාර්ථක නළුවෙක් ලෙස ආරම්භ කළත් ඉදිරි මාස කීපය තුළ ශ්‍යාම් ප්‍රනාන්දු කියන අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයන්ව හමුවීමට නියමිතයි. ඒ සාර්ථක ප්‍රයත්නයට සුභ පැතුම් එක්කරමින් අළුත් අවුරුද්ද සුභම එකක් වෙයි කියලා පිනිපලස ප්‍රාර්ථනා කරනවා.




ඔව් නළුවෙක් විදිහට කාලයක් වැඩ කළාට පස්සෙ අධ්‍යක්ෂවරයෙක් වීමේ බලාපොරොත්තුවක් මට ඇති වුණා. ඉතින් ඒ බලාපොරොත්තුව සැබෑ කරගනිමින් මගේ පන්තියේ ළමයෙක් චිත්‍රපටය නිර්මාණය කළා. ඉතින් මම අධ්‍යක්ෂණය කරපු මගේ පන්තියෙ ළමයෙක් චිත්‍රපටය 2026 වසරේදි ප්‍රේක්ෂකයන්ට නරඹන්න ලබාදෙන්න මේ වනවිට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නෙ. මම හිතනවා එයත් සාර්ථක උත්සාහයක් වෙයි කියලා. 

gossiplanka image 2
Previous Post Next Post