ඒ වගේ සැමි­යෙක් ලබන්න මං හරිම වාස­නා­ව­න්තයි - නිත්‍යා දේවින්දි

gossiplanka image 2
 


 නිත්‍යා දේවින්දි, මේ වෙනකොට ලංකාවේ කවුරුත් ආදරය කරන පුංචි තිරයේ කැපී පෙනෙන ආකර්ශනීය රංගන ශිල්පිනියක්. 



නිත්‍යාගේ රංගන හැකියාවෙන් දවසින් දවස ඇය ප්‍රේක්ෂකයාගේ ආදරය සොරාගන්න චරිතයක් බවට පත්වෙලා කිව්වොත් හරි. ඔන්න ඉතින් මේ දවස්වල පාට කුරුල්ලෝ නාට්‍යත් එක්ක අතිශ්‍යය ජනප්‍රිය වුණු ඇය මේ වගේ කතාවක් කියලා තිබුණේ සති අන්තයේ පුවත්පතකටයි.


නිත්‍යා කිය­න­ව­ටත් වඩා බොහෝ දෙනෙක් දැන් ඔබව දන්නෙ කෙල්සි කිව්වම. කෙල්සි වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


කෙල්සි වෙන්න ලැබීම ගැන මට තියෙන්නෙ ලොකු සතු­ටක්. කෙල්සි කියන්නේ මගේ රංගන ජීවිතේ වෙන­සක් කළ චරි­ත­යක්.


කෙල්සි කියන්නෙ ඉහළ පෙළැන්තියේ තරු­ණි­යක්. කෙල්සි, නිත්‍යට කොත­රම් සමීප බවක් දක්ව­න­වද කියල ඇහු­වොත්?


ඔව්. නිත්‍යා කියන්නේ නම් සාමාන්‍ය පන්තියේ කෙනෙක්. නමුත් කෙල්සිගේ ඇතැම් ගති පැව­තුම් බොහෝ­දු­රට නිත්‍යට සමී­පයි කිවුවත් හරි. ඒ නිසාම චරි­තය ගොඩ­නඟා ගන්න මට ලොකු පහ­සු­වක් වුණා. ඒ වගේම මගේ සහෝ­දර ශිල්පී­න්ගෙන් වගේම අධ්‍ය­ක්ෂ­ව­ර­යා­ගෙ­නුත් කෙල්සිව ගොඩ­න­ඟා­ගන්න ලොකු සහා­යක් ලැබුණා. තිර­පි­ට­පත් රචක බුද්ධික සේම­සිං­හ­වත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඔහු තමයි කෙල්සිව හරිම ලස්ස­නට ගොඩ­න­ඟන්නේ. නිෂ්පා­දක විදි­හට චාමර සම­ර­වි­ක්‍ර­මත් ආද­රෙන් මතක් කර­නවා. ඔහු තමයි මට කෙල්සි වෙන්න අව­ස්ථාව ලබා­දෙන්නේ.


පාට කුරුල්ලෝ නොන­වත්වා සම්මාන ලබ­නවා. එහි ඍජු කොට­ස්කා­රි­යක් විදි­හට ඔබට මොකද හිතෙන්නේ?


පාට කුරුල්ලෝ කියන්නේ එක දිගට සම්මාන වැහි­වැ­හැපු ටෙලි නාට්‍යයක්. මම හිත­නවා ඒක ඒ තත්ව­යට ඉතාම සුදු­සුයි කියලා. ඉතාම කෙටි කාල­යක් තුළ මිනිස්සු අත­රට ගිය ටෙලි නිර්මා­ණ­යක් වගේම සිය­ලුම චරි­ත­ව­ලට පුදු­මා­කාර ආද­ර­යක් ලැබෙන ටෙලි නිර්මා­ණ­යක්. මං විත­රක් නෙවෙයි නිර්මා­ණ­යට දායක වුණු සිය­ලුම ශිල්පීන් ඒකට ඍජු­වම දායක වුණු කොට­ස්කා­ර­යින්. අපි රඟ­පාන නාට්‍ය­යක් ප්‍රේක්ෂ­ක­යන් ආද­ර­යෙන් වැලඳ ගන්නවා නම් ඒක තමයි රංගන ශිල්පි­ය­කුගේ සතුට. මටත් ඒ සතුට තියෙ­නවා. පාරෙ යද්දි දහ­දෙ­නෙක් හමු­වු­ණොත් අට දෙනෙ­කු­ටම ටෙලි නාට්‍යයේ චරි­තය මත­කයි. රංගන ශිල්පි­යෙක් හෝ ශිල්පි­නි­යක් වෙනව නම් ජීවිතේ එක්ව­රක් හෝ ඒ වගේ පාරෙ බැහැල යන්න බැරි තරම් ජන­ප්‍රිය වුණු ටෙලි නාට්‍ය­යක රඟ­පාල තියෙන්න ඕන කියල මං විශ්වාස කර­නවා.


කෙල්සිට ලැබෙන ප්‍රති­චාර කොහො­මද?


