සේසත්ගේ චරිතයේ සමහර දේවල් මට ගොඩක් සමීපයි -දේශිත කාවින්ද පීරිස්

gossiplanka image 2


දෙරණ නාළිකාවේ රාත්‍රී 9.30 ට විකාශනය වන මේ දිනවල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන ‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන දේශිත කාවින්ද පීරිස් මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර නිතර කතාබහට ලක්වෙනවා. ඒ නිසාම දේශිත ගැන විස්තර දැන ගන්න අපි හිතුවා.


කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ?


මේ දවස්වල ජීවිතේ ලස්සනට ගලාගෙන යනවා.” මං ආදරෙයි ” ටෙලිනාට්‍යයේ රූගතකිරීම් ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ මගේ උපාධි වැඩකටයුතුත් එක්ක පොඩ්ඩක් කාර්යබහුල ජීවිතයක් ගත කරනවා.


පෞද්ගලික විස්තර ගැනත් දැනගන්න කැමැතියි


මගේ නම යූ.ජී. දේශිත කාවින්ද පීරිස්. වයස අවුරුදු 22 යි. පදිංචිය ගලේවෙල.පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි,අක්කලා දෙන්නයි,මමයි. මම බඩපිස්සා. මම කැලණිය විශ්වවිද්‍යාලයේ මගේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශාස්ත්‍රවේදී උපාධිය හදාරමින් ඉන්නවා.


‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?


” මං ආදරෙයි ” ටෙලිනාට්‍යට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බවෙන්නේ ඔඩිෂන් එකේදී. ඊට අවුරුදු කිහිපයකට කලින් මට හර්ෂ සර්ව මුණගැහුණා මාතලේ දිස්ත්‍රික්කයේ රජයෙන් පැවැත්වූ රංගන වැඩමුළුවකදී. මම ඒ කාලේ පාසල් යනවා. ඒ වැඩමුළුවෙන් හොඳම දස දෙනෙක් තේරුවා. මම ඒ අතරට තේරුණා. ඒ දවස්වල හර්ෂ සර්ගේ ටෙලිනාට්‍යයකට ඒ දහදෙනාට අවස්ථාව ලබා දුන්නත් මම ස්කෝලේ යන නිසාත්, කොළඹ මම ඉන්න ප්‍රදේශයේ ඉඳලා දුර තියෙන නිසාත් මට ඒ අවස්ථාව මගහැරුණා. කොහොම වුණත් හරිම කාලේ මම හිතන්නේ මට අවස්ථාව ලැබුණා.


‘සේසත්’ගෙ චරිතය දැනෙන්නේ කොහොමද?


සේසත්ගේ චරිතයේ සමහර දේවල් දේශිත කියන මට ගොඩක් සමීපයි කියලා මම හිතනවා. දේශිත සේසත් විදිහට හැඩගැහෙනවා කියන එක සමහර තැන්වල ලොකු අභියෝගයක්. දේශිතගේ පොඩිකාලේ ඉඳලා තිබ්බ හීනේ ඇත්ත කරේ සේසත්.


පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් හම්බෙනවා. අද මෙතැන ඉන්නේ පවුලේ අයගේ උදව් නිසා.


පවුල තුළ දේශිත මොන විදිහෙ කෙනෙක්ද?


පොඩ්ඩක් තරහා යන, පොඩි කාලේ ඉඳලා හීනයක් දැක්කොත් ඒ හීනෙට පවුලේ අය අකමැති උනත් ඒ හීනෙන් පවුලේ කාටවත්, මටවත් අවුලක් වෙන්නේ නැත්තන් උත්සාහයෙන් ඒ හීනවලට ගියපු, යන කෙනෙක් කියලා පවුලට පෙන්නපු කෙනෙක් තමයි දේශිත කියන්නේ.


ටෙලිනාට්‍ය හරහා ලැබෙන රසික ප්‍රතිචාර, ආදරය මොන වගේද?


ඇත්තටම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බෙනවා මේ දවස් වල. මම හිතන්නේ රංගන ශිල්පියකුට සතුටු වෙන්න තියෙන ලොකුම දේ ඔහු වටා ඉන්න ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර.ඉතින් ප්‍රේක්ෂකයන්ට හරි ආදරෙන් කියන්න තියෙන්නේ මගේ වැරැද්දක් දැක්කොත් පෙන්නලා දෙන්න කියන එක. මොකද මම හරි කැමැතියි මගේ වැරදි තියෙනවානම් පෙන්වලා දෙන අයට. දිගටම මාත් එක්ක ඉන්න කියලා ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා.


පූර්වකාලීන රංගන ශිල්පියෙක් ලෙසට ඔබව ඉදිරියේදී දකින්න පුළුවන් වේවිද?


අනිවාර්යයෙන්ම දකින්න පුලුවන් වෙයි. මොකද මගේ හීනේ රංගන ශිල්පියෙක් වෙන එක. මම හිතන්නේ මේ මගේ ගමනේ ආරම්භය කියලා.මම ඉගෙන ගන්න දේවල්, ඉගෙන ගත්ත දේවල්වලින් වෙනත් කලාවට සම්බන්ධ අංශවලින් ඉදිරියට දැකබලාගන්න පුළුවන් වෙයි.


ඔබට සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාරගන්නවද?


ඉහළින්ම භාරගන්නවා. මොකද මේ තැනට ආපු ගමනේදී ආපස්සට හැරිලා බැලුවොත් මම සිනමා නිර්මාණ හතරකට දායක වෙලා තියෙනවා. ඒ අත්දැකීම් හැමදෙයක්ම වටිනවා. මම හිතන්නේ රංගන ශිල්පියෙක්ගේ වටිනාකම වැඩිවෙන තැනක් සිනමාව කියන්නේ.


අනාගත බලාපොරොත්තු මොනවාද?


විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ඉදිරියේදී සාර්ථකව නිමකරලා ඒ තැනින් ගන්න දැනුමත් එක්ක මේ සිනමාවට,කලා ක්ෂේත්‍රයට පුළුවන් උපරිමයෙන්ම දායක වෙන එක තමා අනාගත බලාපොරොත්තුව. නිවේදනය පැත්තෙන්, රංගනය පැත්තෙන් ඒ වගේම බාහිර කතිකාචාර්යවරයෙක් වෙන එකත් මගේ බලාපොරොත්තුවක් විදිහට තියෙනවා.

gossiplanka image 1
Previous Post Next Post