පහේ ළමයි ලොකු ටර්න් එකක් ගත්තු වැඩක් -චානූ දිසානායක

gossiplanka image 2
 


නිවේදිකාවක් ලෙසින් ජනතාව අතර විශ්වාසය දිනාගත් ඇය, පසු කාලීනව සම්මානනීය රංගන ශිල්පිනියක් බවට පත් වෙමින් අති විශාල ප්‍රේක්ෂක ආදරයක්ද  දිනා ගන්නට සමත් වූවාය. රංගනය, නිවේදනය, නර්ථනය මේ සියල්ලටම එක ලෙස දස්කම් දක්වන ඇය මේ දිනවල ප්‍රේක්ෂකයන් අතරට එන්නේ පහේ ළමයි ටෙලි නාට්‍යය හරහායි. ඇය අන් කවරකුවත් නොව චානූ දිසානායකයි.


ඉතින් මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?


පසුගිය දෙසැම්බර් මාසය පුරාම නිවේදන කටයුතු ගොඩක් තිබුණු මාසයක්. සම්මාන උළෙලවල්, නත්තල් උත්සව කිහිපයකම නිවේදිකාවක් විධියට කටයුතු කළා. ඊට අමතරව රංගනය පැත්තෙන් ගත්තොත්  පහේ ළමයි ටෙලි නාට්‍ය සමඟ සහ වේදිකා නාට්‍ය දෙකක් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවාගේ රූගත කිරීම් සහ පුහුණුවීම් කටයුතු එක්ක තමයි මේ දවස්වල ගොඩක්ම කාලය ගත වෙන්නේ. පසුගිය කාලේ නම් හරිම කාර්ය බහුල කාලයක් ඇත්තටම.


පහේ ළමයිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


හිතාගන්න බැරි විධියට මගේ රංගනය පැත්තෙන් ලොකු ටර්න් එකක් ගන්න පුළුවන් වුණු චරිතයක් ඒක. මම නිතරම ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවුණට වසරකට එක නිර්මාණයකට වගේ දායකත්වය ලබා දෙනවා. නමුත් ප්‍රථම වතාවට තමයි මට අම්මා කෙනෙක්ගේ චරිතයක් ලැබුණේ. මේක අපි එදිනෙදා දකින. විශේෂයෙන් පාසල්වල හමුවෙන අම්මලා වර්ගයෙන් කෙනෙක් මේ. ඒ අම්මා කෙනෙක්ව කොහොමද මම නිරූපණය කරන්නේ, ඔවුන්ගේ හැඟීම් කොහොමද කියවගන්නේ කියන එක ගැන ස්ටඩී එකක් කළා. ඒ ඇතුළේ ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. ටිකක් හාස්‍ය පැත්තටත් බර නිසා චරිතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා.


පහේ ළමයි යටි පෙළ හරහා කියැවෙන අපේ රටේ දරුවන් මත පටවන අධ්‍යාපන පීඩනය ගැන ඔබේ අදහස?


මෙහි රචකයා බවට පත්වෙන්නේ ලක්ෂාන් වත්තුහේවා. ඔහුත් මමත් එකම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. ඔහු මගේ ජ්‍යෙෂ්ඨයෙක්. ලක්ෂාන් අයියා මේ තිර පිටපත ලියද්දිම මට කිව්වේ නංගි අපි මේ චරිතය කරමු කියලා.  ලක්ෂාන් අයියාගේ තිර පිටපත ශාන් ජයරත්න අධ්‍යක්ෂවරයා හරිම ලස්සනට ඇත්ත සමාජයට අරගෙන එනවා. එතකොට එතැනදි අපි හංගන්න උත්සාහ කරන නමුත් හැමෝම  දන්න ඇත්තක් තමයි මේ එළියට දාන්නේ. මේක බලන ප්‍රේක්ෂකයෝ ගොඩක් කමෙන්ට් කරනවා අනේ අපේ ඉස්කෝලෙත් ඔය වගේ අම්මලා ඉන්නවා. අනේ අපේ ඉස්කෝලෙත් ඔය වගේ ටීචර්ස්ලා ඉන්නවා  කියලා. කමෙන්ට් සියයට අසූවක්ම ඒ වගේ ඒවා. ඒකෙන් අපිට  පෙනෙන දේ තමයි අපේ අධ්‍යාපනය විභාගය සමත්වීමම අරමුණු කරගෙන නිර්මාණය වුණු එකක් බව. අධ්‍යාපනයේ සාර්ථකත්වය කියන්නේ විභාගය පාස් වීම කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඇත්තටම උගන්නන දේවල්වල ගැටලුවක් නෙවෙයි තියෙන්නේ. එහි අවසන් ප්‍රතිඵලය විභාගය වීමයි ගැටලුව තියෙන්නේ.


