වර්තමාන රංගන ක්ෂේත්‍රය තුළ තමන්ටම අනන්‍ය වූ රංගන විලාසයකින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඔහු, වේදිකාවේ පන්නරයෙන් රිදී තිරය හැඩකරන ස්වභාවික රංගනයේ අසමසම සලකුණක් බඳුය. ඔහු නමින් කළණ ගුණසේකරයි. සිනමාවෙන් අලුත් මානයන් සොයමින් කාර්යබහුල දවසක් ගෙවෙන ඔහු සිය නවතම කලා තොරතුරු කලා ජීවිතයේ අත්දැකීම් ගැන හාට් අපි සමග කළ සුහද කතාබහකි මේ.
කොහොමද නව වසරේ වැඩකටයුතු?
නව වසරේ වැඩ කටයුතු ඉතාම කාර්යබහුලයි. විශේෂයෙන්ම රාජ්‍ය සම්මාන හතක් දිනාගත් ‘දාස මල්ලිගේ බංගලාව‘ වේදිකා නාට්‍යයේ ප්‍රතිනිර්මාණයක් අපි කරනවා. එහි වැඩකටයුතු සඳහා තමයි දැන් වැඩි කාලයක් වැය වෙන්නේ. මේ මාසයේ 23 වෙනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් එකේදී එය නැවත වේදිකාගත වෙනවා. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයක රූගත කිරීම්වලටත් මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නවා.
කළණ ගුණසේකර කියන රංගන ශිල්පියාගේ ආරම්භය කොතැනද?
මම හිතන්නේ ඒ මූලාරම්භය පාසල් වේදිකාවයි. පාසල් වේදිකාවෙන් ආරම්භ කරපු ඒ ගමන තමා අද මේ දුර ඇවිත් තියෙන්නේ. මට අදටත් වේදිකාව අමතක කරන්න බැහැ. වේදිකාවත් එක්ක තියෙන ඒ දැඩි ගනුදෙනුව නිසයි අවුරුදු ගණනාවකට කලින් කරපු නිර්මාණයක් වුණත් නැවතත් වේදිකාවට ගේන්න මම උත්සාහ කරන්නේ.
ඔබේ චරිතයක් තුළ ඔබටම අනන්‍ය වුණු ඒ ‘ස්වභාවිකත්වය‘ ගොඩනගාගන්නේ කොහොමද?
ඇත්තටම චරිතයක් තීරණය වෙන්නේ අධ්‍යක්ෂවරයා මතයි. අධ්‍යක්ෂවරයා චරිතය ගැන හිතන විදිහ, ඒ චරිතයට අවශ්‍ය දේ, චරිතයේ මානසිකත්වය සහ අදාළ අවස්ථාව පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ අවබෝධයත් එක්ක තමා මම චරිතයකට අවතීර්ණය වෙන්නේ.
වේදිකාව, ටෙලි සහ සිනමාව මෙයින් ඔබ වඩාත්ම ප්‍රිය?
මේ මොහොතේ මම වැඩියෙන්ම කැමති සිනමාවට. වේදිකාව කියන්නේ තමන්ට අභ්‍යාස කරන්න හොඳ තැනක්. ඒත් සිනමාව තුළ තියෙන්නේ වෙනමම ‘ෆැන්ටසියක්‘ ඒ වින්දනයට මම ගොඩක් කැමතියි.
වර්තමාන කලාව ගැන මොකද හිතෙන්නේ?
දැන් හොඳ නිර්මාණ බිහි වෙනවා. රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් වගේම අධ්‍යක්ෂවරුන් අතරත් විශාල තරගයක් තියෙනවා. තරුණ පරම්පරාවේ වැඩි නියෝජනයක් දැකීමට ලැබීම ඉතාම හොඳ තත්ත්වයක්. සිනමාව එක්ක වැඩ කරපු අය අද අලුත් නිර්මාණ කරනවා. ලංකාවේ සිනමාව දැන් හොඳ මට්ටමක තියෙනවා. මගේ ප්‍රාර්ථනය අපේ සිනමාව ජාත්‍යන්තරය සමඟ මුහු වීමයි.
කළණ, ඔබ ආපු මුල් කාලයත් එක්ක බලද්දී, අද මේ ගමන එන්න හීන දකින කොල්ලො කෙල්ලොන්ට කියන්න දෙයක් තියෙනවද?
ඔබ නළුවෙක් හෝ නිළියක් වෙන්න හිතනවා නම් ඒ වෙනුවෙන් දැඩි කැපවීමකින් වැඩ කරන්න ඕනේ. මේක ලෙහෙසි වැඩක් නෙමෙයි. කැමරාව ඉදිරියට ගිහින් වචනයක් දෙකක් කියලා ලස්සනට පෙනී සිටීම නෙමෙයි රංගනය කියන්නේ. තමන්ගේ ජීවිත අත්දැකීම් නිර්මාණයට ගේන්න ඕනේ. රංගනය සැමවිටම පදනම් වෙන්නේ තමන් ලබන අත්දැකීම් මතයි.
‘ධර්ම යුද්ධය 2‘ චිත්‍රපටය ගැනත් කතා නොකළොත් අඩුවක්?
‘ධර්ම යුද්ධය 2‘ කියන්නේ නාමල් ජයවර්ධනගේ ඉතාම ලස්සන නිර්මාණයක්. රංගනය වගේම සෑම අංශයකින්ම ගුණාත්මක චිත්‍රපටයක්. මම මෙහි රංගනයෙන් දායක වෙන්නේ ‘කැලුම්‘ කියන චරිතයට. ඇත්තටම ධර්ම යුද්ධය වැනි නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන ලොකු සතුටක් තියෙනවා. මට ලොකු වුවමනාවක් තිබුණා අරුණ අයියා එක්ක වැඩ කරන්න. ඒ වගේම බිමල් ජයකොඩි වැනි දැවැන්ත රංගන ශිල්පියෙක්, අෂාන් ඩයස්, කුමාර තිරිමාදු, දිල්හානි අක්කා වැනි දක්ෂ පිරිසක් සමඟ වැඩ කරන්න ලැබීම භාග්‍යයක්. මාව මේ සඳහා සම්බන්ධ කර ගැනීම ගැන මම අදටත් නිහතමානීව සතුටු වෙනවා.
ඉදිරියේදී අපට දැකගත හැකි ඔබේ අලුත් නිර්මාණ ගැනත් කතාකරමු?
ඉදිරියේදී චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතයි. ඒ වගේම කොටස් 12කින් යුත් ටෙලි නාට්‍යයක වැඩ අවසන් කළා, එය තවම නාලිකාවකට ලබා දී නැහැ. තවත් නිර්මාණ කිහිපයක රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.