ප්‍රති­චාර ඉතාම හොඳයි. කිසිම අඩු­වක් නැහැ. කොහේ ගියත් කෙල්සි කියල කතා කරන අය ඉන්නවා. දැන් දැන් මිනිස්සු කෙල්සිට ආද­රය කරන්න පටන් අරන්. මුලින් ආද­ර­ව­න්ත­යාට රැව­ටිලා හිටපු නිසා ගෙදර අයත් එක්ක පොඩි පොඩි ගැටලු ඇති­කර ගත්තට දැන් ඇය එය තේරුම් අරන් ඔවුන් සමඟ සුහ­දව කට­යුතු කර­නවා. මොන මොන වෙන­ස්කම් වේවිද කියලා ඉදි­රි­යේදී බලමු.


ඔබට ඉන්නෙ හරිම සුර­තල් දිය­ණි­යක්. එයා ගැනත් කියමු?


චූටි දුව ස්කයිලා ගැන මං කියන්න ඕනෙත් නැහැ. මටත් වඩා ස්කයි­ලට තමයි මිනිස්සු ආදරේ. කොහේ ගියත් එයා ගැන අහ­නවා. හැම වෙලා­වෙම හිනා වෙලා කතා කරලා, තට්ටු දාලා, බායි කියා­ගෙන යනවා. එයා අඳු­ර­න්නෙත් නැහැ. අපි කියල දීලත් නෙවෙයි. හරිම සෝෂල්, හරිම දඟ, හුර­තල් ලස්සන ළම­යෙක්. මට දෙවි­යන් දුන් වටි­නාම තෑගි­ව­ලින් ඉහ­ළින්ම තියෙන තෑග්ග. ස්කයිලා කියන්නේ අපි දෙන්නට මහ­මෙ­රක්. අපි දෙන්නම හිතන්නේ ස්කයිලා තමයි අපිට වාස­නාව ගෙනාවේ. ෂූටින් ගියත් පහ හය වෙද්දි ගෙදර යන්න වුව­ම­නාව වැඩි වෙනවා. එයා ඉස්ස­රහ උළු­වස්ස ළඟට වෙලා බලා­ගෙන ඉන්න එක අපිට හරිම අමුතු හැඟී­මක්. ස්කයිලා අපි දෙන්නට හරිම ආදරේ සංවේදී ළම­යෙක්. එයත් එක්ක ගෙවන කාලය හෙමින් ගෙවෙ­න­වට මං කැම­තියි. එයා ටික ටික ලොකු වෙනවා අපෙන් ඈත් වෙනවා කියල දැනෙද්දි මට දුකයි. මං පුළු­වන් තරම් කල් එයා මගේ සෙවණේ මගේ ළඟම තියා­ගන්න කැමැ­තියි.


සැමි­යා­ගෙන් ලැබෙන සහා­යත් ඔබේ ගම­නට අත්වැ­ලක් නේද?


ඔහු­ගෙන් ලොකු සහා­යක් ලැබෙ­නවා. කිසිම වෙලා­වක මට නීති ­දාලා නැහැ. ඔහු දන්නවා මම කරන්නෙ මට පුළු­වන් සහ මම කළ ­යුතු දේ විත­රයි කියලා. රංග­නයේ දී ඉතාම ලොකු සහා­යක් ලැබෙ­නවා. සම­හර වෙලා­වට මට හිතා­ගන්න බැරි දේව­ල්ව­ලදී ඒවා තෝරා­බේර ගන්න මට උදවු කර­නවා. හොඳ සහ­යෝ­ග­යක් වගේම හොඳ තේරුම් ගැනී­මක් තියෙ­නවා. මේ වගේ ක්ෂේත්‍ර­යක ඒක ගොඩක් වැද­ගත්. ඒ වගේ සැමි­යෙක් ලබන්න මං හරිම වාස­නා­ව­න්තයි.


නිත්‍යා කියන්නෙ නිතර තිරයේ දකින්න ලැබෙන චරි­ත­යක් නෙවෙයි නේද?


මේ දින­වල නම් විකා­ශය වෙන්නේ පාට කුරුල්ලෝ විත­රයි. නමුත් ඉදි­රියේ දී තවත් නිර්මා­ණ­යක රූගත කිරී­ම්ව­ලට සම්බන්ධ වෙනවා. මං ක්ෂේත්‍ර­යට ඇවිත් තාම අවු­රුදු හයක් වගේ. මං කරල තියෙ­න්නෙත් ටෙලි නිර්මාණ 7ක් වගේ. කොහො­මත් මං ගොඩාක් වැඩ කරන කෙනෙක් නෙවෙයි. මං හැම­වෙ­ලේම ගෙදර අයත් එක්ක කාලය ගත කර­න්නයි උත්සාහ කරන්නෙ. මං පෞද්ග­ලි­කව කාර්ය­බ­හුල වෙන්න කැමැති නැහැ.

gossiplanka image 1
Previous Post Next Post