අධ්‍යාපනයේ අවසන් අරමුණ විය යුත්තේ මොකක්ද?


අධ්‍යාපනයක අවසන්  ප්‍රතිඵලය විය යුත්තේ එයින් අපි ජීවිතයට ලබා ගත්තේ මොනවාද කියන එක. අධ්‍යාපනය කියන්නේ ලියන්න කියවන්න පුළුවන් වීම නෙවෙයි. එයින් අපි මොන තරම් සමාජ අවබෝධයක් ලබා ගන්නවාද කියන එක තමයි වැදගත්. ප්‍රායෝගික ලෝකයට ආවම අපේ දරුවන් ඉන්නේ වැඩකට නැති තරගයක මිස ජීවිතය ජයගන්න උත්සාහ කරන තරගයක නෙවෙයි කියන එක තමයි මේ නිර්මාණයෙන් පෙන්නන්න හදන්නේ. මම හිතන්නේ ශාන් ජයරත්න, ලක්ෂාන් වත්තුහේවා ඇතුළු සමස්ත කණ්ඩායමම ඒ පවතින තත්ත්වයට අපහාස නොකර උපහාසය ඇසුරෙන් ඒ කතාව සමාජයට අරගෙන එන්න සමත් වෙලා තියෙනවා.


පහේ ළමයිහි චරිතය ඔබේ පෞද්ගලික ජීවිතයට මොන තරම් සමීපද?


ඇත්තටම මගේ පෞද්ගලික චරිතය ගත්තොත්, මීට කලෙකට පෙර මම රූපවාහිනි නිවේදිකාවක් වශයෙන් නිතරම පේන්න හිටියත් දැන් ඒ තරම් පේන්න ඉන්නේ නැහැ. එතැනදි මම මුහුණදෙන කොටසකුත් මේ චරිතය ඇතුළේ තියෙනවා. සමහර අය මගෙන් අහනවා  ඇයි ඔයා දැන්  ටීවි එකේ නැත්තේ. ඇයි දැන් නිතරම පේන්න නැත්තේ කියලා. එහෙම අහද්දි මට දැනෙන හැඟීම මේ නාට්‍ය ඇතුළේ මට රඟපාන්න තියෙනවා. ඒ වගේම මම හිතනවා කලා ක්ෂේත්‍රයේ ඉන්න සහ හිටපු විවිධ පෞද්ගලික හේතුන් නිසා තමන් ආස දේවල් කරන්න බැරි වුණු බොහෝ පිරිසක් මේ චරිතයෙන් නියෝජනය වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ අම්මලා හතර දෙනා හතර විධියක්. ඔවුන්ගේ සමාජ තත්ත්වයන් එකිනෙකට වෙනස්. මෙතැනදි මට නිරූපණය කරන්න වෙලා තියෙන්නේ ගොඩක් දක්ෂතාවන්, හැකියාවන් තිබුණු, නමුත් විවාහය නිසා ඒවා කැප කරන්න සිදු වුණු කෙනෙක්ගේ චරිතයක්. මම විවාහ වෙලා නැති වුණත්, මට අපේ කාන්තාවන් බොහෝ පිරිසක්ව ඒ හරහා නියෝජනය කරන්න හැකි වුණා.


නිළියක් වෙන්න ඇවිත් නිවේදිකාවක් වුණාද, නිවේදිකාවක් වෙලා අහම්බෙන් නිළියක් වුණාද?


පාසල් යන කාලයේදි නර්ථනයට තමයි මම වැඩි බරක් දීලා  තිබුණේ. නමුත් විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මට වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතැනදි විවිධ ගුරුවරුන් යටතේ මට රංගනය හදාරන්න අවස්ථාව ලැබුණා. මහාචාර්ය මංගල සේනානායක, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, මාධනී මල්වත්ත වගේ ආචාර්යවරුන් හා රංගන ශිල්පීන්, ශිල්පිනියන් යටතේ මම රංගනය ඉගෙන ගත්තා.  නමුත්  නිවේදන හැකියාව මගේ ඇඟ ඇතුළේ තිබුණා. ඒ සම්බන්ධයෙනුත් මම අධ්‍යනයන් කළා. ඔය අතරතුර තමයි මම සිරස නාළිකාවේ නිවේදිකාවක් හා ප්‍රවෘත්ති මාධ්‍යවේදියෙක් බවට පත්වෙන්නේ. සමාන්‍යයෙන් ප්‍රවෘත්ති නිවේදිකාවකට රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්න බැහැ. ඒක ආචාර ධර්මයක්. මම ඒක පිළිපදිනවා. ඒ නිසා මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විධියට ඉද්දි මම රංගනයෙන් සම්පූර්ණයෙන් ඈත් වුණා. නමුත් යූ ටර්න් චිත්‍රපටය හරහා මට නැවතත් රංගනයට අවස්ථාව ලැබෙද්දි මම තීරණය කළා ප්‍රවෘත්ති නිවේදනයෙන් සියයට සියයක් ඉවත් වෙලා රංගනයට එකතු වෙන්න. මොකද මේ පොඩි ජීවිත කාලය ඇතුළත අපි ආස දේවල් කරන්නත් එපැයි. නමුත් මම නැවත කවදාහරි ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙනවා නම් රංගනයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙනවා. ඔය නිසා තමයි මම දැන් ප්‍රවෘත්ති නිවේදනයෙන් ඈත් වෙලා රංගන ශිල්පිනියක් හා නිදහස් නිවේදිකාවක් විධියට කටයුතු කරන්නේ.


ඔබ වේදිකාවේ සම්මානනීය නිළියක් ඒ ගැනත් කියමු?


2023දී තමයි මම වේදිකාවට සම්බන්ධ වෙන්නේ. එම වර්ෂයේදීම මට යෞවන සම්මාන උළෙලේ දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය විධියට මගේ පළමු සම්මානය හිමිවෙනවා. ඉන් අනතුරුව 2024 වර්ෂයේ යෞවන සම්මාන උළෙලේ කෙටි නාට්‍ය අංශයෙන් ඉංග්‍රීසි මාධ්‍යයේ  හොඳම නිළිය සම්මානය හිමි වෙනවා. ඇත්තටම ටෙලි නාට්‍යවලටත් වඩා මගේ වැඩි කැමැත්ත තිබෙන්නේ වේදිකා නාට්‍යවලට. වේදිකාව කියන්නේ හැමෝටම පිච් කරන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒ සඳහා හඬ පරාසය, රංගන හැකියාව මේ හැමදේම බලපානවා. වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් සඳහා පුහුණුව, කැපකිරීම, විනය මේ හැමදේම අවශ්‍යයි.  ඇත්තටම වේදිකාවට පිවිසෙන්නට ලැබීම මගේ වාසනාවක්. ලංකාවේ වේදිකාව වෙනුවෙන් ලොකු ප්‍රේක්ෂකාගාරයක් නැහැ. නමුත් වේදිකාවේ සජීවි බව අත්විඳින්න අවස්ථාවක් සලස්වා ගත්තොත් ප්‍රේක්ෂකයන්ට එහි විශ්මයජනක බව අත්විඳින්නට පුළුවන් වේවි.


අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?


මගේ ඉදිරි නිර්මාණ කටයුතු බැලුවොත් පවුල් කන මිනිහෙක් හා සෙනෙහබර ඩොලී වේදිකා නාට්‍ය එක්ක සම්බන්ධවෙලා ඉන්නවා. ඒ වගේම තව ඉදිරියටත් පහේ ළමයි  රූගත කිරීම් තියෙයි. ඒ වගේම මේ දවස්වල මගේ ශාස්ත්‍රපති උපාධියේ වැඩ කටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඊට අමතරව ඉදිරියේදි මගේ රැකියාවේ යම්කිසි වෙනසකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post